The Shorter Discourse at Assapura
Cūḷaassapura Sutta
PDFGenerated
The labels of being a spiritual practitioner don’t just come from external trappings, but from sincere inner change.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 4. මහා යමක වර්ගය 40. චූල අස්සපුර සූත්‍රය Msdiv 435 මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ අඟු ජනපද වාසීන්ගේ අස්සපුර නම් නියම් ගමෙහි වැඩ වාසය කරති. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, මහජනයා තොප ශ්‍රමණයෝය, ශ්‍රමණයෝ යයි හඳුනයි. තොපද, තොප කවරහුදැයි විචාරණ ලද්දාහු, “අපි ශ්‍රමණයෝ වෙමු”යි ප්‍රතිඥා කරන්නාහුය. මහණෙනි, මෙසේ හඳුනනු ලබන්නාවූ, මෙසේ ප්‍රතිඥා කරන්නාවූ ඒ තොපගේ ශ්‍රමණයන්ට සුදුසුවූ යම් (සාමීචි ප්‍රතිපදාවක්) පිළිපැදීමක් වේද, ඒ ප්‍රතිපත්තිය පිළිපදින්නෙමු නම් මෙසේ අපගේ ඒ හැඳිනීමද සත්‍යවන්නේය ප්‍රතිඥාවද ඇත්තක් වන්නේය. අපි යම් කෙනෙකුන්ගේ සිව්රුය. පිණ්ඩාහාරය. සෙනාසනය, ගිලන්පසය, බෙහෙත් පිරිකරය යන මෙය වළඳමුද, අපට ඔවුන්ගේ ඒ දන්දීම්ද, මහත්ඵල වන්නාහුය. මහා ආනිසංස වන්නාහුය, අපගේද, මේ මහණකම හිස් නොවන්නේය, ඵල සහිත වන්නේය, වැඩීම් සහිත වන්නේයයි. මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.
Msdiv 436 “මහණෙනි, මහණතෙම කෙසේ නම් ශ්‍රමණ සාමීචි ප්‍රතිපදාව පිළිපදින්නෙක් වෙයිද, මහණෙනි, අභිද්‍යා (දැඩිලොභය) බහුලවූ යම්කිසි මහණෙකුගේ දැඩි ලොභය නැති නොවූයේ වේද, ව්‍යාපාද සිත් (අනුන්ගේ විනාශය කැමති සිත්) ඇත්තහුගේ ඒ ව්‍යාපාදය, නැති නොවූයේ වේද, ක්‍රොධ කරන (කිපෙනසුළු) පුද්ගලයාගේ ඒ ක්‍රොධය නැති නොවූයේ වේද, බද්ධ වෛර ඇත්තහුගේ ඒ බද්ධ වෛරය, නැති නූවූයේ වේද, මකුගුණ ඇත්තහුගේ ඒ මකුගුණය, නැති නූවූයේ වේද, යුගග්‍රාහ (ගුණ නැතිව සිටිමින් උසස් ගුණවතුන් හා තමා සමානයයි සැලකීම) ඇත්තහුගේ ඒ යුගග්‍රාහය, නැති නූවූයේ වේද, ඊර්ෂ්‍යාව ඇත්තහුගේ ඒ ඊර්ෂ්‍යාව නැති නූවූයේ වේද, මාත්සර්‍ය්‍යය (මසුරුකම) ඇත්තහුගේ මාත්සර්‍ය්‍යය නැති නූවූයේ වේද, කෛරාටික වූවහුගේ ඒ කෛරාටික බව නැති නුවූයේ වේද, රැවටිලි ඇත්තහුගේ ඒ රැවටිල්ල නැති නුවූයේ වේද, ලාමක අදහස් ඇත්තහුගේ ඒ ලාමක අදහස් නැති නුවූයේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුගේ ඒ මිථ්‍යාදෘෂ්ටිය නැති නුවූයේ වේද, මහණෙනි, මම වනාහි ශ්‍රමණයන් කිලිටි කරන ශ්‍රමණ මලයන්වූ, ශ්‍රමණයන් දූෂ්‍ය කරන ශ්‍රමණ දොෂයන්වූ ශ්‍රමණයන් සාර රහිත කරන ශ්‍රමණ කසටයන්වූ, අපායෙහි ඉපදීමට කරුණුවූ, දුගතියෙහි, විපාක විඳීමට සලසන්නාවූ, මේ දොෂයන් නැති නොකළ තැනැත්තා ශ්‍රමණ ප්‍රතිපදාවෙහි පිළිපන්නේයයි නොකියමි. මහණෙනි, යම්සේ දෙපස මුවහත් ඇති පණපොවා මුවහත් තැබුවාවූ, මටජ නම් ආයුධ විශෙෂයක් වේද, එය දෙපොට සිවුරකින් වසන ලද්දේ මනාව වෙළන ලද්දේ වේද, මහණෙනි, මෙබඳු මහණහුගේ මහණකම සිවුරෙන් වැසූ මටජ නම් දෙපැත්ත කැපෙන ආයුධයට සමාන යයි කියමි.
Msdiv 437 “මහණෙනි, සඟළ සිවුරු දරන්නහුගේ සඟළ සිව්රු දැරීම් පමණින් ශ්‍රමණ වේයයි මම නොකියමි. මහණෙනි, මම අචෙලකයාගේ (වස්ත්‍ර නොඅඳින්නාගේ) අචෙලක කමින් පමණක් ශ්‍රමණ වේයයි මම නොකියමි.
“මහණෙනි, දූවිලි දැලි දරන්නහුගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, (දවසට තුන් වරක් ව්‍රත පිණිස) දියට බසින්නහුගේ ඒ දියට බැසීම පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, ගසක් මුල හිඳින්න හුගේ ඒ ගසමුල හිඳීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි මහණෙනි, අභ්‍යවකාශයෙහි (එළිමහනෙහි) සිටින්නහුගේ ඒ අභ්‍යවකාශයෙහි සිටීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, උඩුකුරුව සිටින්නහුගේ ඒ උඩුකුරුවසිටීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, වාර භක්තිකයාගේ (පක්ෂයකට හෝ මසකට වරක් බත් කන්නහුගේ) ඒ වාර භක්තමාත්‍රයෙන් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, මන්ත්‍ර හදාරන්නහුගේ ඒ මන්ත්‍ර, හැදෑරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි ජටා දරන්නහුගේ ඒ ජටා දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි.
“මහණෙනි, දැඩි ලොභය බහුල කොට ඇති සඟල සිවුරු දරන්නාගේ ඒ සඟල සිවුරු දැරීම් පමණින් දැඩි ලොභය නැතිවන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැතිවන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තහුගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තහුගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තහුගේ, අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තහුගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම් මසුරු බව ඇත්තහුගේ මසුරු බව නැතිවන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැතිවන්නේ නම්, රැවටිලි ඇත්තහුගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තහුගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම සිවුරු දරන්නෙකු කරන්නාහුය. සිවුරු දැරීමෙහි සමාදන් කරවන්නාහුය. (කෙසේද?) යහපත් තැනැත්ත මෙහි එව, නුඹ සඟල සිවුරු දරන්නෙක් වෙව, සඟල සිවුරු දරන්නාවූම දැඩි ලොභ බහුලවූ නුඹගේ දැඩි ලොභය පහවන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත පහවන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධ සිත පහවන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධවෛරය පහවන්නේය. ගුණමකු බව ඇති නුඹගේ ගුණමකු බව පහවන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය පහවන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව පහවන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව පහවන්නේය. කෛරාටික බව ඇති නුඹගේ කෛරාටික බව පහවන්නේය. රැවටිලි ඇති නුඹගේ රැවටිලි බව පහවන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් පහවන්නේය. මිථ්‍යාදෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යා දෘෂ්ටිය පහවන්නේය. (කියායි.)
“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යාව කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ, සඟළ සිවුරු දරන්නෙකු දකිම්ද, එහෙයින් මම සඟළ සිවුරු දරන්නෙකුගේ සඟළ සිවුර දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි නොකියමි.
“මහණෙනි, දැඩි ලොභය බහුල කොට ඇති අචෙලකයාගේ (වස්ත්‍ර නැතිව තපස් කරන්නාගේ) ඒ අචෙලක බවෙන්ම දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැතිවන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තහුගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන තැනැත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැතිවන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැතිවන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ඇති බව නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම අචෙලකයෙකු කරන්නාහුය. අචෙලක බවෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ අචෙලකයෙක් වෙව. අචෙලක වූ විට දැඩි ලොභ බහුලවූ නුඹගේ දැඩි ලොභය නැතිවන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැතිවන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධ සිත නැතිවන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැතිවන්නේය. ගුණ මකු බව ඇති නුඹගේ ගුණමකු බව නැතිවන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැතිවන්නේය, කෛරාටික බව ඇති නුඹගේ කෛරාටික බව නැතිවන්නේය. රැවටිලි බව ඇති නුඹගේ රැවටිලි බව නැතිවන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැතිවන්නේය. මිථ්‍යාදෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය (කියාය.)
“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටික වූ රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ අචෙලකයෙකු දකිම්ද, එහෙයින් අචෙලකයෙකු අචෙලක වත දැරූ පමණින් ශ්‍රමණයයි නොකියමි.
“මහණෙනි, දැඩි ලොභය බහුල කොට ඇති දූවිලි දැලි දරන්නාගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ගතිය නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම දූවිලි දැලි දරන්නෙකු කරන්නාහුය. දූවිලි දැලි දරන බවෙහිම සමාදන් කරවන්නාහුය (කෙසේද?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ දූවිලි දැලි දරන්නෙක් වෙව. දූවිලි දැලි දරන්නාවූම දැඩි ලෝභ බහුලවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධ සිත නැති වන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණ මකු බව ඇති නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛයිරාටික බව ඇති නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යාදෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියායි.)
“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ, දූවිලි දැලි දරන්නෙකු දකිම්ද, එහෙයින් දූවිලි දැලි දරන්නෙකුගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’ යයි නොකියමි.
“මහණෙනි, දැඩි ලොභය බහුල කොට ඇති (ශුද්ධිය පිණිස) දියට බසින්නාගේ ඒ දියට බැසීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධ සිත නැති වන්නේනම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගති නැති වන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම දියට බැසීමේ වත ඇත්තෙකු කරන්නාහුය. දියට බසින වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ දියට බසින වත ඇත්තෙක් වෙව, දියට බසින වත ඇත්තාවූම දැඩි ලොභ බහුලවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධය ඇති නුඹගේ ක්‍රොධය නැති වන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකු බව ඇති නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටික බව ඇති නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යාදෘෂ්ටිය ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියාය.)
“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ, (ශුද්ධිය පිණිස) දියට බසින වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් දියට බසින වත ඇත්තෙකුගේ දියට බසින වත ඇති පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි මම නොකියමි
“මහණෙනි, දැඩි ලොභය බහුලකොට ඇති රුක් මුල හිඳින්නාගේ ඒ රුක් මුල හිඳීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේ නම් බද්ධවෛර ඇත්තාගේ බද්ධවෛරය නැති වන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරුබව ඇත්තාගේ මසුරුබව නැතිවන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ගතිය ඇත්තහුගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම රුක් මුල හිඳීමේ වත ඇත්තෙකු කරන්නාහුය. රුක් මුල හිඳීමේ වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ රුක් මුල හිඳීමේ වත ඇත්තෙක් වෙව. රුක් මුල හිඳීමේ වත දරන්නාවූ ම දැඩි ලොභ බහුලවූ නුඹගේ දැඩි ලොභය, නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය.
“මහණෙනි, යම් හේතුවකින් දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන්නාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටිවූ රුක්මුල හිඳින වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් රුක්මුල හිඳින වත ඇත්තෙකුගේ ඒ රුක්මුල හිඳීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි නොකියමි.
“මහණෙනි, දැඩි ලොභය බහුල කොට ඇති අභ්‍යවකාශයෙහි සිටින්නාගේ (එළිමහණෙහි සිටින්නාගේ) ඒ අභ්‍යවකාශයෙහි සිටීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම් බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම් කෛරාටික වූවහුගේ කෛරාටික බව නැතිවන්නේ නම් රැවටිලි ගතිය ඇත්තාගේ රැවටිලි ගතිය නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටිය ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම එළිමහෙණහි සිටීමේ වත ඇත්තෙකු කරන්නාහුය. එළිමහනෙහි සිටීමේ වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) ‘යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ එළිමනෙහි සිටීමේ වත ඇත්තෙක් වෙව. එළිමහනෙහි සිටීමේ වත ඇත්තාවූම දැඩි ලොභය බහුලවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධය ඇති නුඹගේ ක්‍රොධය නැති වන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකු බව ඇති නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරුබව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටිකබව ඇති නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යා දෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යා දෘෂ්ටිය නැති වන්නේය” (කියාය)
“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණ මකුවූ අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ එළිමහනෙහි සිටීමේ වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් එළිමහනෙහි සිටීමේ වත ඇත්තෙකු ඒ එළිමහනෙහි සිටීමේ වත දැරූ පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි නොකියමි.
“මහණෙනි, දැඩි ලොභය බහුලකොට ඇති, උඩුකුරුව සිටින්නාගේ ඒ උඩුකුරුව සිටීම් පමණින් දැඩි ලොභය නැති වන්නේනම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේනම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේනම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වන්නේනම්, ගුණමකු වූවහුගේ ගුණමකු බව නැති වන්නේනම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේනම් ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේනම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේනම් රැවටිලි ගතිය ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේනම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම් මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම් ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද, ඔහු උපන් කෙනෙහිම උඩුකුරුව සිටීමේ වත ඇත්තෙකු කරන්නාහුය. උඩුකුරුව සිටීමෙහි සමාදන් කරවන්නාහුය. (කෙසේද?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ උඩුකුරුව සිටින වත ඇත්තෙක් වෙව, උඩුකුරුව සිටින්නාවූම දැඩි ලොභ බහුල නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධ කරන නුඹගේ ක්‍රොධය නැති වන්නේය. බද්ධ වෛර ඇති නුඹගේ බද්ධ වෛරය නැතිවන්නේය ගුණමකු බව ඇති නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටිකවූ නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවිටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යාදෘෂ්ටිය ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියාය.)
“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ උඩු කුරුව සිටීමේ වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් උඩුකුරුව සිටින්නෙකුගේ උඩු කුරුව සිටීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි නොකියමි.
“මහණෙනි, දැඩි ලොභය බහුලකොට ඇති නියමිත වාරයන්හි පමණක් ආහාර ගන්නා වත දරන්නාගේ ඒ වාර භත්තික වත දැරීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේ නම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වන්නේ නම්, ගුණමකු වූවහුගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේනම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ගති ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම වාර භත්තික වත ඇත්තෙකු කරන්නාහුය. වාර භත්තික වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) ‘යහපත් තැනැත්ත, එව, නුඹ වාර භත්තික වත දරන්නෙක් වෙව, වාර භත්තික වත දරන්නාවූම දැඩි ලොභ බහුලවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධ කරන නුඹගේ ක්‍රොධය නැති වන්නේය බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකුවූ නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටික බව ඇති නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යාදෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය.’ (කියාය)
“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටිවූ වාර භත්තික වත දරන්නෙකු දකිම්ද, එහෙයින් වාර භත්තික වත දරන්නාගේ ඒ වාර භත්තික වත දැරීම් පමණින් ‘ශ්‍රමණ’යයි නොකියමි.
“මහණෙනි, දැඩි ලොභය බහුල කොට ඇති මන්ත්‍ර හදාරන්නාගේ ඒ මන්ත්‍රහැදෑරීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේ නම් බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වන්නේ නම් ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික ගතිය නැති වන්නේ නම්, රැවටිලි ගති ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටිය ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම මන්ත්‍ර ඉගෙන ගන්නෙකු කරන්නාහුය. මන්ත්‍ර ඉගෙණීමෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) ‘යහපත් තැනැත්ත, මෙහි එව නුඹ මන්ත්‍ර හදාරන්නෙක් වෙව, මන්ත්‍ර හදාරන්නාවූම දැඩි ලොභ බහුලවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධය නැති වන්නේය. බද්ධ වෛර ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකුවූ නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරුවූ නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටිකවූ නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය පහවන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යාදෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියාය)
“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි වූ මන්ත්‍ර හදාරන්නෙකු දකිම්ද, එහෙයින් මන්ත්‍ර හදාරන්නෙකුගේ ඒ මන්ත්‍ර හැදෑරීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි නොකියමි.
“මහණෙනි, දැඩි ලොභය බහුලකොට ඇති ජටා දරන්නාගේ (ජටිලයාගේ) ඒ ජටා දැරීම් පමණින් දැඩි ලොභය නැතිවන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම් ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේ නම්, ගුණමකු වූවහුගේ ගුණමකුබව නැති වන්නේනම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේනම්, ඊර්ෂ්‍යා කරන්නහුගේ ඊර්ෂ්‍යාව නැති වන්නේනම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම් රැවටිලි ගති ඇත්තාගේ රැවටිලි ගති නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම ජටා දරන වත ඇත්තෙකු කරන්නාහුය. ජටා දරන වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) යහපත් තැනැත්ත මෙහි එව, නුඹ ජටා දරන්නෙක් වෙව. ජටා දරන්නාවූම ලොභ බහුලවූ නුඹගේ දැඩි ලොභය නැතිවන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධය නැති වන්නේය. බද්ධ වෛර ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකුවූ නුඹගේ ගුණමකු බව නැති වන්නේය අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරුවූ නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටිකවූ නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. මිථ්‍යාදෘෂ්ටිය ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය’ (කියාය)
“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකුවූ, අනුන්ගේ දොස් සොයන්නාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටිවූ ජටා දරන්නෙකු දකිම්ද, එහෙයින් ජටා දරන්නෙකුගේ ඒ ජටා දැරීම් පමණින් ‘ශ්‍රමණ’යයි නො කියමි.
Msdiv 438 “මහණෙනි, මහණ තෙම කෙසේනම් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේ වෙයිද, මහණෙනි, දැඩි ලොභ බහුලවූ යම්කිසි මහණෙකුගේ දැඩි ලොභය නැති වූයේ වේද, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාදය නැති වූයේ වේද, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවූයේ වේද, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වූයේ වේද, ගුණමකු වූවහුගේ ගුණමකු බව නැතිවූයේ වේද, අනුන්ගේ දොස් සොයන්නාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වූයේ වේද, ඊර්ෂ්‍යා ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවූයේ වේද, මසුරු වූවහුගේ මසුරු බව නැති වූයේ වේද. කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වූයේ වේද, රැවටිලි සහිත වූවහුගේ රැවටිලි බව නැති වූයේ වේද, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වූයේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වූයේ වේද, මහණෙනි, මම ශ්‍රමණ මලවූ, ශ්‍රමණ දොෂයන්වූ, ශ්‍රමණ කසටයන්වූ, අපායෙහි ඉපදීමට කරුණුවූ, දුගතියෙහි විපාක දෙන්නාවූ මේ දොෂයන් නැති කිරීමෙන් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේයයි කියමි.
“හෙතෙම ලාමකවූ මේ සියලු අකුශල ධර්මයන් ගෙන් පිරිසිදුවූ තමා දකියි, මිදුනාවූ තමා දකියි, ලාමකවූ මේ සියලු අකුශල ධර්මයන්ගෙන් පිරිසිදුවූ තමා දකින, මිදුනාවූ තමා දකින ඔහුට සතුට ඇති වෙයි. සතුටු වූවහුට ප්‍රීතිය හටගණී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවැනි දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ, සියලු ලොකය මහත් බවට පැමිණි, අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ යට සරස සියලු තන්හි, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත් බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතවරන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත් බවට පැමිණි අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ යට සරස යන සියලු තන්හි, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත් බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“මහණෙනි, පැහැදිලි ජලය ඇති, සැපදායක ජලය ඇති, සිහිල් ජලය ඇති, සුදු වැලිතලා ඇති යහපත් කොටු ඇති, සිත්කලුවූ, පොකුණක් වේද, නැගෙනහිර දිශාවෙන්ද, ග්‍රීෂ්මයෙන් තැවුණු, ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසය හටගත්තාවූ, පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දාහය දුරු කර ගන්නේද, බස්නාහිර දිශාවෙන්ද ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසය හටගත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කර ගන්නේද, උතුරු දිශාවෙන්ද ග්‍රීෂ්මයෙන් තැවුණාවූ, ග්‍රීෂ්මයෙන් පීඩිතවූ ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසය හටගත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කර ගන්නේද, දකුණු දිශාවෙන්ද ග්‍රීෂ්මයෙන් තැවුණාවූ, ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැතිගත්තාවූ, පිපාසය හටගත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කර ගන්නේද,
“යම්කිසි දිශාවකින් වුවද ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසය හට ගත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කරගන්නේද,
“මහණෙනි, එපරිද්දෙන්ම ක්ෂත්‍රිය කුලයෙන්ද, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද තථාගතයන් වහන්සේ වදාළ ධර්මවිනය නම්වූ ශාසනයට පැමිණ මෙසේ මෛත්‍රියද, කරුණාවද, මුදිතාවද, උපෙක්ෂාවද වඩයි. තමා තුළ සංසිඳීම ලබයි. තමා තුළ සංසිඳීමෙන් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේයයි කියමි. බ්‍රාහ්මණ කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද තථාගතයන් වහන්සේ වදාළ ධර්මවිනය නම්වූ ශාසනයට පැමිණ මෙසේ මෛත්‍රියද, කරුණාවද, මුදිතාවද, උපෙක්ෂාවද වඩයි. තමා තුළ සංසිඳීම ලබයි. තමා තුළ සංසිඳීමෙන් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේයයි කියමි
“වෛශ්‍ය කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය නම්වූ ශාසනයට පැමිණ මෙසේ මෛත්‍රියද, කරුණාවද, මුදිතාවද, උපෙක්ෂාවද වඩයි. තමා තුළ සංසිඳීම ලබයි. තමා තුළ සංසිඳීමෙන් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේයයි කියමි.
“ක්ෂුද්‍ර කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද තථාගතයන් වහන්සේ වදාළ ධර්මවිනය නම්වූ ශාසනයට පැමිණ මෙසේ මෛත්‍රියද, කරුණාවද, මුදිතාවද, උපෙක්ෂාවද වඩයි. තමා තුළ සංසිඳීම ලබයි. තමා තුළ සංසිඳීමෙන් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේයයි කියමි.
“යම් යම් කුලයකින්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද තථාගතයන් වහන්සේ වදාළ ධර්මවිනය නම්වූ ශාසනයට පැමිණ මෙසේ මෛත්‍රියද, කරුණාවද මුදිතාවද, උපෙක්ෂාවද වඩයි, තමා තුළ සංසිඳීම ලබයි. තමා තුළ සංසිඳීමෙන් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේයයි කියමි.
“ක්ෂත්‍රිය කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන්, කෙලෙස් රහිතවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මේ ආත්මයෙහි තමාම උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි. ආශ්‍රවයන් නැති කිරීමෙන් ‘ශ්‍රමණ’ වෙයි.
“බ්‍රාහ්මණ කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන්, කෙලෙස් රහිතවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මේ ආත්මයෙහි තමාම උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි. ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන් ‘ශ්‍රමණ’ වෙයි.
“වෛශ්‍ය කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද? හෙතෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන් කෙලෙස් රහිතවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මේ ආත්මයෙහි තමාම උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි, ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන් ‘ශ්‍රමණ’ වෙයි.
“ක්ෂුද්‍ර කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද? හෙතෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන්, කෙලෙස් රහිතවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මේ ආත්මයෙහි තමාම උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි. ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන් ‘ශ්‍රමණ’ වෙයි.
“යම් යම් කුලයකින්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. හෙතෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන් කෙලෙස් රහිතවූ චිත්ත විමුක්තියද, ප්‍රඥාවිමුක්තියද මේ ආත්මයෙහි තමාම උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි. ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන් ‘ශ්‍රමණ’ වෙයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට විශෙෂයෙන් සතුටු වූහ.
දසවෙනිවූ චූල අස්සපුර සූත්‍රය නිමි. (4-10)
සතර වෙනිවූ මහා යමක වර්ගය නිමි.
චූලගොසිංග සූත්‍රය, මහාගොසිංග සූත්‍රය, මහාගොපාලක සූත්‍රය, චූල ගොපාලක සූත්‍රය, චූල සච්චක සූත්‍රය, මහාසච්චක සූත්‍රය, චූල තණ්හා සංඛය සූත්‍රය, මහා තණ්හා සංඛය සූත්‍රය, මහා අස්සපුර සූත්‍රය, චූල අස්සපුර සූත්‍රය යන සූත්‍ර දසයවූ
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source