The Shorter Classification
Cūḷavedalla Sutta
PDFGenerated
The layman Visākha asks the nun Dhammadinnā about various difficult matters, including some of the highest meditation attainments. The Buddha fully endorses her answers.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 5. චූල යමක වර්ගය 44. චූල වෙදල්ල සූත්‍රය Msdiv 460 මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ, වේලුවනාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි, විසාඛනම් උපාසක තෙම ධම්ම දින්නා නම් මෙහෙණිය යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් ධම්මදින්නා මෙහෙණියට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ විසාඛ උපාසක තෙම ධම්මදින්නා මෙහෙණියට මෙසේ කීයේය.
“ආර්‍ය්‍යාවෙනි, සක්කාය සක්කාය යයි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කවරක් වනාහි සක්කායයයි වදාරණ ලදද?” “ඇවැත්නි, විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානස්කන්ධ පස සක්කායයයි වදාරණ ලදී. කවරහුද? රූප උපාදාන ස්කන්ධය, වෙදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය, යන පසයි. ඇවැත්නි, විසාඛයෙනි, මේ පඤ්චවිධ උපාදානස්කන්ධයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කායයි වදාරණ ලදහ.”
“ආර්‍ය්‍යාවෙනි, යහපතැයි” විසාඛ උපාසක තෙම ධම්ම දින්නා නම් භික්ෂුණියගේ වචනයට සතුටුවී එය පිළිගෙන ධම්ම දින්නා භික්ෂුණියගෙන් ඊළඟ ප්‍රශ්නය විචාළේය. “ආර්‍ය්‍යාවෙනි සක්කාය සමුදය සක්කාය සමුදය (සක්කාය දෘෂ්ටිය පහළ වීමට හේතුව) යයි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කවරක් නම් සක්කාය සමුදයයයි වදාරණ ලදද?” ඇවැත් විසාඛයෙනි, නැවත ඉපදීම ඇති කරන්නාවූ, නන්දිරාගය හා එක්ව පැවැත්තාවූ, ඒ ඒ රූපාදි අරමුණෙහි, සතුටු වන්නාවූ, යම් මේ තෘෂ්ණාවක් වේද, එනම්:- (කාම වස්තු විෂයෙහි පැවැති) කාමතෘෂ්ණාවය, (ශාශ්වත දෘෂ්ටි සහගත) භවතෘෂ්ණාවය, (උච්ඡෙද දෘෂ්ටි සහගත) විභව තෘෂ්ණාවය, යන තෘෂ්ණාවයි. ඇවැත්නි, විසාඛයෙනි, මේ තෘෂ්ණාව වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය සමුදයයයි වදාරණ ලදී.”
“ආර්‍ය්‍යාවෙනි, සක්කාය නිරොධය සක්කාය නිරොධය (සක්කාය දෘෂ්ටිය නැතිකිරීම) යයි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලද, සක්කාය නිරොධය කවරේද?”
“ඇවැත් විසාඛයෙනි, ඒ පළමු දැක්වූ තෘෂ්ණාවගේම ඉතිරි නොකර නැති කිරීමක් වේද, බැහැර කිරීමක් වේද’ දුරලීමක් වේද, මිදීමක් වේද, නොඇල්මක් වේද ඇවැත් විසාඛායෙනි, මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය නිරොධයයයි වදාරණ ලද්දේය.”
“ආර්‍ය්‍යාවෙනි, සක්කාය නිරොධ ගාමිනී ප්‍රතිපදාව, සක්කාය නිරොධය ගාමිනී ප්‍රතිපදාවයයි (සක්කාය දෘෂ්ටිය නැති කිරීමේ මග) කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කවරක් සක්කාය නිරොධ ගාමිනි ප්‍රතිපදාව යයි, වදාරණ ලදද?”
“ඇවැත්නි විසාඛයෙනි, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය නිරොධ ගාමිනී ප්‍රතිපදාවයයි වදාරණ ලදී. එනම්:- නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මොහුයි.”
“ආර්‍ය්‍යාවෙනි, උපාදානයත් උපාදාන, ස්කන්ධ පසත් එකමද? නැතහොත් උපාදානය උපාදාන ස්කන්ධපසෙන් වෙනස්ද?”
“ඇවැත්නි, විසාඛයෙනි, උපාදානයත් උපාදාන ස්කන්ධ පසත් එකම නොවේ. උපාදාන ස්කන්ධ පස හැර උපාදානයක්ද නැත. ඇවැත්නි, විසාඛයෙනි, උපාදාන ස්කන්ධ පස කෙරෙහි යම් ඇලීමක් වේ නම් එය එහි උපාදානයයි”
Msdiv 461 “ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සක්කාය දෘෂ්ටිය වේද?
“ඇවැත්නි, විසාඛයෙනි, මේ ලොකයෙහි බුද්ධාදි ආර්‍ය්‍යයන් නොදැක්කාවූ, ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නුදුටුවාවූ, සත්පුරුෂ ධර්මයෙහි, අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ නූගත් පෘථග්ජනතෙම රූපය තමා වශයෙන් හෝ දකියි තමා රූප සහිත යයි කියා හෝ දකියි. තමා කෙරෙහි රූපය ඇතැයි හෝ දකියි. රූපය තමා කෙරෙහි පිහිටියේයයි හෝ දකියි. වෙදනාව තමා වශයෙන් හෝ දකියි තමා වේදනාව සහිතය කියා හෝ දකියි තමා කෙරෙහි වේදනාව පිහිටියේයයි හෝ දකියි. වේදනාවෙහි තමා පිහිටියේයයි හෝ දකියි. සංඥාව තමා වශයෙන් හෝ දකියි. තමා සංඥා සහිතය කියා හෝ දකියි. තමා කෙරෙහි සංඥාව පිහිටියේයයි කියා හෝ දකියි. සංඥාවෙහි තමා පිහිටියේයයි හෝ දකියි. සංස්කාරයන් තමා වශයෙන් හෝ දකියි. තමා සංස්කාර සහිතය කියා හෝ දකියි. තමා කෙරෙහි සංස්කාරයන් පිහිටියේයයි කියා හෝ දකියි. සංස්කාරයන් කෙරෙහි තමා පිහිටියේයයි හෝ දකියි. විඥානය තමා වශයෙන් දකියි. තමා විඥානය සහිතය කියා හෝ දකියි. තමා කෙරෙහි විඥානය පිහිටියේයයි හෝ දකියි. විඥානයෙහි තමා පිහිටියේයයි හෝ දකියි. විසාඛය, මෙසේ වනාහි සක්කාය දෘෂ්ටිය වෙයි.”
“ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සක්කාය දෘෂ්ටිය නොවේද?”
“ඇවැත්නි, විසාඛයෙනි, බුද්ධාදී ආර්‍ය්‍යයන් නුවණැසින් දුටුවාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි මනාව හික්මුනාවූ බුද්ධාදී සත්පුරුෂයන් දුටුවාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම රූපය තමා වශයෙන් නොදකියි. තමා රූපය සහිතයයි කියා හෝ නොදකියි. තමා කෙරෙහි රූපය ඇතැයි හෝ නොදකියි. රූපයෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. වෙදනාව තමා වශයෙන් හෝ නොදකියි. තමා වෙදනාව සහිතයයි හෝ නොදකියි තමාකෙරෙහි වෙදනාව පිහිටියේයයි හෝ නොදකියි. වෙදනාවෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. සංඥාව තමා වශයෙන් නොදකියි. තමා සංඥාව සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි සංඥාව පිහිටියේයයි හෝ නොදකියි. සංඥාවෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. සංස්කාරයන් ආත්ම වශයෙන් හෝ නොදකියි. තමා සංස්කාරය සහිතයයි හෝ නොදකියි. තමා කෙරෙහි සංස්කාරයන් පිහිටියේයයි හෝ නොදකියි. සංස්කාරයන්හි තමා පිහිටියේයයි හෝ නොදකියි. විඤ්ඤාණය තමා වශයෙන් හෝ නොදකියි. තමා විඤ්ඤාණය සහිතයයි හෝ නොදකියි. විඤ්ඤාණයෙහි තමා පිහිටියේයයි හෝ නොදකියි. ඇවැත් විසාඛයෙනි, මෙසේ සක්කාය දෘෂ්ටිය නොවේ.”
Msdiv 462 “ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයතෙම කවරේද?”
“ඇවැත්නි, විසාඛයෙනි, අංග අටක් ඇති මේ ආර්‍ය්‍ය මාර්ගය මැයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහයය, නිවැරදි සිහියය, නිවැරදි සමාධියය’ (යන අටයි)
“ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය තෙම හේතූන් නිසා හටගන්නා ලද්දක්ද? නැතහොත් හේතූන් නිසා හට නොගන්නා ලද්දක්ද?”
“ඇවැත් විසාඛයෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයතෙම හේතූන් නිසා හටගන්නා ලද්දකි.”
“ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි ස්කන්ධ තුන සංග්‍රහ කරන ලද්දාහුද? නැතහොත් සීලාදී ස්කන්ධ තුණෙහි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරන ලද්දේද?”
“ඇවැත් විසාඛයෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි සීලාදී ස්කන්ධ තුන සංග්‍රහ කරණ ලද්දේ නොවේ. ඇවැත්නි විසාඛයෙනි, ස්කන්ධ තුනෙහි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරණලදී. ඇවැත්නි, විසාඛයෙනි, යම් නිවැරදි වචනයක් වේද, යම් නිවැරදි කර්මාන්තයක් වේද, යම් නිවැරදි ජීවිකාවක් වේද, මේ ධර්මයෝ ශීල ස්කන්ධයෙහි ඇතුළත් කරන ලදහ. යම් නිවැරදි උත්සාහයක් වේද, යම් නිවැරදි සිහියක් වේද, යම් නිවැරදි සමාධියක් වේද, මේ ධර්මයෝ සමාධිස්කන්ධයෙහි ඇතුළත් කරන ලදහ. යම් නිවැරදි දැනීමක් වේද, යම් නිවැරදි කල්පනාවක් වේද, මේ ධර්මයෝ ප්‍රඥා ස්කන්ධයෙහි ඇතුළත් කරන ලදහ.”
“ආර්‍ය්‍යාවෙනි, සමාධිය කවරේද? සමාධි නිමිති කවරහුද? සමාධි පිරිවර කවරහුද? සමාධි භාවනාව කවරීද?”
“ඇවැත් විසාඛයෙනි, හිතෙහි යම් එකඟබවක් වේද ඒ සමාධියයි. සතර සතිපට්ඨානය, සමාධි නිමිත්තයෝය. සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍ය සතර සමාධි පිරිවරය, ඒ ධර්මයන්ගෙන්ම සෙවනය කිරීම, වැඩීම, බහුල කිරීම, යන යමක් ඇද්ද ඒ එහි සමාධි භාවනාවයි.”
Msdiv 463 “ආර්‍ය්‍යාවෙනි, සංස්කාරයෝ කීදෙනෙක්ද?”
“ඇවැත්නි, විසාඛයෙනි, මේ සංස්කාරයෝ තුන්දෙනෙකි. කාය සංස්කාරය, වාක් සංස්කාරය, චිත්ත සංස්කාරය” (යන තුනයි.)
“ආර්‍ය්‍යාවෙනි, කාය සංස්කාරය කවරේද? වාක් සංස්කාරය කවරේද? චිත්ත සංස්කාරය කවරේද?”
“ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය සංස්කාරයෝයි විතර්ක විචාරයෝ වාක් සංස්කාරයෝ වෙත්. සංඥාවත්, වේදනාවත් චිත්ත සංස්කාරයයි.”
“ආර්‍ය්‍යාවෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කවර හෙයින් කාය සංස්කාර නම් වේද? විතර්ක විචාර දෙක කවර හෙයින් වාක් සංස්කාර නම් වේද? සංඥා වේදනා දෙක කවර හෙයින් චිත්ත සංස්කාර නම් වේද?”
“ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ වනාහි කයෙහි හටගත්තාහුය. මේ ධර්මයෝ වනාහි කය පිළිබඳය (හෙවත් කය ඇතිකල්හි මිස නැති කල්හි ඇති නොවන්නාහ.) එහෙයින් ආශ්වාස ප්‍රශ්වාස දෙක කාය සංස්කාර නමි. ඇවැත් විසාඛයෙනි, පළමුකොටම කල්පනා කොට විචාරණය කොට, පසුව වචන කථාකරනු ලැබේ. එහෙයින් විතර්ක විචාරයෝ වාක් සංස්කාරයි, සංඥාවත් වේදනාවත් සිතෙහි හටගන්නාහුය. මේ ධර්මයෝ සිත පිළිබඳය, (සිත ඇති කල්හි ම හටගන්නාහුය.) එහෙයින් සංඥාවත් වේදනාවත් චිත්ත සංස්කාරයි.”
Msdiv 464 “ආර්‍ය්‍යාවෙනි, කෙසේ වනාහි සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තිය (සංඥා වේදනාවන් නිරුද්ධවීම් ඇති සමාපත්තිය) වේද?”
“ඇවැත් විසාඛයෙනි, නිරොධ සමාපත්තියට පැමිණෙන්නාවූ භික්ෂුහට ‘මම නිරොධසමාපත්තියට පැමිණෙන්නෙමි’යි කියා හෝ ‘මම සංඥාවේදයිත නිරොධ සමාපත්තියට සමවදිමි’ කියා හෝ ‘මම නිරොධ සමාපත්තියට සමවැදුනෙමි කියා හෝ මෙබඳු සිතක් ඇති නොවෙයි. එහෙත් යම් සිතක් ඒ අචිත්තක භාවය (සිත් නැති බව) පිණිස පමුණුවාද, ඒ සිත නිරොධ සමාපත්තිය සමවදින්නට පළමුවෙන්ම එසේ වඩන ලද්දේ වෙයි.”
“ආර්‍ය්‍යාවෙනි, සඤ්ඤවේදයිත නිරොධසමාපත්තියට පැමිණෙන්නාවූ, මහණහට කවර ධර්මයෝ පළමුකොට නැති වෙත්ද? කාය සංස්කාරය හෝ නැතිවේද, වාක්සංස්කාරය හෝ නැතිවේද? චිත්ත සංස්කාරය හෝ නැති වේද?”
“ඇවැත්නි, විශාඛයෙනි, සඤ්ඤාවෙදයිත නිරොධසමාපත්තියට පැමිණෙන්නාවූ භික්ෂුවහට පළමුව වාක් සංස්කාරය නැති වෙයි. ඉන්පසුව කාය සංස්කාරයද, ඉන්පසු චිත්ත සංස්කාරයද, නැතිවෙයි.”
“ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී සිටීම වේද?”
“ඇවැත් විසාඛයෙනි, සඤ්ඤාවෙදයිත නිරොධ සමාප්තියෙන් නැගී සිටින්නාවූ භික්ෂුවහට මෙබඳු අදහසක් නොවෙයි. මම සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැඟිසිටින්නෙමි කියා හෝ මම සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගිටිමි කියා හෝ මම සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගිටියෙමි කියා හෝ (අදහස් නොවෙයි) එහෙත් ඔහු විසින් යම් සිතක් ඒ අචිත්තභාවය පිණිස පමුණුවාද, සමවැදීමට පළමු කොටම ඒ සිත එසේ වඩන ලද්දේ වෙයි.”
“ආර්‍ය්‍යාවෙනි, සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී සිටින භික්ෂුවහට කවර ධර්මයෝ පළමු කොට උපදිද්ද? කාය සංස්කාරයද? වාක් සංස්කාරයද? චිත්ත සංස්කාරයද?”
“ඇවැත් විසාඛයෙනි, සඤ්ඤාවේදයිත නිරොධ සමාපත්තියෙන් නැගීසිටින භික්ෂුවහට පළමුකොට චිත්ත සංස්කාරය උපදියි. ඉන්පසු කාය සංස්කාරය උපදියි. ඊට පසු වාක් සංස්කාරය උපදියි.”
“ආර්‍ය්‍යාවෙනි, සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී සිටියාවූ මහණහු කෙතෙක් ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්ද?”
“ඇවැත් විසාඛයෙනි, සඤ්ඤාවෙදයිත නිරොධසමාපත්තියෙන් නැගී සිටි භික්ෂුව ස්පර්ශ තුනක් ස්පර්ශ කරති, ශූන්‍යතා ස්පර්ශය, අනිමිත්ත ස්පර්ශය, අප්‍රණිහිත ස්පර්ශය යන තුනයි.”
“ආර්‍ය්‍යාවෙනි, සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී සිටියාවූ, භික්ෂුවගේ සිත කුමකට නැමුණේ වේද? කුමකට හැරුණේ වේද? කුමකට බරවූයේ වේද?”
“ඇවැත් විසාඛයෙනි, සඤ්ඤාවේදයිත නිරොධ සමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවගේ සිත විවේකයට (නිර්වාණයට) නැමුනේවෙයි. නිර්වාණයට හැරුණේවෙයි. නිර්වාණයට බරවූයේ වෙයි.”
Msdiv 465 “ආර්‍ය්‍යාවෙනි, වේදනාවෝ කෙතෙක්ද?”
“ඇවැත් විසාඛයෙනි, වේදනා තුනකි. සැප වේදනාවය, දුක් වේදනාවය, උපෙක්ෂා වේදනාවය” (යන තුනය)
“ආර්‍ය්‍යාවෙනි, සැප වේදනාව කවරීද? දුක් වේදනාව කවරීද? උපෙක්ෂා වේදනාව කවරීද?”
“ඇවැත් විසාඛයෙනි, කයෙහි හටගත්තාවූද, සිතෙහි හටගත්තාවූද, සැපවූ, මධුරවූ, යම් වේදනාවක් වේද, මේ සැප වේදනාවයි. ඇවැත් විසාඛයෙනි, කයෙහි හටගත්තාවූද, සිතෙහි හටගත්තාවූද, දුක්වූ, අමිහිරිවූ, යම් වේදනාවක්වේද, මේ දුක් වේදනාවයි. ඇවැත් විසාඛයෙනි, කයෙහි හටගත්තාවූද, සිතෙහි හටගත්තාවූද, මිහිරිද නොවූ, අමිහිරිද නොවූ යම් වේදනාවක් වේද, මෙය උපෙක්ෂා වේදනාවයි.”
“ආර්‍ය්‍යාවෙනි, සැප වේදනාව කුමක් සැපකොට ඇත්තීද? කුමක් දුක් කොට ඇත්තීද? දුක් වේදනාව කුමක් දුක් කොට ඇත්තීද? කුමක් සැප කොට ඇත්තීද? උපෙක්ෂා වේදනාව කුමක් දුක් කොට ඇත්තීද? කුමක් සැප කොට ඇත්තීද?”
“ඇවැත් විසාඛයෙනි, සැප වේදනාවගේ පැවැත්ම සැපය, නැතිවීම දුක්ය. දුක් වේදනාව පැවැත්ම දුක්ය. නැතිවීම සැපය. උපෙක්ෂා වේදනාව දැනීම සැපය. නොදැනීම දුකය.”
“ආර්‍ය්‍යාවෙනි, සැප වේදනාවෙහි කවර අනුශය ධර්මයක් (අනුව සයනය කළාක්මෙන්) එක්ව හැසිරේද? දුක් වේදනාවෙහි කවර අනුසය ධර්මයක් එක්ව හැසිරේද? උපෙක්ෂා වෙදනාවෙහි කවර අනුසය ධර්මයක් එක්ව හැසිරේද?”
“ඇවැත් විසාඛයෙනි, සැප වේදනාවෙහි රාග අනුශය එක්ව හැසිරෙයි. දුක් වේදනාවෙහි ප්‍රතිඝ අනුසය එක්ව හැසිරෙයි, උපෙක්ෂා වේදනාවෙහි අවිද්‍යා අනුසය එක්ව හැසිරෙයි.”
“ආර්‍ය්‍යාවෙනි, සියලු සැප වේදනාවෙහි රාගානුසය එක්ව හැසිරේද? සියලු දුක් වේදනාවෙහි, ප්‍රතිඝානුසය, එක්ව හැසිරේද? සියලු උපෙක්ෂා වේදනාවෙහි, අවිද්‍යානුසය එක්ව හැසිරේද?”
“ඇවැත්නි, විසාඛයෙනි, සියලු සැප වේදනාවෙහි රාගානුසය එක්ව නොහැසිරෙයි. සියලු දුක් වේදනාවෙහි ප්‍රතිඝානුසය එක්ව නොහැසිරෙයි. සියලු උපෙක්ෂා වේදනාවෙහි අවිද්‍යානුසය එක්ව නොහැසිරෙයි.”
“ආර්‍ය්‍යාවෙනි, සැප වේදනාවෙහි කුමක් පහකළ යුතුද? දුක් වේදනාවෙහි කුමක් පහකළ යුතුද? උපෙක්ෂා වේදනාවෙහි කුමක් පහකළ යුතුද?” “ඇවැත් විසාඛයෙනි, සැප වේදනාවෙහි රාගානුසය පහකළ යුතුයි. දුක් වේදනාවෙහි ප්‍රතිඝානුසය පහකළ යුතුය. උපෙක්ෂා වෙදනාවෙහි, අවිද්‍යානුසය පහකළ යුතුය.”
“ආර්‍ය්‍යාවෙනි, සියලු සැප වේදනාවෙහි, රාගානුසය පහකළ යුතුද? සියලු දුක් වේදනාවෙහි ප්‍රතිඝානුසය පහකළ යුතුද? සියලු උපෙක්ෂා වේදනාවෙහි අවිද්‍යානුසය පහකළ යුතුද?”
“ඇවැත් විසාඛයෙනි, සියලු සැප වේදනාවෙහි රාගානුසය පහකළ යුතු නොවෙයි. සියලු දුක් වේදනාවෙහි ප්‍රතිඝානුසය පහකළ යුතු නොවෙයි. සියලු උපෙක්ෂා වේදනාවෙහි අවිද්‍යානුසය පහකළ යුතු නොවෙයි. ඇවැත් විසාඛයෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඒ ප්‍රථමධ්‍යානය කරණකොටගෙන රාගය දුරලයි. ඒ ප්‍රථම ධ්‍යානයෙහි, රාගානුසය තෙම එක්ව නොහැසිරේ.
“ඇවැත් විසාඛයෙනි, මේ ශාසනයෙහි මහණතෙම, මෙසේ බලාපොරොත්තු වෙයි. ‘දැන් ආර්‍ය්‍යයන් වහන්සේලා (රහත් ඵලයයි කියනු ලබන) යම් ආයතනයකට පැමිණ වෙසෙද්ද, ඒ අර්හත්වයට මම කවර දවසෙක පැමිණ වාසය කරන්නෙම්ද?’ මෙසේ උතුම්වූ, (අර්හත් මාර්ගඵලයයි කියන ලද) මිදීමෙහි කැමැත්ත ඇතිකරන්නහුට ප්‍රාර්ථනාව මුල්කොට ඇති දොම්නස උපදියි. එයින් ප්‍රතිඝය දුරු කරයි. එහි ප්‍රතිඝානුසය එක්ව නොහැසිරේ. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සැප නැති කිරීමෙන්ද, දුක් නැති කිරීමෙන්ද පළමු කොටම සොම්නස් දොම්නස් දෙක දුරලීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ෂා සිහි පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. එයින් අවිද්‍යාව දුරු කරයි. එහි අවිද්‍යානුසය එක්ව නොහැසිරේ.”
Msdiv 466 “ආර්‍ය්‍යාවෙනි, සැප වේදනාවට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත්නි, විසාඛයෙනි, සැප වේදනාවට දුක් වේදනාව ප්‍රතිවිරුද්ධයි.”
“ආර්‍ය්‍යාවෙනි, දුක් වේදනාවට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත් විසාඛයෙනි, දුක් වේදනාවට සැප වේදනාව ප්‍රතිවිරුද්ධයි.”
“ආර්‍ය්‍යාවෙනි, උපෙක්ෂා වේදනාවට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත් විසාඛයෙනි, උපෙක්ෂා වේදනාවට අවිද්‍යාව ප්‍රතිවිරුද්ධයි.”
“ආර්‍ය්‍යාවෙනි, අවිද්‍යාවට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත් විසාඛයෙනි, අවිද්‍යාවට, විද්‍යාව ප්‍රති විරුද්ධයි.”
“ආර්‍ය්‍යාවෙනි, විද්‍යාවට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත් විසාඛයෙනි, විද්‍යාවට විමුක්තිය අර්හත්ඵලය ප්‍රතිවිරුද්ධයි.”
“ආර්‍ය්‍යාවෙනි, විමුක්තියට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත්නි විසාඛයෙනි, විමුක්තියට නිර්වාණය ප්‍රතිවිරුද්ධයි.”
“ආර්‍ය්‍යාවෙනි, නිර්වාණයට කුමක් ප්‍රතිවිරුද්ධද?”
“ඇවැත් විසාඛයෙනි, ප්‍රශ්නය සීමාව ඉක්මවා ගියේය. ප්‍රශ්නයන්ගේ කෙළවර ගන්නට නොහැකිය. ඇවැත් විසාඛයෙනි, මාර්ග බ්‍රහ්මචරියාව නිර්වාණයට පිවිසුනේ වෙයි. නිර්වාණය පිහිට කොට ඇත්තේ වෙයි. නිර්වාණය අවසන්කොට ඇත්තේ වෙයි. ඇවැත් විසාඛයෙනි, ඔබ කැමැත්තෙහි නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මේ කාරණය විචාරව යම්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරණසේක්ද, එසේ පිළිගනුව.”
Msdiv 467 ඉක්බිති විසාඛ උපාසක තෙම ධම්මදින්නා භික්ෂුණින් වහන්සේගේ දෙශනාවට සතුටුවී එය පිළිගෙන හුනස්නෙන් නැඟිට ධම්මදින්නා භික්ෂුණිය වැඳ පැදකුණුකොට භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ, විසාඛ උපාසක තෙම ධම්මදින්නා භික්ෂුණිය සමග පැවති කථාව යම් තරමක් වීද, ඒ සියල්ල භාග්‍යවතුන්වහන්සේට කීවේය. මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ විසාඛ උපාසකයාට මෙය කීහ. විසාඛය, ධම්මදින්නා භික්ෂුණිය පණ්ඩිතය. විසාඛය, ධම්මදින්නා භික්ෂුණිය ගැඹුරු ප්‍රඥාව ඇත්තීය. විසාඛයෙනි, නුඹ මාගෙන්ද මේ කාරණය ඇසුවෙහි නම් යම්සේ එය ධම්මදින්නා භික්ෂූණිය විසින් ප්‍රකාශ කරන ලදද, මමද, එය එපරිද්දෙන්ම ප්‍රකාශ කරන්නෙමි. මෙහි අර්ථය මෙයමැයි. මෙසේ මෙය දරව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. සතුටුවූ විසාඛ උපාසක තෙම භාග්‍යවතුන්වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය.
හතරවෙනිවූ චූල වෙදල්ල සූත්‍රය නිමි. (5-4)
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source