LibraryMNMN 39
MN 3930 min read

The Longer Discourse at Assapura

Mahāassapura Sutta

20
PDFGenerated
01 · Overview

The Buddha encourages the mendicants to live up to their name, by actually practicing in a way that meets or exceeds the expectations people have for renunciants.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 4. මහා යමක වර්ගය 39. මහා අස්සපුර සූත්‍රය Msdiv 415 මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟු දනව් වැසියන්ගේ අස්සපුර නම් නියම්ගමෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි’යි කියා භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ‘මහණෙනි, මහජනයා තොප ශ්‍රමණයෝය, ශ්‍රමණයෝය’ කියා හඳුනයි. තොපිදු ‘තෙපි කවරහුදැ’යි විචාරණ ලද්දාහු, ‘අපි ශ්‍රමණයෝ වෙමු’යි ප්‍රතිඥා කරන්නහුය. මහණෙනි, මෙසේ හඳුනනු ලබන්නාවූ, මෙසේ ප්‍රතිඥා කරන්නාවූ ඒ තොපගේ ශ්‍රමණ බව ඇතිකරන්නාවූද, බ්‍රාහ්මණ බව ඇතිකරන්නාවූද යම් ධර්ම කෙනෙක් වෙද්ද, ඒ ධර්මයන් සමාදන්ව පවතින්නෙමු නම් මෙසේ ඒ හැඳින්වීම සත්‍යවන්නේය. අපගේ ප්‍රතිඥාවද ඇත්තක් වන්නේය. අපි යම් කෙණෙකුන්ගේ සිව්රු, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමුද අප විෂයෙහි කරන්නාවූ ඔවුන්ගේ ඒ සත්කාරයෝ මහත් ඵල, මහත් අනුසස් වන්නාහ. අපගේද මේ මහණකම හිස් නොවූ, ඵල සහිතවූ, වැඩීම් සහිතවූ එකක් වන්නේය’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.

Msdiv 416 “මහණෙනි, ශ්‍රමණ බව කරන්නාවූද, බ්‍රාහ්මණ බව කරන්නාවූද. ධර්මයෝ කවරහුද? ‘හිරි ඔතප් (ලජ්ජා, භය) දෙකින් යුක්ත වූවෝ වන්නෙමු’යි මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැක්කේය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවීමු. මේ ප්‍රමාණ වන්නේය. මෙපමණකින් කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු කළයුත්තක් නැතැ’යි තෙපි මෙපමණකින්ම සතුටට පැමිණිය හැකිය.

“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. මත්තෙහි කටයුතු ඇති කල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා.

Msdiv 417 “මහණෙනි, මත්තෙහි කටයුතු නම් කුමක්ද? ‘අපගේ කයින් හැසිරීම පිරිසිදු වන්නේය. ප්‍රකටය. නොවැසුනේය. සිදුරු නැත්තේය. සංවර වූයේය. ඒ කයින් පිරිසුදු බව ඇතිකම නිසා තමන් උසස්කොට නොදකින්නෙමු, අනුන් පහත් කොට නොදකින්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් වියහැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු. අපගේ කයින් හැසිරීම පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කළෝ වෙමු. අප විසින් මහණ කමෙහි ඵලය ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි තෙපි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇතිකල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා

Msdiv 418 “මහණෙනි, මත්තෙහි කටයුතු නම් කුමක්ද අපගේ වචනයේ පැවැත්ම පිරිසිදුය, ප්‍රකටය, නොවැසුනේය. සිදුරු නැත්තේය සංවර වූයේය ඒ පිරිසිදු වචන ඇති බැවින් තමන් උසස්කොට නොදක්නෙමු, අනුන් පහත් කොට නොදක්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් වියහැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු. අපගේ කයින් හැසිරීම පිරිසිදුය වචනයේ පැවැත්ම පිරිසිදුය මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරණලදී. අප විසින් මහණ කමෙහි ඵල ලබනලදී. අපට මින්පසු කළයුතු කිසිවක් නැතැ මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

“මහණෙනි, තොපට කියමි. තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇති කල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා,

Msdiv 419 “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ‘අපගේ සිතේ පැවැත්ම පිරිසිදුය, ප්‍රකටය, නොවැසුනේය, සිදුරු නැත්තේය, සංවරවූයේය. ඒ පිරිසිදු සිතේ පැවැත්ම ඇති බැවින් තමන් උසස්කොට නොදකින්නෙමු. අනුන් පහත්කොට නොදකින්නෙමු’යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවුවෝ වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය. වචනයේ පැවැත්ම පිරිසිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා.

Msdiv 420 “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ‘අපගේ ජීවිකාව පිරිසිදුය, ප්‍රකටය, නොවැසුණේය, සිදුරු නැත්තේය, සංවර කරන ලද්දේය. ඒ පිරිසිදු ජීවිකාව ඇති බැවින් තමන් උසස් කොට නොදක්නෙමු. අනුන් පහත්කොට නොදක්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය. වචනයේ පැවැත්ම පිරිසිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. ජීවිකාව පිරිසිදුය. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබන ලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණ කමේ පලය නොපිරිහේවා.

Msdiv 421 “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ‘ඉන්ද්‍රියයන්හි වසන ලද දොරවල් ඇත්තෝ වන්නෙමු. ඇසින් රූපය දැක සිතට නොගන්නේ, නැවත නැවත මතක් වනසේ සිතට නොගන්නේ මේ චක්ෂුරෙන්ද්‍රිය (ඇස) අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ ද්වෙෂ ආදී අකුශල ධර්මයෝ රැස් වන්නාහුද, ඒ චක්ෂුරින්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදින්නෙමු. චක්ෂුරින්ද්‍රිය රකින්නෙමු. චක්ෂුරින්ද්‍රියෙහි සංවරයට පැමිණෙන්නෙමු.

“කණින් ශබ්දය අසා සිතට නොගන්නේ තදින් සිතට නොගන්නේ, මේ සොත ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ සොත ඉන්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ සොත ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ සොත ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.

“නාසයෙන් ගන්ධය දැන එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මේ ඝාණ ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස ආදී අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ ඝාණ ඉන්ද්‍රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ ඝාණ ඉන්ද්‍රිය රකින්නෙමු. ඒ ඝාණ ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.

“දිවෙන් රසය විඳ එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මේ ජිව්හා ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන දැඩි ආසාව හා කලකිරීම ආදී අකුසල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ ජිව්හා ඉන්ද්‍රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ ජිව්හා ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ ජිව්හා ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.

“කයින් ස්පර්ශයක් විඳ එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මේ කාය ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස ආදි අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ කාය ඉන්ද්‍රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ කාය ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ කාය ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.

“සිතින් යම් (ධර්ම) අරමුණක් දැන එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මේ මනො ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස ආදී අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ මනො ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ මනො ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ මනො ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු’යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුය.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තයෝ වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය. වචනයේ පැවැත්ම පිරිසිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. ජීවිකාව පිරිසිදුය. ඉන්ද්‍රියයන්හි වසනලද දොරවල් ඇත්තෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරන ලදී. අප විසින් මහණකමෙහි ඵලය ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි. මත්තෙහි කටයුතු ඇතිකල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා,

Msdiv 422 “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ‘භොජනයෙහි පමණ දන්නෝ වන්නෙමු. නුවණින් සලකා බලා ආහාර අනුභව කරන්නෙමු. (ඒ අනුභවය) ක්‍රීඩා පිණිස නොවෙයි. මද වැඩීම පිණිස නොවෙයි. සැරසීම පිණිස නොවෙයි, අලංකාරය පිණිස නොවෙයි. යම්තම් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස, හිංසා දුරලීම පිණිස, බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිසය. මෙසේ පැරණි වේදනාවන් නසන්නෙමි. අලුත් වේදනාවන් නො උපදවන්නෙමි, මාගේ දිවි පැවැත්මද වන්නේය. නිවරැදි බවද, සැප විහරණයද වන්නේය’ (කියායි) මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්ත වෙමු. අපගේ කයේ පැවැත්ම පිරිසිදුය, වචනයේ පැවැත්ම පිරිසිදුය, සිතේ පැවැත්ම පිරිසිදුය, ජීවිකාව පිරිසිදුය, ඉන්ද්‍රියයන්හි වසනලද දොරවල් ඇත්තෙමු, භොජනයෙහි පමණ දැන වළඳන්නෙමු, මෙපමණක් ඇත මෙපමණකින් සිව් මග කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

“මහණෙනි, තොපට කියමි තොපට දන්වමි. මහණෙනි, මත්තෙහි කටයුතු ඇතිකල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා.

Msdiv 423 “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ‘නිදි තොරකිරීමෙහි යෙදුනෝ වන්නෙමු. දවල් කාලය මුලුල්ලෙහි සක්මන් කිරීමෙන් හිඳීමෙන් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු. රාත්‍රියෙහි ප්‍රථම යාමය සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු. රාත්‍රියෙහි මධ්‍යම යාමය දකුණු ඇලයෙන් දකුණු පයෙහි වම් පය මදක් ඇද තබා සිහියෙන් යුක්තව, හොඳ ප්‍රඥාව ඇතිව, නැගිටිමි යන සංඥාව සිත්හි තබාගෙන සිංහසෙය්‍යාවෙන් සැතපෙන්නෙමු. රාත්‍රියෙහි අන්තිම යාමයෙහි නැගිට සක්මන් කිරීමෙන්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය. ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු. ‘අපගේ කායසමාචාරය පිරිසිදුය, වචීසමාචාරය පිරිසිදුය, මනොසමාචාරය පිරිසිදුය, ජීවිකාව පිරිසිදුය, ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තෝ වෙමු. භොජනයෙහි පමණ දැන වළඳන්නෝ වෙමු. නිදි තොර කිරීමෙහි යෙදුනෝ වෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබන ලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැත’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට දන්වමි තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා.

Msdiv 424 “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? ‘සිහියෙන් හා යහපත් ප්‍රඥාවෙන් යුක්තවූවෝ වන්නෙමු. ඉදිරි ගමනෙහිද, ආපසු ගමනෙහිද, නුවණින් ක්‍රියා කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වට පිට බැලීමෙහිද නුවණින් බලන්නේය. අත්පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද මනා නුවණින් යුක්තව එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මුත්‍ර පහකිරීමද නුවණින් සලකා කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථා කිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ මනා නුවණින් දැන එසේ කරන්නේය’යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුය.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය, ‘අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු, අපගේ කාය සමාචාරය පිරිසිදුය, වචී සමාචාරය පිරිසිදුය, මනො සමාචාරය පිරිසිදුය, ජීවිකාව පිරිසිදුය, ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තෝ වෙමු. භොජනයෙහි පමණ දැන වළඳන්නෝ වෙමු. නිදි තොර කිරීමෙහි යෙදුනෝ වෙමු. සිහියෙන් හා යහපත් නුවණින් යුක්තවූවෝ වෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.

“මහණෙනි, තොපට කියමි, මහණෙනි, තොපට දන්වමි. තොපට මත්තෙහි කටයුතු ඇති කල්හි, මහණකමින් පල ලබනු කැමති තොපගේ මහණකමෙහි පලය නොපිරිහේවා.

Msdiv 425 “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද? මේ ශාසනයෙහි මහණතෙම, ආරණ්‍ය සෙනාසනය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැළිය, පර්වතගුහාය, සොහොනය, ඈත වන මැද සෙනාසනය, එළිමහනය, පිදුරු බිස්සය යන විවේක සෙනසුනක් සෙවනය කරයි. හෙතෙම බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුණේ පර්‍ය්‍යංකය බැඳ ශරීරය කෙලින් තබා සිහිය ඉදිරිකොට තබා හිඳියි. හෙතෙම ශරීර නමැති ලොකයෙහි අභිද්‍යාව (ආශාව) දුරුකොට පහවූ අභිද්‍යා ඇත්තේ අභිද්‍යාවෙන් හිත පිරිසිදු කරයි, ව්‍යාපාදය (ක්‍රොධය) හැර ව්‍යාපාද රහිත සිත් ඇත්තේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පා ඇත්තේ වාසය කරයි. ව්‍යාපාදයෙන් හිත පිරිසිදු කරයි. ථීනමිද්ධය හැර පහවූ ථීනමිද්ධ ඇත්තේ, ආලොක සංඥා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ යහපත් ප්‍රඥා ඇත්තේ වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි, උද්ධච්චකුක්කුච්චය හැර විසිරනොගිය සිත් ඇතිව වාසය කරයි. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව දුරලා පහකළ විචිකිච්ඡා ඇත්තේ, කුසල ධර්මයන්හි, කෙසේ කෙසේදැයි, පැවති සැකනැතිව වාසය කරයි, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.

Msdiv 426 “මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම ණයට මුදල් ගෙන කර්මාන්තයන්හි යොදවයිද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණු වෙත්ද, හෙතෙම ඒ පැරණි ණයත් ගෙවන්නේද, අඹු දරුවන් පොෂණය පිණිසද යම් මුදලක් ඉතිරිවන්නේද, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම වනාහි පෙර ණය ගෙන කර්මාන්තයන්හි යෙදූයෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි යම් ණය මුදලක් වීනම් ඒ මුදල්ද ගෙව්වෙමි අඹු දරුවන් පොෂණයටද මුදල් ඉතිරිවීයයි හෙතෙම ඒ හේතු කොට ගෙන සතුට ලබයිද, සොම්නසටද පැමිණෙයිද.

“මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම ආබාධයකින් යුක්තවූයේ, එයින් හටගත් දුක් ඇත්තේ, දැඩි ගිලන් වෙයිද, ඔහුට ආහාරයද, රුචි නොවන්නේය. ඔහුගේ ශරීරයෙහි ශක්තියද නැත්තේය. ටික කලකින් හෙතෙම ඒ රොගයෙන් මිදුනේ, ඔහුට බතද රුචි වන්නේය. ඔහුගේ ශරීරයෙහි බලයද වන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මම වනාහි පෙර ලෙඩ වූයෙමි, එයින් හටගත් දුක් වේදනා ඇත්තේ වීමි. දැඩි ගිලන්වීමි. මට බතද රුචි නොවීය. මාගේ ශරීරයෙහි ශක්තියද නැතිවිය. ඒ මම දැන් ඒ රොගයෙන් මිදුනෙමි. මට බතද රුචිය. මාගේ කයෙහි ශක්තිය ඇත. හෙතෙම ඒ හේතු කොටගෙන සතුටට පත්වෙයිද, සොම්නසටද පැමිණෙයිද

“මහණෙනි, යම්සේ පුරුෂයෙක්තෙම සිරගෙයි බැඳුනේද, හෙතෙම පසු කලෙක ඒ බන්ධනයෙන් සැපසේ වියදමක් නැතිව මිදෙන්නේද, ඔහුගේ භොගයන්ගේ කිසි විනාශයකුත් නොවන්නේද, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම වනාහි පෙර සිරගෙයි බඳනා ලද්දෙක් වීමි. ඒ මම දැන් ඒ බන්ධනයෙන් සැපසේ වියදමක් නැතිව මිදුනෙමි. මාගේ භොගයන්ගේ කිසි හානියක්ද නැත. හෙතෙම ඒ හේතු කොටගෙන සතුට ලබයිද සොම්නසටද පැමිණෙයිද

“මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම තමා ප්‍රධාන නොවූ, අන්‍යයෙකුට යටත්වූ, කැමතිසේ හැසිරෙන්නට ඉඩ නොලබන දාසයෙක් වේද, හෙතෙම පසු කලෙක ඒ දාසභාවයෙන් මිදී තමාම ප්‍රධාන කොට ඇත්තේ, අනුන් ස්වාමි කොට නැත්තේ නිදහස් වූයේ කැමති සේ හැසිරෙන්නට ඉඩ ලබයිද, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම වනාහි පෙර ස්වාධීන නොවූ අනුන්ට යටත්වූ, කැමතිතැනක නොයා හැකිවූ දාසයෙක්වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනේ ස්වාධීනවූයේ, පරාධීන නොවූයේ කැමති තැනකට යාහැකි වූයෙමියි. හෙතෙම ඒ හේතුකොටගෙන සතුට ලබයිද. සොම්නසටද පැමිණෙයිද.

“මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම ධන සහිතවූයේ, භොග සහිත වූයේ, කාන්තාරයෙහි දීර්ඝ මාර්ගයකට බැස්සේ වෙයිද, හෙතෙම ටික කලකට පසු ඒ කාන්තාරයෙන් සැපසේ වියදමක් නැතිව එතර වන්නේය. ඔහුගේ සම්පත්තීන්ගේ කිසිහානියක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මම වනාහි පෙර ධන සහිත වූයේ භොග සහිතවූයේ කාන්තාරයෙහි දීර්ඝ මාර්ගයට පැමිණියෙමි. ඒ මම දැන් ඒ කාන්තාරයෙන් සැපසේ, වියදමක් නැතිව එතර වූයෙමි. මාගේ සම්පත්තීන්හි කිසි හානියක්ද නැතැයි, හෙතෙම ඒ හේතුකොටගෙන සතුට ලබයිද, සොම්නසටද පැමිණෙයිද,

“මහණෙනි, මහණතෙම ණය යම්සේද, රෝගය යම්සේද, සිරගෙය යම්සේද, දාසභාවය යම්සේද, කාන්තාර මාර්ගය යම්සේද එපරිද්දෙන්ම නැති නොවූ මේ පංචනීවරණ ධර්මයන් තමා කෙරෙහි දකියි. මහණෙනි, ණය රහිත බව යම්සේද, නිරොගි බව යම්සේද, හිරගෙයින් මිදීම යම්සේද, නිදහස් බව යම්සේද, නිර්භය ස්ථානය යම්සේද, එපරිද්දෙන්ම මහණතෙම නැතිවූ මේ පංචනීවරණයන් තමා කෙරෙහි දකියි.

Msdiv 427 “හෙතෙම හිත කෙලෙසන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංචනීවරණ ධර්මයන් දුරුකොට කාමයන්ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන් වෙන්වූයෙම විතර්ක සහිතවූ, විචාර සහිතවූ සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැප කොට ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි, හෙතෙම මේ ශරීරය විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, පුරවයි, හාත්පසින් ස්පර්ශ කරයි ඔහුගේ සියලු ශරීරයෙහි කිසියම් ප්‍රදෙශයක් ප්‍රීති සැපයෙන් ස්පර්ශ නොකරන ලද්දේ නොවෙයි. මහණෙනි, යම්සේ දක්ෂවූ නාවන්නෙක් හෝ නාවන්නෙකුගේ අතවැසියෙක් හෝ ලොහො තලියක ඇඟගාන සුවඳසුණු දමා දියෙන් තෙම තෙමා පිඩුකරන්නේය. ඒ නහණ සුණු පිඩ දියෙන් යුක්ත වූයේ දියෙන් වළඳනා ලද්දේ, ඇතුළත පිටත දියෙන් ස්පර්ශ කරන ලද්දේ වෙයිද, එයින් දිය නොවැගිරෙයිද, මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි. සැම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි ප්‍රීති සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත.

Msdiv 428 “මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්ෂුව, විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ මනා පැහැදීම ඇතිකරන්නාවූ සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීතිසැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරයම ද්විතීය ධ්‍යාන සමාධියෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි. පුරවයි, පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත්තේය. මහණෙනි, උල්පතින් ජලය ලැබෙන දිය විලක් යම්සේ වේද, ඒ විලට නැගෙනහිරින්ද, ජලය ඇතුළුවන මාර්ගයක් නැත්තේය. බටහිර දිගින්ද ජලය ඇතුළුවන මාර්ගයක් නැත්තේය. උතුරු දිගින්ද ජලය ඇතුළුවන මාර්ගයක් නැත්තේය. දකුණු දිගින්ද ජලය ඇතුළුවන මාර්ගයක් නැත්තේය. වැස්සද කලින් කල ඊට හොඳින් නොවසින්නේය. එහෙත් ඒ දිය විලෙන්ම සිසිල්වූ ජලධාරාවෝ උඩට නැඟී ඒ දිය විල මුළුල්ලම සිසිල් ජලයෙන් තෙමන්නේය. හාත්පසින් තෙමන්නේය, සම්පූර්ණයෙන් පුරවන්නේය, ඒ මුළු දිය විලෙහි කිසියම් පෙදෙසක් සිසිල් දියෙන් ස්පර්ශ නොකරන ලද්දේ නොවෙයිද,

“මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සැම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි සමාධියෙන් හටගත් ප්‍රිති සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත.

Msdiv 429 “මහණෙනි, නැවත අනෙකක් ද කියමි. භික්ෂුව ප්‍රීතියෙහිද නොඇල්මෙන් මැදහත් බව ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා (මැදහත්) විඳීම ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරය ප්‍රීති රහිතවූ සැපයෙන් හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සෑම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි ප්‍රීති රහිත සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත. මහණෙනි, යම්සේ උපුල් විලක හෝ පියුම් විලක හෝ හෙළපියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළපියුම් හෝ දියෙහි හටගත්තාහු, දියෙහි වැඩුනාහු, දිය අනුව ගියාහු, ඇතුළත වැද වැඩෙන්නාහු, අගදක්වාද, මුලදක්වාද, සිහිල් දියෙන් තෙමුනාහු, හාත්පසින් තෙමුනාහු, පිරුණාහු දියෙන් ස්පර්ශ කරන ලද්දාහු වෙත්ද, ඒ උපුල් අතුරෙන් හෝ පියුම් අතුරෙන් හෝ හෙළ පියුම් අතුරෙන් හෝ කිසිවක් මුළුමනින් සිහිල් දියෙන් ස්පර්ශ නොකරන ලද්දේ නොවන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව ප්‍රීති රහිත සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සැම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි ප්‍රීති රහිත සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත්තේය.

Msdiv 430 “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, පළමු කොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්ෂාසති යන මොවුන්ගේ පිරිසිදු බව ඇති හතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් පතුරුවා උන්නේවෙයි, ඔහුගේ සියලු අවයව ඇති ශරීරයාගේ කිසියම් ප්‍රදෙශයක් පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් ස්පර්ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම සුදු වස්ත්‍රයකින් හිස සහිතව පොරවා හුන්නේද, ඔහුගේ මුළු ශරීරයේ කිසියම් ප්‍රදෙශයක් පිරිසිදු සුදුවස්ත්‍රයෙන් නොවැසුණේ නොවෙයි. මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මේ ශරීරයම පිරිසුදුවූ පැහැදිලිවූ සිතින් පැතිර වාසය කරයි. ඔහුගේ මුළු ශරීරයේ කොතැනක්වත් පිරිසුදුවූ පැහැදිලිවූ හිතින් ස්පර්ශ නොකරන ලද්දේ නොවෙයි.

Msdiv 431 “හෙතෙමේ මෙසේ සිත එඟකවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි. මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත්කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කරයි. කෙසේදයත්: එක් ජාතියක් ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක්දහසක්ද, නොයෙක් විනාශවෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කරයි.

“මහණෙනි, පුරුෂයෙක් යම්සේ තම ගමින් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද, ‘මම, සිය ගමින් අසුවල් ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනුදු අසුවල් ගමට ගියෙමි, එහිද මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි’යි හෙතෙම දන්නේය

“මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, කෙලෙස් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවටපැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් පෙරවිසීම් සිහි කරයි. කෙසේදයත්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද නොයෙක් විනාශවෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් හෝ විනාශවෙමින් හෝ පවතින කල්පයන්ද, අසුවල් තැන වීමි. මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සැප දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව අසුවල්තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුව දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිත, (පෙරවිසූ පිළිවෙළ) දැක්වීම් සහිත, නොයෙක් ආකාරවූ පෙරවිසීම් සිහි කරයි.

Msdiv 432 “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්වයන්ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කරයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද, කර්මය ලෙස පැමිණි සත්වයන් දනී. ‘මේ පින්වත් සත්වයෝ කාය (ශරීර) දුශ්චරිතයෙන් යුක්තය, වාග් (වචනය) දුශ්චරිතයෙන් යුක්තය, මනො (හිතේ) දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයන්ට බණින්නෝය, මිථ්‍යා දෘෂ්ටිකයෝය, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්වයෝ කාය (ශරීර) සුචරිතයෙන් යුක්තය, වාග් (වචන) සුචරිතයෙන් යුක්තය, මනො (හිතේ) සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. මරණින් මතු යහපත් පැමිණීමවූ ස්වර්ගලොකයෙහි උපන්නාවූ මෙසේ පිරිසුදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණ වූද, හොඳ ලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී

“මහණෙනි, දොරවල් සහිතවූ ගෙවල් දෙකක් යම්සේ වන්නාහුද, එහි ඇස් ඇති පුරුෂයෙක් තෙම මධ්‍යයෙහි සිටියේ ගෙට පිවිසෙන්නාවූද, නික්මෙන්නාවූද, සක්මන් කරන්නාවූද, මනුෂ්‍යයන් දක්නේද, මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම පිරිසුදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද, කර්මය ලෙස උපන් සත්වයන් දකී.

“මහණෙනි, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, කෙලෙස්පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කරයි, සිත ඉදිරිපත් කොට නමයි. හේ මිනිස් ඇස ඉක්මවූ දිවඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනි. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තය, වාග් දුශ්චරිතයෙන් යුක්තය, මනො දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයින්ට බණින්නෝය, මිථ්‍යාදෘෂ්ටිකයෝය, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝය. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු අපායවූ, දුර්ගතියවූ, දුකවූ, නිරයට පැමිණෙත්.’ නැතහොත්, ‘මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තය, වාග් සුචරිතයෙන් යුක්තය, මනො සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබනින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු සුගතියවූ, ස්වර්ගලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී, පහත්වූද උස්සවූද ලක්ෂණවූද අවලක්ෂණවූද සුගතියට පැමිණියාවූද දුර්ගතියට පැමිණියාවූද කර්මයලෙස පැමිණි සත්වයන් දනී.

Msdiv 433 “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි කම්පා නොවන බවට පැමිණි කල්හි, සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය (ආශ්‍රව ක්ෂයකර ඥානය) පිණිස සිත ඉදිරිපත් කරයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතුලෙස දැනගනී, මේ දුක් ඉපදීමේ හෙතුවයයි තතු ලෙස දැනගනී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගනී, මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී, මේ පැසවන කෙලෙස් (ආශ්‍රව) යයි තතු ලෙස දැනගනී, මේ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙළෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙළෙස් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, අවිද්‍යා ආශ්‍රවයන් කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය උතුම් හැසිරීමෙහි වසන ලදී, කටයුත්ත කරණලදී, මින්පසු වෙනත් කළයුත්තක් නැතැ’යිද දැනගනී.

“මහණෙනි, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුණු, දිය විලක් වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ, නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැටකැබලිතිද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය: ‘මේ දිය විල පිරිසිදුය, මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුණේය. එහි මේ සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැටකැබලිතිද, නැවතී තිබේ. මසුන් තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය’ කියායි. මහණෙනි, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැතිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත්කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හෙතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස්, යයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී. මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ. අවිද්‍යා ආශ්‍රවයන් කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙය. ඉපදීම නැති විය, උතුම් හැසිරීමෙහි වසනලදී. කටයුත්ත කරණලදී. මින් පසු අනික් කළයුත්තක් නැතැ’යිද දැනගනී.

Msdiv 434 “මහණෙනි, මේ මහණ තෙම, ‘සමණ’ යයිද, ‘බ්‍රාහ්මණ’ යයිද, ‘නහාතක’ යයිද, ‘වෙදගූ’ යයිද, ‘සොත්තිය’ යයිද, ‘ආර්‍ය්‍ය’ යයිද, ‘අර්හත්’ යයිද, කියනු ලැබේ.

“මහණෙනි, කෙසේ මහණ තෙම “ශ්‍රමණ” නම් වේද? ලාමකවූ කෙලසීම කරන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ මත්තෙහි ජාති, ජරා, මරණ ඇතිකරන්නාවූ, අකුශල ධර්මයෝ යමෙක් විසින් සංසිඳුවන ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ශ්‍රමණ නම් වෙයි

“මහණෙනි, මහණතෙම කෙසේ “බ්‍රාහ්මණ” නම් වේද? කෙලෙසීම කරන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවූ ලාමකවූ අකුසල ධර්මයෝ යමෙකු විසින් බැහැර කරණ ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම බ්‍රාහ්මණ නම් වෙයි.

“මහණෙනි, මහණතෙම කෙසේ “නහාතක” නම් වේද? කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවූ ලාමකවූ අකුසල ධර්මයෝ යමෙකු විසින් සෝදා හරින ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම “නහාතක” නම් වේ.

“මහණෙනි, මහණතෙම කෙසේ “වෙදගූ” නම් වේද? කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇතිකරන්නාවූ ලාමක අකුසල ධර්මයෝ යමෙකු විසින් (සතර මාර්ගඥානයෙන්) දන්නා ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ‘වෙදගූ’ නම් වේ.

මහණෙනි, මහණතෙම කෙසේ “සොත්තිය” නම් වේද? කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති-ජරා-මරණ ඇති කරන්නාවූ ලාමක අකුසල ධර්මයෝ යමෙකු විසින් ඉවත් කරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම “සොත්තිය” නම් වේ.

මහණෙනි, මහණතෙම කෙසේ “අරිය” නම් වේද? කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති-ජරා-මරණ ඇති කරන්නාවූ ලාමක අකුසල ධර්මයෝ යමෙකු විසින් දුරු කරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම “අරිය” නම් වේ.

මහණෙනි, මහණතෙම කෙසේ “අර්හත්” නම් වේද? කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවූ ලාමක අකුසල ධර්මයෝ යමෙකු විසින් ඈත්කරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ‘අර්හත්’ නම් වෙයි.”

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

නවවෙනිවූ මහා අස්සපුර සූත්‍රය නිමි. (4-9)

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection