LibraryMNMN 45
MN 4512 min read

The Shorter Discourse on Taking Up Practices

Cūḷadhammasamādāna Sutta

20
PDFGenerated
01 · Overview

The Buddha explains how taking up different practices may have harmful or beneficial results. The memorable simile of the creeper shows how insidious temptations can be.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 5. චූල යමක වර්ගය 45. චූල ධම්ම සමාදාන සූත්‍රය Msdiv 468 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජෙතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

“මහණෙනි, මේ ධර්ම සමාදාන (ධර්මයයි ගන්නා ලද ගැනීම්) සතරක් වෙත්. කවර සතරක්ද යත්:- මහණෙනි, දැන් (මේ ජාතියෙහි) සැප ඇති, මත්තෙහි (මතු ජාතියෙහි) දුක්විපාක ඇති ධර්ම සමාදානයක් ඇත, මහණෙනි, දැනුත් දුක්වූ, මත්තෙහිත් දුක්විපාක ඇති ධර්ම සමාදානයක් ඇත. මහණෙනි, දැන් දුක්වූ, මත්තෙහි සැප විපාක ඇති ධර්ම සමාදානයක් ඇත. මහණෙනි, දැනුත් සැපවූ, මත්තෙහිත් සැප විපාක ඇති. ධර්ම සමාදානයක් ඇත.

Msdiv 469 “මහණෙනි, මේ ජාතියෙහි සැපවූ, පරලොව දුක් විපාකඇති ධර්ම සමාදානය කවරේද? මහණෙනි, කාමයන්හි දෝෂයක් නැතැයි කියන්නාවූ, දොෂයක් නැත යන දෘෂ්ටි ඇත්තාවූ, ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔවුහු කැමතිසේ කාම සම්පත් අනුභව කරති. ඔව්හු වනාහි හිස මුදුනේ බැඳි කොණ්ඩා ඇති පරිබ්‍රාජක ගැහැණුන් සමග හැසිරෙත්, ඔවුහු මෙසේ කියති. ‘ඒ පින්වත් මහණ බමුණෝ කාමයන්හි මත්තෙහි කවර නම් භයක් දකිමින් කාමසම්පත් අත්හරින්නට කියත්ද? තරුණවූ මෘදුවූ, ලොම් ඇති මේ පරිබ්‍රාජිකාවගේ අතෙහි ස්පර්ශය සැපය’යි කියමින් ඔවුහු කැමතිසේ කාම සම්පත් අනුභව කරති. ඔවුහු කැමතිසේ කම්සැප විඳ ශරීරය බිඳීමෙන් මරණයෙන් මතු සැපයක් නැති දුක් ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපදිති, ඔවුහු එහි දුක්වූ තියුණුවූ කටුකවූ, වේදනා විඳිති. ඔවුහු මෙසේ කියති. ‘ඒ පින්වත් මහණ බමුණෝ වනාහි කාමයන්හි, මතු ඇතිවන මේ භය දැක කාමසම්පත් අත්හරින්නට කියති. අපි වනාහී කාමයන් හේතු කොට ගෙන කාමයන් මුල් කොට ගෙන දුක්වූ තියුණුවූ, කටුකවූ, මේ වේදනාවන් විඳිමු’යි. (කියති)

“මහණෙනි, ග්‍රීෂ්ම ඍතුවේ අන්තිම මාසයෙහි මාලුවා කරලක් පැසී පුපුරන්නේය. මහණෙනි, ඉක්බිති ඒ මාලුවා ඇටය එක්තරා සල් රුකක් මුල වැටෙන්නේය. මහණෙනි, එකල්හි ඒ සල්ගසෙහි යම් දෙවියෙක් වාසය කරන්නේද ඒ දෙවිතෙම භයට පත්ව, සංවේගයට පැමිණ, තැති ගැනීමට පැමිණෙන්නේය. මහණෙනි, ඉක්බිති, ඒ සල් ගසෙහි වසන දෙවියාගේ මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ආරාමවල වසන දෙවියෝද, වන දෙවියෝද, රුක් දෙවියෝද, (අරළු ආදී) ඖෂධ වෘක්ෂ වලද, තල් පොල් ආදී (තෘණ) වෘක්ෂ වලද, නුග බෝ ආදී (වනස්පති) වෘක්ෂ වලද වාසය කරන්නාවූ දෙවියෝද එක්ව රැස්ව, මෙසේ, අස්වසන්නාහුය. ‘පින්වත, භය නොවෙව, පින්වත, භය නොවෙව, ඒ මාලුවා ඇටය මොනරෙක් හෝ ගිලිනවා ඇත, මූවෙක් හෝ කනවා ඇත, ලැව් ගින්නකින් හෝ දැවෙනවා ඇත, වනයෙහි වැඩ කරන්නෙක් හෝ උදුරා දමනවා ඇත, වේයන් හෝ කනවා ඇත, බොල් වන්නට හෝ පුළුවන, (කියායි)

“මහණෙනි, ඉක්බිති, ඒ මාලුවා ඇටය, මොනරෙක් හෝ නොගිලියි. මුවෙක් හෝ නොකයි. ලැව් ගින්නක් හෝ නොදවයි, වනයෙහි වැඩ කරන්නෙක් හෝ උදුරා නොදමයි. වේයෝ හෝ නොකන්නාහුය, සාරවත් බීජයක්ම වන්නේය. ඒ වනාහි මහ වැස්සෙන් තෙමී පැලවී මනාව වැඩෙන්නේය. ඒමාලුවා වැල ලපටිවූවා, මෘදුවූවා, බූව සහිතවූවා, ලෙලදෙන්නී වෙයි. ඒ වැල ඒ සල්ගස වැලඳ ගන්නීය. මහණෙනි, ඉක්බිති, ඒ සල්ගසෙහි වසන දේවතාවාට මෙසේ කල්පනා වෙයි. ‘ඒ පින්වත් මිත්‍රයෝද, නෑ සහ ලේ නෑයෝද, ආරාම දෙවතාවෝද වන දෙවියෝද, ඖෂධ, තෘණ, වනස්පතී වෘක්ෂවල වසන දෙවියෝද, එක්ව රැස්ව, ‘පින්වත, භය නොවෙව. පින්වත, භය නොවෙව. ඒ මාලුවා ඇටය මොණරෙක් හෝ ගිලිනවා ඇත, මුවෙක් හෝ කනවා ඇත. ලැව් ගින්නකින් හෝ දැවෙනවා ඇත. වනයෙහි වැඩ කරන්නෙක් හෝ උගුල්ලා දමනවා ඇත. වේයන් හෝ කනවා ඇත. බොල් වන්නට හෝ පුළුවන’ කියමින් ඒ මාලුවා ඇටයෙන් මතු ඇති වන කිනම් භයක් දැක මා අස්වැසුවාහුද? තරුණවූ, මෘදුවූ, බූව සහිතවූ, ලෙලදෙන්නාවූ, මේ මාලුවා වැලෙහි, ස්පර්ශය සැපයයි ඒ වැල ඒ සල්ගස වැලඳගන්නීය. වැළඳගෙන සල්ගස මත්තෙහි කුඩයක් මෙන් සිටින්නීය. හෙවත් අතු මත්තෙහි පැතිර ඇටුවම් බස් වන්නේය. (වැල් නැවත පොළොවට පාත් වන්නේය.) ඇටුවම් බැස, ඒ සල් ගසෙහි යම් කලෙක ලොකු අතු වෙයිනම් ඒවා පලන්නීය. මහණෙනි, එවිට සල් ගසෙහි වසන දෙවියාට මෙබඳු කල්පනාවක් වෙයි. ඒ පින්වත් මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද, ආරාම දෙවතාවෝද, ඖෂධ, තෘණ, වනස්පතී වෘක්ෂවල වසන දෙවියෝද ඒ මාලුවා පැලයෙන් මතු ඇති වන භය දක්නාහු එක්ව රැස්ව ‘පින්වත, භය නොවෙව, පින්වත, භය නොවෙව, ඒ මාලුවා ඇටය මොණරෙක් හෝ ගිලිනවා ඇත, මුවෙක් හෝ කනවා ඇත, ලැව් ගින්නකින් හෝ දැවෙනවා ඇත, වේයන් හෝ කනවා ඇත. බොල් හෝ වන්නට පුළුවන’ කියමින් මා අස්වැසූහ. මම වනාහි ඒ මාලුවා ඇටය හේතු කොට ගෙන දුක් වූ, නපුරු වූ, කටුක වූ වෙදනා විඳිමි.’ (කියාය)

“මහණෙනි, එපරිද්දෙන්ම, කාමයන්හි දොෂයක් නැතැයි කියන්නාවූ, දොෂයක් නැත යන දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ, ඔවුහු කැමතිසේ කාම සම්පත් අනුභව කරති. ඔවුහු හිස මුදුනේ බැඳි කොණ්ඩා ඇති පරිබ්‍රාජක ස්ත්‍රීන් සමග හැසිරෙති. ඔවුහු මෙසේ කියති. ‘ඒ පින්වත් මහණ බමුණෝ කාමයන්හි අනාගතයෙහි කවර නම් භයක් දකිමින් කාම සම්පත් අත්හරින්නට කියත්ද? තරුණ වූ මොලොක්වූ ලොම් ඇති මේ පරිබ්‍රාජකාවගේ අතේ ස්පර්ශය සැපය’යි. ඔවුහු කැමතිසේ කම්සැප විඳිති. ඔවුහු කැමතිසේ සම්පත් විඳ කය බිඳීමෙන් මරණින් මතු සැප නැති දුක් ඇති, උඩු කුරුව වැටෙන නරකයෙහි උපදිති. ඔවුහු එහි දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳිති. ඔවුහු මෙසේ කියති, ‘ඒ පින්වත් මහණ බමුණෝ කාමයන්හි මතු ඇතිවන මේ භය දැක කාම සම්පත් අත්හරින්නට කියති. අපි වනාහි, කාමයන් හෙතුකොට කාමයන් මුල් කොට දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනා විඳිමු’යි. (කියායි) මහණෙනි, මේ වනාහි මෙලොව සැප ඇති මත්තෙහි දුක් විපාක ඇති, ධර්ම සමාදානයයි කියනු ලැබේ.

Msdiv 470 “මහණෙනි, මේ වර්තමානයෙහිත් දුක් ඇති අනාගතයෙහිත් දුක් විපාක ඇති ධර්ම සමාදානය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් යහපත් පැවතුම් නැති, නිර්වස්ත්‍රයෙක් වෙයි. දිවෙන් අතලොවින්නේ නොහොත් මළ පහකොට (දණ්ඩක්යයි හිතාගෙන) අතින් පිසින්නේ වෙයි. ආහාර දීම පිණිස එව වහන්සැයි කී කල්හි නොපිළිගන්නේ වෙයි. සිටුව වහන්සැයි කියා දුන්දෙය නොපිළිගනියි. පෙරටුව ගෙණෙන ලද ආහාරය නොපිළි ගනියි. ඔහු උදෙසා කරණ ලද්ද හෙතෙම නොපිළිගනියි. ආරාධනා කර දුන් බත නොඉවසයි. කළගෙඩි කටින් ගෙණ දුන් දෙය නොපිළිගනියි. සැළිකටින් ගෙණ දුන් දෙය නොපිළිගනියි. එලිපත අතරකොට සිට දුන්දෙය නොපිළි ගනියි. දණ්ඩක් අතරකොට සිට දුන්දෙය නොපිළිගනියි. මෝල්ගසක් අතරකොට සිට දුන්දෙය නොපිළිගනියි. අනුභව කරන්නාවූ දෙදෙනෙකුගෙන් එකෙකු දුන්දෙය නොපිළිගනියි. ගැබිනිය විසින් දුන්දෙය නොපිළිගනියි. කිරි පොවන්නිය විසින් දුන්දෙය නොපිළිගනියි. පුරුෂයෙකු වෙත ගිය තැනැත්තිය විසින් දුන්දෙය නොපිළිගනියි. සම්මාදම් කළ දෙයින් කිසිවක් නොපිළිගනියි. යම් තැනක බල්ලෙක් එළඹ සිටියේද (ඔහුට නොදී) එහිදී දුන්දෙය නොපිළිගනියි. දියමස් අනුභව නොකරයි. ගොඩමස් අනුභව නොකරයි. සුරාව නොබොයි. මේරය (මල්යුසින් කළ මත්පැන්) නොබොයි. කාඩිදිය නොබොයි හෙතෙම පිඬු සිඟීමට එකම ගෙයක් ඇත්තේ හෝ වෙයි. එකම බත් පිඩකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් දෙකක පිඬු සිඟන්නේ හෝ වෙයි. බත් පිඩු දෙකකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් සතක පිඬු සිඟන්නේ හෝ වෙයි. බත් පිඩු සතකින් යැපෙන්නේ හෝ වෙයි. එක් කුඩා බත් තැටියකින් යැපෙන්නේ හෝ වෙයි. බත් තැටි දෙකකින් යැපෙන්නේ හෝ වෙයි. බත් තැටි සතකින් යැපෙන්නේ හෝ වෙයි. එක දවසකට වරක් හෝ ආහාර ගනියි. දෙදිනකට වරක් හෝ ආහාර ගනියි. සත් දිනකට වරක් හෝ ආහාර ගනියි. මෙපරිද්දෙන් අඩමසකට වරක් හෝ ආහාර ගනිමින්ද වාර භොජනයෙහි යෙදී වාසය කරයි.

“හෙතෙම අමුපලා කන්නේ හෝ වෙයි. බඩහමු කන්නේ හෝ වෙයි. ඌරුහැල් (වනයෙහි ඉබේට හැදෙන වී වර්ගයක්) කන්නේ හෝ වෙයි. සම්කෑලි කන්නේ හෝ වෙයි. මැලියම් කන්නේ හෝ වෙයි. කුඩු අනුභව කරන්නේ හෝ වෙයි. දන්කුඩ කන්නේ හෝ වෙයි. තල ආදී මුරුවට කන්නේ හෝ වෙයි. ලා තණ කොළ කන්නේ හෝ වෙයි. වනමුල් ඵල ආහාර කොට ඇත්තේ ඉබේ වැටුණ ඵල අනුභව කරන්නේ හෝ යැපෙයි. හෙතෙම වැහැරිත් අඳියි. මිශ්‍ර වස්ත්‍රත් අඳියි. මිනියෙන් ඉවත්කළ වස්ත්‍රත් අඳියි. පාංශුකූල වස්ත්‍රත් අඳියි. ගස්වල පතුරුත් අඳියි. අඳුන්දිවි සම්ද දරයි, මැදින් පැලු අඳුන්දිවි සම්ද අඳියි. කුසතණ වැහැරිද අඳියි. නියඳ වැහැරිද අඳියි. පට්ටාද අඳියි. ඉසකේවලින් කළ කම්බිලිද දරයි. බකමුහුණු පිහාටුවලින් කළ වැහැරිද දරයි. ඉසකේ රැවුල් උගුල්ලන්නෙක් වෙයි. ඉසකේ රැවුල් ඉගිල්ලීමෙහි යෙදුනේ, ආසනවල වාඩි නොවන්නේ නැගිට සිටින්නේ වෙයි. උඩුකුරුව සිටීමේ වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ උඩුකුරුව සිටින්නේ වෙයි. කටු යහනෙහි හේත්තුවන්නේ වෙයි. කටු ඇතිරිලි මතුයෙහි සයනය කරයි. සවස තුන්වැනි කොට (දවසට තුන්වරක්) දියට බැසීමෙහි යෙදුනේ වාසය කරයි. මෙසේ නොයෙක් ආකාරයෙන් ශරීරය තවන පෙළන තපස්කම්වල යෙදී වාසය කරයි. හෙතෙම කය, බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ නපුරු ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නිරයෙහි උපදියි. මහණෙනි, මෙය වනාහි මෙලොව දුක් ඇති, මත්තෙහිද දුක් විපාක ඇති ධර්ම සමාදාන යයි කියනු ලැබේ.

Msdiv 471 “මහණෙනි, දැන් (මේ ජාතියෙහි) දුක්වූ, මත්තෙහි සැප විපාක ඇති ධර්ම සමාදානය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් ස්වභාවයෙන්ම තියුණුවූ, රාග ස්වභාව ඇත්තේවෙයි. හෙතෙම නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. ස්වභාවයෙන්ම බලවත් ද්වෙෂ ස්වභාව ඇත්තේ වෙයි. හෙතෙම නිතර ද්වෙෂයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. ස්වභාවයෙන්ම තියුණු මොහය ස්වභාව කොට ඇත්තේවෙයි, හෙතෙම නිතර මොහයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. හෙතෙම දුක් සහිතව, දොම්නස් සහිතව, කඳුලු වැකුණු මුහුණු ඇතිව, හඬමින් පිරිසිදුව බ්‍රහ්මචරියාව රකියි. හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි. මහණෙනි, මෙය මේ ආත්මයෙහි දුක්වූ, මත්තෙහි සැප විපාක ඇති ධර්ම සමාදාන යයි කියනු ලැබේ.

Msdiv 472 මහණෙනි, මේ ජාතියෙහිත් සැප ඇත්තාවූ, මත්තෙහිත් සැප විපාක ඇත්තාවූ, ධර්ම සමාදානය කවරේද? මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් ස්වභාවයෙන් තියුණු රාගස්වභාව නැත්තේ වේද, හෙතෙම නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් නොවිඳියි. ස්වභාවයෙන්ම තියුණු දොෂ ස්වභාව ඇත්තේ නොවෙයි. හෙතෙම නිතර ද්වෙෂයෙන් හටගත් දුක් දොම්නස් නොවිඳියි. ස්වභාවෙයන්ම තියුණු මොහ ස්වභාව නැත්තේ වෙයි. හෙතෙම නිතර මොහයෙන් හටගත් දුක් දොම්නස නොවිඳියි. හෙතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්වම, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.

“විතක්ත විචාර දෙක සංසිඳීමෙන් තමා තුළ මනා පැහැදීම ඇති කරන්නාවූ, හිත පිළිබඳ එකඟ බව ඇති විතක්ක විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.

“ප්‍රීතියෙහිද නොඇල්මෙන් උපෙක්ෂාව ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව උපෙක්ෂාවෙන් යුක්තවූයේ, සිහි ඇත්තේ, සැපයෙන් යුක්තව වාසය කරන්නේයයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.

“සැප දුරු කිරීමෙන්ද, දුක් දුරු කිරීමෙන්දපළමු කොටම සොම්නස් දොම්නස් දෙක දුරුකොට, දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්ෂා සිහි පිරිසිදු බව ඇති සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි. මහණෙනි, මේ වනාහි දැන්ද සැප ඇති, මත්තෙහිද සැප විපාක ඇති ධර්ම සමාදානයයි කියනු ලැබේ. මහණෙනි, සතර ධර්ම සමාදානයෝ මොහුය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

පස්වෙනිවූ චූල ධම්ම සමාදාන සූත්‍රය නිමි. (5-5)

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection