LibraryMNMN 41
MN 4115 min read

The People of Sālā

Sāleyyaka Sutta

20
PDFGenerated
01 · Overview

The Buddha explains to a group of brahmins the conduct leading to rebirth in higher or lower states, including detailed explanations of the ten core practices which lay people should undertake, and which also form the basis for liberation.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 5. චූල යමක වර්ගය 41. සාලෙය්‍යක සූත්‍රය Msdiv 439 මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහා භික්ෂු සංඝයා සමග කෙසොල් ජනපදයෙහි හැසිරෙන සේක් කොසලයන්ගේ සාල නම් බමුණු ගම යම් තැනෙක්හිද එහි වැඩියහ. සාල ගම්වැසිවූ බ්‍රාහ්මණ ගෘහපතියෝ ‘ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය වංශයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමතෙමේ මහත් භික්ෂු සමූහයා කැටිව කොසොල් දනව්වෙහි හැසිරෙනසේක් සාල නම් ගමට පැමිණියහ’යි ඇසුවාහුය. ඒ භවත් ගෞතමයින්ගේ මෙබඳුවූ යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව නැංගේ වෙයි.

“ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ, සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තයහ, යහපත් ගති ඇත්තාහ. සියලු ලොකයන් දන්නාහ. ශ්‍රෙෂ්ඨයහ. හික්මවිය යුතු පුරුෂයන් හික්මවීමෙහි රියැදුරෙකු වැනියහ. දෙවි මිනිසුන්ට ශාස්තෘහ, චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් අවබොධ කළහ. භාග්‍යවත්හ. ඒ තථාගතයන්වහන්සේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා තමන් උසස් ඤාණයෙන් දැන පැහැදිලිකොට ප්‍රකාශ කරන්නාහ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ අර්ථ සහිතවූ, බ්‍යංජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ ශාසන මාර්ග බ්‍රහ්මචරියාව ගෙන හැර දක්වති. එබඳුවූ රහතුන්ගේ දැකුම යහපත්ය” (කියායි) ඉක්බිති සාලගම් වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එක පැත්තක උන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සිටින දිශාවට ඇඳිලි බැඳ වැඳ එක පැත්තක උන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි (තමන්ගේ) නාම ගොත්‍ර කියා එක පැත්තක උන්නාහුය. ඇතැම්හු නිශ්ශබ්දවම එක පැත්තක උන්නාහුය. එක පැත්තක හුන්නාවූම, සාලගම් වාසීවූ බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය.

“භවත් ගෞතමයාණෙනි, මේ ලොකයෙහි ඇතැම් සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ, නපුරු ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපදිති. ඊට හේතුව කුමක්ද? ඊට ප්‍රත්‍යය කවරේද?

“භවත් ගෞතමයාණෙනි, මේ ලොකයෙහි ඇතැම් සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලොකයෙහි උපදිති. ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?”

“ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතැම් සත්ත්වයෝ අධාර්මික හැසිරීමයැයි කියන විෂම හැසිරීම හේතුකොටගෙන කය බිඳීමෙන් මරණින් මතු අපාය නම්වූ නපුරුගති ඇති නරකයෙහි උපදිත්. ගෘහපතියෙනි, මේ ලොකයෙහි ධාර්මික හැසිරීම යැයි කියන සමචර්‍ය්‍යාව හෙතුකොටගෙන ඇතැම් සත්ත්වයෝ කාය භෙදයෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලොකයෙහි උපදිත්.”

“අපි භවත් ගෞතමයින්ගේ සංක්ෂෙපයෙන් කියන ලද්දාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද්දාවූ, මේ ධර්මයෙහි විස්තර වසයෙන් අර්ථය නොදනිමු. යම්සේ අපි භවත් ගෞතමයින්ගේ කොටින් දෙශනා කරන ලද්දාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද්දාවූ, මේ ධර්මය විස්තර වශයෙන් දැන ගන්නෙමුද, භවත් ගෞතමතෙම එසේ ධර්මය දෙශනා කරන සේක්වා.” “ගෘහපතියෙනි, එසේවීනම් අසව්. මනාකොට සිත්හි තබා ගනිව්. කියන්නෙමි” “එසේය පින්වතුන් වහන්ස”යි සාලෙය්‍යක බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

Msdiv 440 “ගෘහපතියෙනි, තුන් පරිද්දෙකින් කයින් අධම පැවතුම් විෂම පැවතුම් වෙයි. වචනයෙන් සතර ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වෙයි. සිතින් තුන් ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වෙයි. ගෘහපතියෙනි, කෙසේ කයින් තුන් ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වේද? ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් රෞද්‍ර වූයේ, ලෙයින් තෙමුණු අත් ඇත්තේ, අන්‍යයන් පෙලීමෙහි, නැසීමෙහි යෙදුනේ, සත්ත්වයන් කෙරෙහි දයාවක් නැතිව ප්‍රාණඝාත කරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, ගමෙහිද, ආරණ්‍යයෙහිද, අන්සතු යමක් වේද, එය සොර සිතින් පැහැර ගන්නේ වෙයිද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයිද, මව විසින් රක්නා ලද්දාවූද, පියා විසින් රක්නා ලද්දාවූද, මව් පියන් විසින් රක්නා ලද්දාවූද, සොහොයුරා විසින් රක්නා ලද්දාවූද, සොහොයුරිය විසින් රක්නා ලද්දාවූද, නෑයන් විසින් රක්නා ලද්දාවූද, ගොත්‍රයෙන් රකින ලද්දාවූද, කුල චාරිත්‍ර ධර්මයෙන් රකින ලද්දාවූද, හිමියන් සහිතවූද, (අසුවල් ස්ත්‍රිය වෙත ගියහොත් දඩයයි නියම කරනලද) දඬුවම් සහිතවූද, යටත්පිරිසෙයින් (මැය මගේ භාර්‍ය්‍යාව වන්නීයයි පිරිමියෙකු විසින්) මල්දමක් දමනු ලැබුවාවූද, යම් ඒ ස්ත්‍රීහු වෙත්ද, එබඳු ස්ත්‍රීන් සමග හැසිරීමට පැමිණියේ වෙයිද, ගෘහපතියෙනි, මෙසේ වනාහි කයින් සිදුවන්නාවූ අධර්ම පැවතුම් විෂම පැවතුම් තුන් ආකාර වෙයි.

“ගෘහපතියෙනි, කෙසේ නම් වචනයෙන් අධර්ම පැවතුම් විෂම පැවතුම් සතර ආකාර වෙයිද? ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් බොරු කියන්නේ වෙයිද, සභාවකට ගියේ හෝ පිරිසකට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සමූහයා මැදට ගියේ හෝ රාජකුලයා මැදට ගියේ හෝ ‘පින්වත් පුරුෂය, මෙහි එව යමක් දන්නෙහි නම් එය කියව’යි ඉදිරියට පමුණුවන ලද්දේ සාක්ෂි අසන ලද්දේ නොදැන හෝ දනිමියි කියයි. දැන හෝ නොදනිමියි කියායි. දැක හෝ නුදුටුයෙමියි කියයි. නොදැක හෝ දුටුවෙමියි කියායි. මෙසේ තමා නිසා හෝ අන්‍යයන් නිසා හෝ කිසියම් ලාභයක් නිසා හෝ දැන දැන බොරු කියන්නේ වෙයි. කේලම් කියන්නේ වෙයි. මෙතැනින් අසා මොවුන් බිඳුවනු පිණිස අසුවල්තැන කියන්නේය. අසුවල් තැනින් හෝ අසා අසුවලුන් බිඳුවනු පිණිස මොවුන්ට කියන්නේය. මෙසේ සමගි වූවන් බිඳින්නේ හෝ වෙයි, බිඳුනවුන්හට අනුබල දෙන්නේ හෝ වෙයි. භෙදවීමෙහි ඇලුණේ, භෙද කිරීමෙහි සතුටු වන්නේ, භෙදකරන වචන කියන්නේ වෙයි, ඵරුෂ වචන කියන්නේ වෙයි. යම් ඒ වචනයක් ගැටීම් ගැරහීමාදීන් දොෂ සහිතද, කුණු සැරව වෑහෙන්නාක් මෙන් අප්‍රියද, අන්‍යයන්ගේ සිත් නරක් කරන්නේද, අන්‍යයන්හට පහරක් වැනිද ක්‍රොධයට කිට්ටුද, සමාධිය පිණිස නොපවතීද, එබඳු වචන කියන්නේ වෙයි. සම්ඵප්‍රලාප (හිස් වචන) කියන්නේ වෙයිද, නුසුදුසු කාලයෙහි කියන්නේද, නුවූවක් කියන්නේ වෙයිද, අනර්ථයක් කියන්නේ වෙයිද, අධර්මයක් කියන්නේ වෙයිද, අවිනයක් කියන්නේ වෙයිද, සිතෙහි තබා ගැනීමට නුසුදුසු වචන කියන්නේ වෙයිද, නුසුදුසු කාලයෙහි, නිදර්ශන දැක්වීම් ආදියක් නැතිව අගක් මුලක් නැති, අවැඩින් යුක්තවූ වචන කියන්නේ වෙයිද, ගෘහපතියෙනි, මෙසේ වචනයෙන් සතර ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වෙයි.

“ගෘහපතියෙනි, කෙසේ සිතින් තුන් ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වේද ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් දැඩි ලොභ ඇත්තේ වෙයිද, යම් ඒ අනුන්ගේ වස්තුවක් වේද, එය අධික ලොභයෙන් බලන්නේද, අනුන්ට අයිති යමක් වේද, ‘අනේ එය මට වන්නේ නම් ඉතා යෙහෙකැ’යි (අධික ලොභයෙන්) සිතයිද, මේ සත්ත්වයෝ නැසෙත්වා, විනාශ වෙත්වා, සිඳෙත්වා, නැතිවී යෙත්වායි ව්‍යාපාද සිත් ඇත්තේ, නපුරු අදහස් ඇත්තේ වෙයිද, විපරීත දැකීම් ඇති මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයිද, දෙන ලද්දෙහි විපාක නැත, දුන් දෙයෙහි ඵල නැත, පිදූ දෙයෙහි විපාකය නැත, කුශලාකුශල කර්මයන්ගේ ඵලයද විපාකයද නැත, මෙලොවක් නැත, පරලොවක් නැත. මව් කෙරෙහි හොඳ හෝ නරක පැවැත්මෙහි විපාක නැත. පියා කෙරෙහි හොඳ හෝ නරක පැවැත්මෙහි විපාක නැත. මැරී උපදින සත්ත්වයෝ නැත. යහපත් මාර්ගයෙහි ගියාවූ යහපත්ව පිළිපදින්නාවූ යම් කෙනෙක් මේ ලෝකයද පරලොකයද තුමූ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරත්ද, එබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැතැයි ගනිත්ද, ගෘහපතියෙනි, මෙසේ තුන් ආකාරයකින් සිතින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වෙයි. ගෘහපතියෙනි, මෙසේ අධර්ම පැවතුම් විෂම පැවතුම් හෙතුකොටගෙන ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, නපුරු වැටීමක් ඇති නිරයෙහි උපදිති.

Msdiv 441 “ගෘහපතියෙනි, තුන් ආකාරයකින් කයින් ධර්ම පැවතුම් සමපැවතුම් වෙයි. සතර ආකාරයකින් වචනයෙන් ධර්ම පැවතුම් සමපැවතුම් වෙයි. තුන් ආකාරයකින් සිතින් ධර්ම පැවතුම් සමපැවතුම් වෙයි. ගෘහපතියෙනි, කෙසේ නම් තුන් ආකාරයකින් කයින් ධර්මපැවතුම් සමපැවතුම් වෙයිද? ගෘහපතියනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීම හැර සතුන් මැරීමෙන් වැළකුනේ බහා තැබූ දඬු ඇත්තේ, බහා තැබූ ආයුධ ඇත්තේ ලජ්ජා ඇත්තේ කරුණාවත් බවට පැමිණියේ සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වෙසෙයිද, නුදුන්දෙය ගැනීම අත්හැර නුදුන් දෙය ගැනීමෙන් වැළකුනේ වෙයිද, ගමෙහිද, අරණ්‍යයෙහිද අනුන් සතුවූ යම් වස්තුවක් වේ නම් එය සොර සිතින් නොගන්නේ වෙයිද. කාමයන්හි වරදවා හැසිරීම හැර කාමමිථ්‍යාචාරයෙන් වැළකුණේ මව විසින් රක්නා ලද්දාවූද, පියා විසින් රක්නා ලද්දාවූද, මව්පියන් විසින් රක්නා ලද්දාවූද, සහෝදරයා විසින් රක්නා ලද්දාවූද, සහෝදරිය විසින් රක්නා ලද්දාවූද, නෑයන් විසින් රක්නා ලද්දාවූද, ගොත්‍රයෙන් රක්නා ලද්දාවූද, කුලචාරිත්‍ර ධර්මයෙන් රක්නා ලද්දාවූද, හිමියන් සහිතවූද, දඬුවම් සහිතවූද, යටත් පිරිසෙයින් මල්දමක් පළඳවන ලද්දාවූද යම් ස්ත්‍රීහු වෙද්ද, එබඳු ස්ත්‍රීන් හා හැසිරීමට නොපැමිණියේ වෙයිද, ගෘහපතියෙනි, මෙසේ වනාහි තුන් ආකාරයකින් කයින් ධර්ම පැවතුම් සමපැවතුම් වෙයි.

“ගෘහපතියෙනි, කෙසේ නම් වචනයෙන් සතර ආකාරවූ ධර්මපැවතුම් සමපැවතුම් වෙයිද? ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතමෙක් බොරුකීම අත්හැර බොරු කීමෙන් වැළකුණේ වෙයි. සභාවකට ගියේ හෝ පිරිසකට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සමූහයා මැදට ගියේ හෝ රාජකුලයා මැදට ගියේ හෝ, ‘පින්වත් පුරුෂය, මෙහි එව, යමක් දන්නෙහි නම් එය කියව’යි ඉදිරියට පමුණුවන ලද්දේ, සාක්ෂි අසන ලද්දේ හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නුදුටුයේ හෝ නොදුටුවෙමියිද, දුටුයේ හෝ දුටුවෙමියිද කියයි. මෙසේ තමන් නිසා හෝ අනුන් නිසා හෝ කිසියම් ලාභයක් නිසා හෝ දැන දැන බොරු නොකියන්නේ වෙයි. කේලාම් කීම අත්හැර, කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස අසුවල් තැන නොකියන්නේය. අසුවල් තැනින් අසා අසුවලුන් බිඳවීම පිණිස මොවුන්ට නොකියන්නේය. මෙසේ බිඳුනවුන් ගළපන්නේ වෙයි. එක්වූවන්ට සමගියෙහි අනුසස් කියා අනුබල දෙන්නේ වෙයි. සමගියෙහි ඇලුනේ, සමගියෙහි ආශා ඇත්තේ, සමගියට සතුටුවන්නේ, සමගි වචන කියන්නේ වෙයි. යම් ඒ වචනයක් දොෂ රහිතද, කණට සැපද ප්‍රෙම කටයුතුද, හෘදයංගමද, ගුණයෙන් පිරුණේද, බොහෝදෙනාට කැමතිද, බොහෝදෙනාට මනාපද, එබඳු වචන කියන්නේ වෙයි. හිස්වචන කීම අත්හැර හිස්වචන කීමෙන් දුරුවූයේ සුදුසු කාලයෙහි කියන්නේ, වූවක්ම කියන්නේ, වැඩ ඇති දෙයක්ම කියන්නේ, ඇතිවූවක්ම කියන්නේ, හික්මීම පිළිබඳ වූවක්ම කියන්නේ, සිතෙහි තැන්පත් කර ගැණීමට සුදුසුවූ, කාලයෙහි කියන්නාවූ, කරුණු සහිතවූ, දැක්වීම් සහිතවූ, වැඩ දායකවූ වචන කියන්නේ වෙයි. ගෘහපතියනි, මෙසේ වචනයෙන් සතර ආකාරවූ ධර්මපැවතුම් සමපැවතුම් වෙයි

“ගෘහපතියෙනි, කෙසේනම් සිතින් තුන් ආකාරවූ ධර්මපැවතුම් සමපැවතුම් වේද? ගෘහපතියනි, මේ ලොකයෙහි ඇතමෙක් අධික ලොභ නැත්තේද, අනුන්ගේ සිත් සතුටු කරන යම් ඒ අන්සතු වස්තුවක් වේද, එය අධික ලොභයෙන් නොබලන්නේ වේද, ‘යමක් අනුන් සතුව ඇද්ද එය මට වන්නේ නම් ඉතා යෙහෙකැ’යි නොසිතන්නේ වේද, ක්‍රොධ සිත් නැත්තේ, පිරිසිදුවූ යහපත් කල්පනා ඇත්තේ, මෙසේද මේ සත්වයෝ වෛර නැත්තෝ, ක්‍රොධ නැත්තෝ, දුක් නැත්තෝ සුවසේ ආත්ම පරිහරනය කරත්වායි (සිතන්නේද,) වරදවා ගැනීම් නැත්තේ සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දුන් දෙයෙහි විපාක ඇත. පරිත්‍යාග කරන ලද්දෙහි විපාක ඇත. පිදූ දෙයෙහි විපාක ඇත. කරන ලද යහපත් අයහපත් කර්මයන්ගේ ඵල විපාක ඇත. මේ ලොකය ඇත. පරලොකය ඇත. මව් කෙරෙහි හොඳ හෝ නරක පැවැත්මෙහි විපාක ඇත. පියා කෙරෙහි හොඳ හෝ නරක පැවැත්මෙහි විපාක ඇත. මැරී උපදින සත්වයෝ ඇත. යහපත් මාර්ගයෙහි ගියාවූ, යහපත්ව පිළිපදින්නාවූ යම් කෙනෙක් මේ ලොකයද පරලොකයද තුමූ ප්‍රඥාවෙන් අවබොධකොට ප්‍රකාශ කරද්ද, එබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇතැයි (සිතද්ද) ගෘහපතියෙනි, මෙසේ සිතින් තුන් ආකාර ධර්මපැවතුම් සමපැවතුම් වෙයි. ගෘහපතියනි, මෙසේ ධර්ම පැවතුම් සමපැවතුම් හේතුකොටගෙන ලොකයෙහි ඇතැම් කෙනෙක් කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදිති.

Msdiv 442 “ගෘහපතියෙනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ ඒකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ක්ෂත්‍රිය මහා සාරයන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණන්නෙමි’යි ඉදින් කැමැතිවන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ක්ෂත්‍රිය මහාසරයන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය. (එහෙයිනි)

“ගෘහපතියනි ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු බ්‍රාහ්මණ මහාසාරයන් හා එක්වීමට උත්පත්ත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු බ්‍රාහ්මණ මහාසාර කුලය හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ගෘහපති මහාසාර කුලයට එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමැති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ගෘහපති මහාසාර කුලය හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද, හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්චර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ ඒකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, කය බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණ සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු යාම දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු යාම දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු තුසිත දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු තුසිත දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු නිම්මාණරතී දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු නිම්මාණරතී දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු පරනිම්මිත වසවත්ති දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පරනිම්මිත වසවත්ති දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු බ්‍රහ්ම කායික දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ආභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ආභ දෙවියන් හා එක් වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු පරිත්තාභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පරිත්තාභ දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අප්පමාණභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අප්පමාණභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ආභස්සර නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ආභස්සර නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු සුභනම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු පරිත්තසුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පරිත්තසුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අප්පමාණසුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අප්පමාණසුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු සුභකිණ්ණක නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සුභකිණ්ණක නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු වෙහප්ඵල දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු වෙහප්ඵල දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අවිහ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අවිහ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අතප්ප නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අතප්ප නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු සුදස්ස නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සුදස්ස නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු සුදස්සී නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සුදස්සී නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අකනිට්ඨක නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අකනිට්ඨක නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ආකාසානඤ්චායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ආකාසානඤ්චායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු විඤ්ඤාණඤ්චායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු විඤ්ඤාණඤ්චායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ආකිඤ්චඤ්ඤායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ආකිඤ්චඤ්ඤායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ ඒකාන්තයෙන් කෙලෙස් නැතිකිරීමෙන් කෙලෙස් රහිතවූ චිත්තවිමුක්තියද ප්‍රඥාවිමුක්තියද මේ ආත්මයෙහි තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වෙසෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කෙලෙස් නැතිකිරීමෙන්, කෙලෙස් රහිතවූ චිත්තවිමුක්තියද, ප්‍රඥාවිමුක්තියද මේ ආත්මයෙහිම තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊටහේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය” (එහෙයිනි.)

Msdiv 443 මෙසේ වදාළ කල්හි සාලෙය්‍යක ගම්වැසි බ්‍රහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.

“භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දෙශනාව යහපත. භවත් ගෞතමයන්වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කළ බඳුනක් උඩුකුරු කරන්නේද, වැසී තිබුන දෙයක් විවෘත කරන්නේද, මංමුළා වූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහණක් දරන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරනලදී. ඒ ධර්මය ඇසුවාවූ අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ යමු. ධර්මයද භික්ෂු සංඝයාද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගියාවූ උපාසකයන් කොට අප සලකන සේක්වා.

පළමුවෙනිවූ සාලෙය්‍යක සූත්‍රය නිමි. (5-1)

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection