The Shorter Discourse on the Ending of Craving
Cūḷataṇhāsaṅkhaya Sutta
PDFGenerated
Moggallāna visits the heaven of Sakka, the lord of gods, to see whether he really understands what the Buddha is teaching.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 4. මහා යමක වර්ගය 37. චූල තණ්හා සංඛය සූත්‍රය Msdiv 390 මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාම නම්වූ මිගාර මාතු ප්‍රාසාදයෙහි වාසයකරති. එකල්හි සක්දෙව් රජතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ සක්දෙව් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, භික්ෂුවක් කොතෙක් කරුණුවලින් නිවන් අරමුණුකොට කෙලෙස්වලින් මිදුණු ‘ඉපදීම් මැරීම් දෙක නිමකළ’ ඒකාන්තයෙන් කෙලෙස් බැමිවලින් මිදුණු නිත්‍ය බ්‍රහ්මචරියා ඇති, ඒකාන්ත කෙළවර ඇති දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨයෙක් වන ප්‍රතිපදාව කොටින් කුමක්දැයි ඇසීය.
“දෙවෙන්ද්‍රය, මේ ශාසනයෙහි මහණහු විසින් (පංචස්කන්ධ, දොළොස්ආයතන, අටලොස්ධාතු යන) සියලු ධර්මයෝ (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) ‘මමය මාගේය’යි අල්වාගැනීමට සුදුසු නොවේ යයි අසන ලද්දේ වේද, දෙවෙන්ද්‍රය, එසේ භික්ෂුව විසින් සියලු ධර්මයෝ ‘මමය මාගේය’යි ගැනීමට සුදුසු නොවේයයි අසන ලද්දේ නම්, හෙතෙම සියලු ධර්මයන් ස්කන්ධ ධාතු ආදි වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් පිරිසිඳ දැන සැප වූ හෝ දුක් වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වෙදනාවක් විඳියිද, ඒ වෙදනා කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විරාගය අනුව බලමින් වාසය කරයි. නිරොධය අනුව බලමින් වාසය කරයි. දුරලීම අනුව බලමින් වාසය කරයි. හෙතෙම ඒ වේදනාවන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නේ විරාගය අනුව බලමින් වාසය කරන්නේ, නිරොධය අනුව බලමින් වාසය කරන්නේ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නේ ලෝකයේ කිසියම් සංස්කාරයක් (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගනියි. (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගන්නේ තැති නොගනියි, තැති නොගන්නේ මේ ආත්මයෙදීම ක්ලෙශ පරිනිර්වාණය කරයි. බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුත්ත කරනලදී. මින්පසු තවත් කළයුත්තක් නැත්තේයයි දනියි.
“දෙවෙන්ද්‍රය මෙපමණකින් මහණතෙම කොටින් නිවන් අරමුණු කොට කෙලෙසුන් කෙරෙන් මිදුණ, ඉපදීම් මැරීම් දෙක නිමකළ, කෙලෙස් බැමිවලින් මිදුණ ඒකාන්ත බ්‍රහ්මචරියාව, ඇති ඒකාන්ත කෙළවර ඇති, දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨයෙක් වන්නේය’යි, (වදාළේය)
ඉක්බිති සක්දෙව් රජතෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුවී අනුමෝදන්ව බුදුන් වැඳ පැදකුණු කොට එහිම අතුරුදන්විය.
Msdiv 391 එකල්හි මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි හුන්හ. ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට මේ සිත පහළ විය ‘කිමෙක්ද සක්දෙව්තෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව දැන සතුටුවීද, නොහොත් එසේ නොවීද, යම් හෙයකින් මේ දෙව්තෙම භාග්‍යවතුන්වහන්සේගේ වචන දැන සතුටුවීද, නැතහොත් එසේ නොවීදැයි, දැනගන්නෙම් නම් යහපති’ (කියායි)
ඉක්බිති මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ යම්සේ ශක්තිමත් පුරුෂයෙක් හකුලන ලද අත දික් කරන්නේද, දික්කළ අත හකුලන්නේද, එමෙන් ඇසිල්ලකින් පූර්වාරාමනම්වූ මිගාරමාතු ප්‍රාසාදයෙහි අතුරුදන්වූයේ තව්තිසා දෙව්ලොවෙහි පහළවූහ.
එකල්හි සක්දෙව් රජතෙම එකපුණ්ඩරීක නම් උයනෙහි දිව්‍යමයවූ තූර්‍ය්‍යභාණ්ඩ පන්සියයකින් පිරිවරන ලදුව ඒ (නැටුම් ගැයුම් වැයුම්) රස විඳිමින් සිටියේය. සක්දෙව් රජ තෙම එන්නාවූ මහාමෞද්ගල්ල්‍යායන ස්ථවිරයන් වහන්සේ දුරදීම දැක, ඒ තූර්‍ය්‍ය වාදන පන්සියය නවත්වා ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය. “නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස, මෙහි වඩිනු මැනවි, නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස සුබ ගමනක් වේවා! නිදුක්වූ මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්ස, බොහෝ කලකින් මෙහි වැඩියහ. පින්වත් මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්ස, පනවා තිබෙන මේ අසුනෙහි වැඩ හිඳිනු මැනවි”. මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩහුන්හ. ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේද, එක්තරා මිටි ආසනයක් ගෙන එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූ ශක්‍රදෙවේන්ද්‍රයාට මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ.
“කොසියයෙනි, (ශක්‍රයාට නමකි) භාග්‍යවතුන් වහන්සේ තොපට තෘෂ්ණා විමුක්තිය වදාළේ කෙසේද? අපිද ඒ කථාව ඇසීමට කොටස්කාරයෝ වෙමු නම් හොඳය” (කියාය)
Msdiv 392 “මෞද්ගල්‍යායනයන් වහන්ස, අපි බොහෝ කටයුතු ඇත්තම්හ. වැඩ බහුලයම්හ. ස්වල්පවූ ස්වකීය කටයුතුවලින්ද, තව්තිසා වැසි දෙවියන්ගේ බොහෝ කටයුතුවලින්ද වැඩ බහුලය. එහෙයින් මෞද්ගල්‍යායනයන් වහන්ස, අප විසින් යමක් මනාව අසන ලද්දේද, මනාව ඉගෙන ගන්නා ලද්දේද, මනාව හිත තබා ගන්නා ලද්දේද, මනාව දරණ ලද්දේද, එය වහාම මතක නැතිවීයයි. මෞද්ගල්‍යායනයන් වහන්ස, පෙරවූවක් කියමි. දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් විය. මෞද්ගල්‍යයනයන් වහන්ස, ඒ යුද්ධයෙන් දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනාහ. පින්වත් මෞද්ගල්‍යායනයන් වහන්ස, ඒ මම වනාහි ඒ යුද්ධය දිනා හැරී අවුත් වෛජයන්ත නම් ප්‍රාසාදයක් මැවීමි. මෞද්ගල්‍යායනයන් වහන්ස, ඒ විජයොත්පායෙහි දොරටු සියයෙකි. එක එක දොරටුවෙහි කුළුගෙවල් සත් සියයෙකි. එක එක කුළුගෙයි දිව්‍යප්සරාවෝ සත් සත් දෙනෙක් වෙත්. එක එක දිව්‍යප්සරාවට පිරිවර ස්ත්‍රීහු සත් සත් දෙන වෙති. මෞද්ගල්‍යායනයන් වහන්ස, ඔබවහන්සේ වෛජයන්ත ප්‍රාසාදයෙහි රමණීය භාවය දකින්නට සතුටුද?’ මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ එය නිශ්ශබ්දව ඉවසූහ.
Msdiv 393 ඉක්බිති සක්දෙවි රජද, වෙසවුණු මහරජද මහ මුගලන් තෙරුන්වහන්සේ පෙරටුකොට ගෙන විජයොත් පහය යම් තැනක්හිද එතැනට ගියහ. සක්දෙවිඳුගේ පාදපරිචාරිකා ස්ත්‍රීහු දුරින්ම එන්නාවූ මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ දුටුවාහුමය, දැක බිය වෙමින්ද, ලජ්ජා වෙමින්ද තම තමන්ගේ කාමරවලට වැදුණාහුය. යම්සේ නම් ලේලිය මාමා දැක බියවේද, ලජ්ජා වේද, එපරිද්දෙන්ම සක්දෙවිඳුගේ පාදපරිචාරිකා ස්ත්‍රීහු දුරින්ම එන්නාවූ මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ දැක බිය වෙමින්ද, ලජ්ජා වෙමින්ද තම තමන්ගේ කාමරවලට වැදුණාහුය.
ඉක්බිති සක්දෙව්රජද වෙසවුණු රජද මහ මුගලන් තෙරුන් වහන්සේ විජයොත් පහයෙහි සක්මන් කරවත්, හසුරුවත්, “මෞද්ගල්‍යානයන් වහන්ස, විජයොත් පහයෙහි මේ රමණීය බවද බලනු මැනව. මෞද්ගල්‍යායනයන් වහන්ස, වෛජයන්ත ප්‍රාසාදයෙහි මේ රමණීය බවද බලනු මැනව” යි කියමින් ප්‍රාසාදය පෙන්වති. පෙර කළ පින් ඇත්තෙකුට යම්සේ නම්, එසේම මෙය ආයුෂ්මත් කොසියයන්හට හොබනේය. කිසියම් රමණීය බවක් දක්නාවූ මනුෂ්‍යයෝද, මෙසේ කියති. ‘තව්තිසා දෙව්ලොව වැසි දෙවියන්ට සුදුසුය.’ (යනුවෙනි) පෙර කළ පින් ඇත්තෙකුට යම්සේනම් එසේම මෙය ආයුෂ්මත් කොසියන්හට සුදුසුයයි (මුගලන් තෙරුන් වහන්සේ කීහ)
ඉක්බිති මහ මුගලන් තෙරුන්වහන්සේට මේ අදහස විය. “මේ දෙවිතෙම ඉතා දැඩිසේ ප්‍රමාදව වෙසෙයි. මම යම්හෙයකින් මේ දෙවියා සංවේගයට පමුණුවන්නෙම් නම් ඉතා යෙහෙක” (කියායි.) ඉක්බිති මහ මුගලන් තෙරණුවෝ යම්සේ විජයොත්පහය පය මාපටැඟිල්ලෙන් ගැසීමෙන් කම්පාවේද, අතිශයින් කම්පාවේද, වෙවුලායාද, එබඳු ඍද්ධියක් කළහ. ඉක්බිති සක්දෙව්රජුද, වෙසෙවුණු රජුද තව්තිසා වැසි දෙවියෝද, ආශ්චර්‍ය්‍ය අද්භූත සිත් ඇත්තෝ වූහ. “යමෙක් වනාහි මේ දිව්‍ය භවනය, පය මාපටැඟිල්ලෙන් කම්පා කෙළේද, විශෙෂයෙන් කම්පා කළේද, සෙලවූයේද, පින්වත්නි, ඒකාන්තයෙන් ඒ ශ්‍රමණයාගේ මහත් ඍද්ධි ඇති බව, මහත් අනුභාව ඇතිබව ආශ්චර්‍ය්‍යයි” (කියාය.)
ඉක්බිති මහ මුගලන් ස්ථවිරයන් වහන්සේ, සංවෙගයට පැමිණි, ලොමු ඩැහැගත් බවට පැමිණි සක්දෙව්රජු දැන ඔහුට මෙසේ කීහ. “කොසියයෙනි, භාග්‍යවතුන් වහන්සේ තොපට තෘෂ්ණා විමුක්තිය වදාළේ කෙසේද? අපිද ඒ කථාව ඇසීමට කොටස් කාරයෝ වෙමුනම් මැනවි.” (කියායි)
Msdiv 394 “නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෙමි. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක උන්නෙමි. එක පැත්තක උන්නාවූ මම භාග්‍යවතුන්වහන්සේට මෙසේ කීවෙමි. ‘ස්වාමීනි, කොපමණකින් මහණ තෙම කොටින් තණ්හාවෙන් මිදුනු සිත් ඇත්තේ ඒකාන්ත අවශානය ඇත්තේ, ඒකාන්තයෙන් කෙලෙස් බැමිවලින් මිදුනේ, ඒකාන්ත බ්‍රහ්මචරියා ඇත්තේ, ඒකාන්ත කෙළවර ඇත්තේ දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨ වේදැ’යි (කියාය) නිදුක්වූ මෞද්ගල්‍යායනයන් වහන්ස මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළෝය.
“දෙවෙන්ද්‍රය, මේ ශාසනයෙහි මහණහු විසින් (පංචස්කන්ධය, දොළොස් ආයතන, අටලොස් ධාතු යන) සියලු ධර්මයෝ (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) ‘මමය මාගේය’යි අල්වා ගැනීමට සුදුසු නොවේ යයි අසන ලද්දේ වේද, දෙවෙන්ද්‍රය, මෙසේ සියලු ධර්මයෝ ‘මමය මාගේය’යි ගැනීමට සුදුසු නොවේය, යි භික්ෂුව විසින් අසන ලද්දේ නම්, හෙතෙම සියලු ධර්මයන් ස්කන්ධ ධාතු ආදි වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් පිරිසිඳ දැන සැප වූ හෝ දුක් වූ හෝ දුක්ද, නොවූ සැපද නොවූ හෝ වෙදනාවක් විඳියිද, ඒ වෙදනා කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විරාගය අනුව බලමින් වාසය කරයි. නිරොධය අනුව බලමින් වාසය කරයි. දුරලීම අනුව බලමින් වාසය කරයි. හෙතෙම ඒ වෙදනාවන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නේ, විරාගය අනුව බලමින් වාසය කරන්නේ නිරොධය අනුව බලමින් වාසය කරන්නේ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නේ ලෝකයේ කිසියම් සංස්කාරයක් (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගනියි. (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගන්නේ තැති නොගනියි, තැති නොගන්නේ මේ ආත්මයේදීම ක්ලෙශ පරිනිර්වාණය කරයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුත්තකරන ලදී. තවත් කළයුත්තක් මින්පසු නැත්තේයයි දනියි.
“දෙවෙන්ද්‍රය මෙපමණකින් මහණතෙම කොටින් නිවන් අරමුණු කොට කෙලෙසුන් කෙරෙන් මිදුණ, ඉපදීම් මැරීම් දෙක නිමකළ, කෙලෙස් බැමිවලින් මිදුණ ඒකාන්ත බ්‍රහ්ම චරියාව ඇති ඒකාන්ත කෙළවර ඇති දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨයෙක් වන්නේය’යි (වදාළේය.)
“නිදුක් මෞද්ගල්‍යායනයන් වහන්ස, මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙපයෙන් තෘෂ්ණා විමුක්තිය වදාළෝය.”
එවිට මහමුගලන් ස්ථවිරයන් වහන්සේ ශක්‍රදෙවෙන්ද්‍රයාගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, යම්සේ ශක්තිමත් පුරුෂයෙක් නැමූ අතක් දිග හරින්නේද, දිග හැරිය අතක් නමන්නේද, එපරිද්දෙන්ම තව්තිසා දිව්‍ය ලොකයෙහි අතුරුදන්වූයේ පූර්වාරාම නම්වූ මිගාරමාතු ප්‍රාසාදයෙහි පහළවූහ. ඉක්බිති සක්දෙවිඳුගේ පරිචාරිකා ස්ත්‍රීහු මහ මුගලන් තෙරුන් වහන්සේ බැහැර ගිය නොබෝ වේලාවකින් සක්දෙවිඳුට මෙසේ කීවාහ. “නිදුකාණෙනි, ඔබගේ ශාස්තෘවූ ඒ භාග්‍යවතුන් වහන්සේ මුන්වහන්සේදැ”යි (කියාය.) “නිදුකාණෙනි, මෙතෙම මාගේ ශාස්තෲන් වහන්සේ නොවෙයි. මාගේ සබ්‍රම්සරුවූ (යහළුවූ) මහ මුගලන් තෙරණුවෝය”යි (සක්දෙවිරජ කීය) “නිදුකාණෙනි, යම්බඳු ඔබගේ සබ්‍රහ්ම චාරිතෙම මෙසේ මහත් ඍද්ධි ඇත්තේද, මහත් අනුභාව ඇත්තේද, ඒ ඔබට මහත් ලාභයකි. ඔබගේ ශාස්තෘවූ යම් ඒ භාග්‍යවත් කෙනෙක් වේද, උන්වහන්සේගේ ඍද්ධ්‍යනුභාවය එකාන්තයෙන් මහත් විය යුතුමය.”
Msdiv 395 ඉන්පසු ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක පැත්තක උන්හ. එකපැත්තක උන්නාවූ මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ලොකයෙහි ප්‍රසිද්ධ වූවන් අතුරෙන් කෙනෙක්වූ මහෙශාක්‍යවූ දෙවියෙකුට තෘෂ්ණා විමුක්තිය වදාළබව දැන වදාරන්නේද? “මෞද්ගල්‍යායනය, මම එය දෙශනා කළ බව දනිමි. සක්දෙව් රජතෙම, මම යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, මට හොඳින් වැඳ, එක පැත්තක උන්නේය. එකපැත්තක උන්නාවූ ශක්‍ර දෙවෙන්ද්‍ර තෙම මට මෙසේ කීවේය. ස්වාමීනි, කොපමණකින් මහණතෙම නිවන් අරමුණුකොට කෙලෙස් බැමිවලින් මිදුනු සිත් ඇත්තේ එකාන්ත අවශානය ඇත්තේ, එකාන්තයෙන් කෙලෙස් බැමිවලින් මිදුනේ, එකාන්ත බ්‍රහ්මචරියා ඇත්තේ, එකාන්ත කෙළවර ඇත්තේ දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨ වේදැ’යි (කියායි.) මෞද්ගල්‍යායනය, මෙසේ ඇසූ කල්හි ශක්‍රදෙවෙන්ද්‍රයාට මම මෙසේ කීවෙමි.
“දෙවෙන්ද්‍රය, මේ ශාසනයෙහි මහණහු විසින් පංචස්කන්ධ, (දොළොස් ආයතන. අටලොස් ධාතු යන) සියලු ධර්මයෝ (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) ‘මමය මාගේය’යි අල්වා ගැනීමට සුදුසු නොවේ යයි අසන ලද්දේ වේද, දෙවෙන්ද්‍රය මෙසේ සියලු ධර්මයෝ ‘මමය මාගේය’යි ගැනීමට සුදුසු නොවේයයි භික්ෂුව විසින් අසනලද්දේ නම්, හෙතෙම සියලු ධර්මයන් ස්කන්ධ ධාතු ආදි වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් පිරිසිඳ දැන සැප වූ හෝ, දුක් වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වෙදනාවක් විඳියිද, ඒ වෙදනාව අනුව බලමින් වාසය කරයි. නිරොධය අනුව බලමින් වාසය කරයි, දුරලීම අනුව බලමින් වාසය කරයි. හෙතෙම ඒ වෙදනාවන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නේ විරාගය අනුව බලමින් වාසය කරන්නේ, නිරොධය අනුව බලමින් වාසය කරන්නේ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නේ ලෝකයේ කිසියම් සංස්කාරයක් (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොගනියි. (තෘෂ්ණා දාෂ්ටි වශයෙන්) නොගන්නේ තැති නොගනියි, තැති නොගන්නේ මේ ආත්මයේදීම ක්ලෙශ පරිනිර්වාණය කරයි, ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුත්ත කරනලදී. තවත් කළයුත්තක් මින්පසු නැත්තේයයි දනියි.
“මෞද්ගල්‍යායනය, මෙසේ තෘෂ්ණා විමුක්තිය ශක්‍ර දෙවෙන්ද්‍රයාට කී බව දනිමි”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.
හත්වෙනිවූ චූල තණ්හාසංඛය සූත්‍රය නිමි. (4-7)
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source