The Great Discourse on Taking Up Practices
Mahādhammasamādāna Sutta
PDFGenerated
While we all want to be happy, we often find the opposite happens. The Buddha explains why.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 5. චූල යමක වර්ගය 46. මහා ධම්ම සමාදාන සූත්‍රය Msdiv 473 මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජෙතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, බොහෝ සෙයින්ම සත්වයෝ, ‘අපට අයහපත් වූ, සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්මයෝ පිරිහෙන්නාහු නම්, යහපත්වූ, සිත් අලවන්නාවූ, මනාපවූ ධර්මයෝ විශෙෂයෙන් වැඩෙන්නාහු නම් හොඳය, යන කැමැත්ත ඇත්තෝය, ඡන්දය ඇත්තෝය. අදහස ඇත්තෝය, මහණෙනි, මෙසේ කැමැත්තාවූ, මෙබඳු අදහස් ඇත්තාවූ මෙබඳු බලාපොරොත්තු ඇත්තාවූ ඒ සත්වයන්හට අයහපත්වූ, සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්මයෝම වැඩෙති. යහපත්වූ, සිත් අලවන්නාවූ, මනාපවූ ධර්මයෝ පිරිහෙති. මහණෙනි, මීට හේතුව කුමකැයි තොප සිතන්නහුද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ ගෙන් පහළ වන්නාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහුය ස්වාමීනි, මේ කීමෙහි අර්ථය, භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය”යි (කීවාහුය.) “මහණෙනි, එසේ වීනම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.” “එසේය, ස්වාමීනි”යි ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
Msdiv 474 “මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් (බුද්ධාදී උත්තමයන්) නුවණැසින් නුදුටුවාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි අදක්ෂවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නුදුටුවාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, නූගත් පෘථග්ජනතෙම සේවනය කටයුතු ධර්මයන් නොදනියි. සේවනය නොකටයුතු ධර්මයන් නොදනී. භජනය කටයුතු ධර්මයන් නොදනියි, භජනය නොකටයුතු ධර්මයන් නොදනියි, සේවනය කළයුතු ධර්මයන් නොදන්නාවූ, සේවනය නොකළ යුතු ධර්මයන් නොදන්නාවූ, භජනය කටයුතු ධර්මයන් නොදන්නාවූ, භජනය නොකටයුතු ධර්මයන් නොදන්නාවූ, හෙතෙම සේවනය නොකටයුතු ධර්මයන් සේවනය කරයි, සේවනය කටයුතු ධර්මයන් සේවනය නොකරයි, භජනය නොකටයුතු ධර්මයන් භජනය කරයි, භජනය කටයුතු ධර්මයන් භජනය නොකරයි, සේවනය නොකටයුතු ධර්මයන් සේවනය කරන්නාවූ සේවනය කටයුතු ධර්මයන් සේවනය නොකරන්නාවූ භජනය නොකටයුතු ධර්මයන් භජනය කරන්නාවූ, භජනය කටයුතු ධර්මයන් භජනය නොකරන්නාවූ, ඔහුට අයහපත්වූ, සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්මයෝ වැඩෙති. යහපත්වූ, සිත් අලවන්නාවූ මනාපවූ ධර්මයෝ පිරිහෙති. ඊට හේතු කවරේද? මහණෙනි, අඥානයෙකුට වියයුතු පරිද්දෙන්ම එය එසේ වීමය.
“මහණෙනි, බුද්ධාදී ආර්‍ය්‍යයන් දක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි මනාව හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි මනාව හික්මුනාවූ, උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම, සේවනය කටයුතු ධර්මයන් දනියි. සේවනය නොකටයුතු ධර්මයන් දනියි, භජනය කළයුතු ධර්මයන් දනියි, භජනය නොකළයුතු ධර්මයන් දනියි, සේවනය කටයුතු ධර්මයන් දන්නාවූ, සේවනය නොකටයුතු ධර්මයන් දන්නාවූ, භජනය කටයුතු ධර්මයන් දන්නාවූ, භජනය නොකටයුතු ධර්මයන් දන්නාවූ, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සේවනය නොකටයුතු ධර්මයන් සේවනය නොකරයි. සේවනය කටයුතු ධර්මයන් සෙවනය කරයි. භජනය නොකටයුතු ධර්මයන් භජනය නොකරයි, භජනය කටයුතු ධර්මයන් භජනය කරයි, සේවනය නොකටයුතු ධර්මයන් සේවනය නොකරන්නාවූ, සේවනය කටයුතු ධර්මයන් සෙවණය කරන්නාවූ, භජනය කටයුතු ධර්මයන් භජනය කරන්නාවූ, භජනය නොකටයුතු ධර්මයන් භජනය නොකරන්නාවූ, ඔහුට අයහපත්වූ සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්මයෝ පිරිහෙත්. යහපත්වූ, සිත් අලවන්නාවූ මනාපවූ ධර්මයෝ විශෙෂයෙන් වැඩෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, නුවණැත්තෙකුට සිදු විය යුතු පරිද්දෙන්ම එය එසේ වීමය.
Msdiv 475 “මහණෙනි, ධර්ම සමාදානයෝ මේ සතර දෙනෙක් වෙත්. කවර සතරදෙනෙක්ද යත්: මහණෙනි, වර්තමානයෙහිත් දුක්වූද, අනාගතයෙහිත් දුක් විපාක දෙන්නාවූද, ධර්ම සමාදානයෙක් ඇත. මහණෙනි, වර්තමානයෙහි සැපවූ මත්තෙහි දුක් විපාක දෙන්නාවූ, ධර්ම සමාදානයෙක් ඇත්තේය. මහණෙනි වර්තමානයෙහි දුක්වූ, මත්තෙහි සැප විපාක දෙන්නාවූ, ධර්ම සමාදානයෙක් ඇත. මහණෙනි, වර්තමානයෙහි සැපවූද, මත්තෙහි සැප විපාක දෙන්නාවූද, ධර්ම සමාදානයෙක් ඇත.
Msdiv 476 “මහණෙනි, ඒ ධර්ම සමාදානයන් අතුරෙහි වර්තමානයෙහි දුක්වූද, මත්තෙහි දුක් විපාක දෙන්නාවූද, යම් මේ ධර්ම සමාදානයක් වේද, ඒ ධර්ම සමාදානය අඥානවූ, අවිද්‍යාවෙන් යුක්තවූ, පුද්ගලතෙම, ‘මේ ධර්ම සමාදානය වනාහි, මට දැනුත් දුක්වූද, මත්තෙහිත් දුක් දෙන්නාවූද, එකකැ’යි ඇති සැටියෙන් නොදනියි. අඥානවූ, අවිද්‍යාවෙන් යුක්තවූ පුද්ගලතෙම ඒ ධර්ම සමාදානය ඇති සැටියෙන් නොදන්නේ, ඒ ධර්මය සෙවනය කරයි. ඒ ධර්මය බැහැර නොකරයි. ඒ ධර්මය සෙවනය කරන්නාවූ, ඒ ධර්මය නොහරින්නාවූ, ඔහුට අයහපත්වූ, සිත් නොඅලවන්නාවූ අමනාපවූ ධර්මයෝ වැඩෙත්. යහපත්වූ, සිත් අලවන්නාවූ මනාපවූ, ධර්මයෝ පිරිහෙත්. ඊටහේතු කවරේද? මහණෙනි, නුවණ නැත්තෙකුට වියයුතු පරිද්දෙන්ම ඒ එසේ වීමය.
“මහණෙනි, ඒ ධර්ම සමාදානයන් අතරෙහි වර්තමානයෙහි සැපවූද, මත්තෙහි දුක් විපාකවූද, යම් මේ ධර්ම සමාදානයක් වේද, එය අඥානවූ අවිද්‍යාවෙන් යුත් පුද්ගලතෙම ‘මේ ධර්ම සමාදානය මට වර්තමානයෙහි සැපද, මත්තෙහි දුක් විපාකද දෙන්නේය’යි ඇති සැටියෙන් නොදනියි. අඥානවූ, අවිද්‍යාවෙන් යුක්තවූ පුද්ගලතෙම එය ඇති සැටියෙන් නොදන්නේ, ඒ ධර්මය සෙවනය කරයි. ඒ ධර්මය නොහරියි. ඒ ධර්මය සෙවනය කරන්නාවූ ඒ ධර්මය අත් නොහරින්නාවූ ඔහුට යහපත්වූ සිත් නොඅලවන්නාවූ අමනාපවූ ධර්මයෝ වැඩෙත්. යහපත්වූ, සිත් අලවන්නාවූ මනාපවූ ධර්මයෝ පිරිහෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, නුවණ නැත්තෙකුට වියයුතු පරිද්දෙන්ම ඒ එසේ වීමයි.
(මෙහි කොටසක් අඩුය)
Msdiv 477 (මෙහි කොටසක් අඩුය)
“මහණෙනි, ඒ ධර්ම සමාදාන අතරෙහි වර්තමානයෙහි දුක්වූද, මත්තෙහි සැප විපාක ඇත්තාවූද, යම් මේ ධර්ම සමාදානයක් වේද, එය නුවණ ඇත්තාවූ අවිද්‍යාවෙන් තොරවූ පුද්ගල තෙම ‘මේ ධර්ම සමාදානය මට වර්තමානයෙහි දුකද, මත්තෙහි සැප විපාකද දෙන්නේය’යි ඇති සැටියෙන් දනියි. නුවණ ඇත්තාවූ අවිද්‍යාවෙන් තොරවූ පුද්ගලතෙම එය ඇති සැටියෙන් දන්නේ, සෙවනය කරයි. ඒ ධර්මය නොහරියි. ඒ ධර්මය සෙවනය කරන්නාවූ, ඒ ධර්මය නොහරින්නාවූ ඔහුට අයහපත්වූ සිත් නොඅලවන්නාවූ, අමනාපවූ ධර්මයෝ පිරිහෙත්. යහපත්වූ සිත් අලවන්නාවූ මනාපවූ ධර්මයෝ වැඩෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, නුවණ ඇත්තාට සිදුවිය යුතු පරිද්දෙන්ම ඒ එසේ වීමයි.
“මහණෙනි, ඒ ධර්ම සමාදාන අතරෙහි වර්තමානයෙහි සැපවූද මත්තෙහි සැප විපාක දෙන්නාවූද යම් මේ ධර්ම සමාදානයක් වේද, එය නුවණ ඇත්තාවූ අවිද්‍යාවෙන් තොරවූ පුද්ගල තෙම ‘මේ ධර්ම සමාදානය මට වර්තමානයෙහි සැපද මත්තෙහි සැප විපාකද දෙන්නේය’යි ඇති සැටියෙන් දනියි. නුවණ ඇත්තාවූ අවිද්‍යාවෙන් තොරවූ පුද්ගලතෙම එය ඇතිසැටියෙන් දන්නේ සේවනය කරයි. ඒ ධර්මය නොහරියි. ඒ ධර්මය සේවනය කරන්නාවූ, ඒ ධර්මය නොහරින්නාවූ ඔහුට අයහපත්වූ, සිත් නොඅලවන්නාවූ අමනාපවූ ධර්මයෝ පිරිහෙත්. යහපත්වූ, සිත් අලවන්නාවූ, මනාපවූ ධර්මයෝ වැඩෙත්. ඊට හේතු කවරේද? නුවණ ඇත්තාහට වියයුතු පරිද්දෙන්ම එය එසේ වීමයි.
Msdiv 478 “මහණෙනි, වර්තමානයෙහි දුක්වූද, මත්තෙහි දුක් විපාක දෙන්නාවූද, ධර්ම සමාදානය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි සමහර සත්වයෙක් තෙම දුකින් යුක්තවම දොම්නසින් යුක්තවම, සතුන් මරන්නේ වෙයි. සතුන් මැරීම හේතුකොට ගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, නුදුන් දෙය ගනියි. නුදුන් දෙය ගැනීම හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි. කාමයෙහි වරදවාහැසිරීම හේතුකොටගෙන දුක්දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, බොරුකියන්නේ වෙයි. බොරුකීම හේතු කොට ගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, කේලාම් කියයි. කේලාම් කීම හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, ඵරුෂ වචන කියයි. ඵරුෂ වචන කීම හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, හිස් බස් කියන්නේ වෙයි. හිස් බස් කීම හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, විෂම ලොභ ඇත්තේ වෙයි. විෂම ලොභය හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, ව්‍යාපාද සිත් ඇත්තේ වෙයි. ව්‍යාපාදය හේතු කොට ගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, මිසදිටු වෙයි. මිසදිටු බව හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. ඒ දුක් දොම්නස් විඳින්නාවූ, සත්ත්වතෙම, කය බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුක් ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපදියි. මහණෙනි, මේ වනාහි වර්තමානයෙහි දුක්වූද, අනාගතයෙහි දුක් විපාක දෙන්නාවූද, ධර්ම සමාදානයයි කියනු ලැබේ.
Msdiv 479 මහණෙනි, වර්තමානයෙහි සැපවූද, මත්තෙහි දුක් විපාක දෙන්නාවූද ධර්ම සමාදානය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැපයෙන් යුක්තවම, සොම්නසින් යුක්තවම, සතුන් මරන්නේ වෙයි. සතුන් මැරීම හේතුකොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම, සොම්නසින් යුක්තවම සොරකම් කරන්නේ වෙයි. සොරකම් කිරීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම සොම්නසින් යුක්තවම කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි. කාමයන්හි වරදවා හැසිරීම හේතුකොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම සොම්නසින් යුක්තවම බොරු කියන්නේ වෙයි. බොරු කීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම, සොම්නසින් යුක්තවම කේලාම් කියන්නේ වෙයි. කේලාම් කීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම සොම්නසින් යුක්තවම ඵරුෂ වචන කියන්නේ වෙයි. ඵරුෂ වචන කීම හේතුකොටගෙන සැපයක් සොම්නසක් විඳින්නේ වෙයි. සැපයෙන් යුක්තවම, සොම්නසින් යුක්තවම හිස් කථා කියන්නේ වෙයි. හිස් කථා කීම හේතුකොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම සොම්නසින් යුක්තවම දැඩි ලොභ ඇත්තේ වෙයි. දැඩි ලොභය හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම සොම්නසින් යුක්තවම ව්‍යාපාද සිත් ඇත්තේ වෙයි. ව්‍යාපාදය හේතු කොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම සොම්නසින් යුක්තවම මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි. මිථ්‍යාදෘෂ්ටිය හේතු කොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුක් ඇති, යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපදියි. මහණෙනි, මේ වනාහි වර්තමානයෙහි සැපවූද, මත්තෙහි දුක් විපාක දෙන්නාවූද, ධර්ම සමාදානයයි කියනු ලැබේ.
Msdiv 480 “මහණෙනි, වර්තමානයෙහි දුක්වූ, මත්තෙහි සැප විපාක දෙන්නාවූ, ධර්ම සමාදානය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම, දුකින් යුක්තවම, දොම්නසින් යුක්තවම, සතුන් මැරීමෙන් වැළකුනේ වෙයි. සතුන් මැරීමෙන් වැළැක්ම හේතුකොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම සොරකම් කිරීමෙන් වැළකුනේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකීම හේතුකොට ගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම හේතුකොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම බොරු කීමෙන් වැලකුනේ වෙයි. බොරු කීමෙන් වැලකීම හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැලකීම හේතුකොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම ඵරුෂ වචන කීමෙන් වැලකුනේ වෙයි. ඵරුෂ වචන කීමෙන් වැලකීම හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම හිස් කථා කීමෙන් වැලකුනේ වෙයි. හිස් කථා කීමෙන් වැලකීම හේතුකොට ගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම දැඩි ලොභය දුරු කළේ වෙයි. දැඩි ලොභය දුරු කිරීම හේතු කොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම ව්‍යාපාදයෙන් වැළකුනේ වෙයි. ව්‍යාපාදයෙන් වැළකීම හේතුකොටගෙන දුක් දොම්නස් විඳියි. දුකින් යුතුවම දොම්නසින් යුතුවම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. සම්‍යක් දෘෂ්ටිවීම හේතු කොට ගෙන දුක් දොම්නස් විඳියි. හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදියි. මහණෙනි, මේ වනාහි වර්තමානයෙහි දුක්වූ, මත්තෙහි සැප විපාක දෙන්නාවූ ධර්ම සමාදානය යයි කියනු ලැබේ.
Msdiv 481 “මහණෙනි, වර්තමානයෙහි සැපවූ මත්තෙහිද සැප විපාක දෙන්නාවූ ධර්ම සමාදානය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම සතුන් මැරීමෙන් වැලකුනේ වෙයි. සතුන් මැරීමෙන් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම සොරකමින් වැලකුනේ වෙයි. සොරකමින් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකුනේ වෙයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැලකීම හේතුකොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම බොරු කීමෙන් වැලකුනේ වෙයි. බොරු කීමෙන් වැලකීම හේතු කොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම කේලාම් කීමෙන් වැලකුනේ වෙයි. කේලාම් කීමෙන් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම ඵරුෂ වචනයෙන් වැලකුනේ වෙයි. ඵරුෂ වචනයෙන් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම හිස් කථා කීමෙන් වැලකුනේ වෙයි. හිස් කථා කීමෙන් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම දැඩි ලොභයෙන් වෙන්වූයේ වෙයි. දැඩි ලොභයෙන් වැලකීම හේතු කොටගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුතුවම සොම්නසින් යුතුවම ව්‍යාපාදයෙන් වෙන්වූයේ වෙයි. ව්‍යාපාදයෙන් වෙන්වීම හේතු කොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. සැපයෙන් යුක්තවම සොම්නසින් යුතුවම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. සම්‍යක්දෘෂ්ටිය හේතු කොට ගෙන සැපයක් සොම්නසක් විඳියි. හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදියි. මහණෙනි, මේ වනාහි වර්තමානයෙහි සැපවූද, මත්තෙහි සැප විපාක දෙන්නාවූද, ධර්ම සමාදානයයි කියනු ලැබේ. මහණෙනි, ධර්ම සමාදානයෝ සතරදෙන මොහුය.
Msdiv 482 “මහණෙනි, විෂ මිශ්‍රකළ තිත්ත ලබුගෙඩියක් වෙයිද, ජීවත්වනු කැමති, සැප කැමති, දුකට පිළිකුල් කරන්නාවූ, පුරුෂයෙක් තෙම එන්නේය. ඒ පුරුෂයාහට ‘එම්බා පුරුෂය, මේ තිත්ත ලබු ගෙඩිය විෂයෙන් යුක්තය. ඉදින් කැමැත්තෙහි නම්, පානය කරව, පානය කරන්නාවූ, ඒ තට වර්ණයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද සතුටක් නොවන්නේය, පානය කොටද වනාහි, මරණයට හෝ පැමිණෙන්නෙහිය. මරණය හා සමානවූ දුකට හෝ පැමිණෙන්නෙහියැ’යි කියන්නාහුය. හෙතෙම ඒ වචනය, නොසලකා පානය කරන්නේය. අත්නොහරින්නේය. එය පානය කරන්නාවූ ඔහුට වර්ණයෙන්ද ගන්ධයෙන්ද, රසයෙන්ද, සතුටක් නොවන්නේය. පානය කොටද වනාහි මරණයට හෝ පැමිණෙන්නේය. මරණය හා සමානවූ දුකට හෝ පැමිණෙන්නේය. මහණෙනි, වර්තමානයෙහි දුක්වූද, මත්තෙහි දුක් විපාක දෙන්නාවූද යම් මේ ධර්ම සමාදානයක් වේද, ඒ මේ ධර්ම සමාදානය මම ඊට උපමා කරමි.
Msdiv 483 “මහණෙනි, වර්ණයෙන් යුක්තවූ, ගන්ධයෙන් යුක්තවූ, රසයෙන් යුක්තවූ, පානය කළ යුතු මධුර පානයෙන් යුක්තවූ, රන්තලියක් වේද, ඒ රන්තලිය වනාහි, යම්සේ විෂයෙන් මිශ්‍ර කරන ලද්දේ වේද, එකල්හි ජීවත්වනු කැමැති දුක පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේය. ඒ පුරුෂයාට, ‘එම්බා පුරුෂය, වර්ණ සම්පන්නවූ සුවඳින් යුක්තවූ, රසයෙන් යුක්තවූ, මිහිරි පැන්වලින් යුක්තවූ රන් භාජනයක් වේ, ඒ රන් භාජනය විෂයන් මිශ්‍ර කරන ලද්දේය. ඉදින් කැමැත්තෙහි නම් පානය කරව, පානය කරන්නාවූ ඒ තට වර්ණයෙන්ද, සුවඳින්ද, රසයෙන්ද සතුට ඇතිවෙයි. බීමෙන් පසු මරණයට හෝ පැමිණෙන්නෙහිය, මරණය සමාන දුකට හෝ පැමිණෙන්නෙහිය’යි කියන්නාහුය. හෙතෙම ඒ වචනය නොසලකා පානය කරන්නේද, අත්නොහරින්නේද, එය පානය කරන්නාවූ ඔහුට වර්ණයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද සතුට ඇතිවෙයි. පානය කොට මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය. මහණෙනි, වර්තමානයෙහි සැපවූද, මත්තෙහි දුක් විපාක දෙන්නාවූද, යම් මේ ධර්ම සමාදානයක් වේද, මෙය ඊට උපමා කොට කියමි.
Msdiv 484 “මහණෙනි, තරුණ වස්සන්ගේ මුත්‍ර අරළු, නෙල්ලි ආදී නොයෙක් ඖෂධයන් ගෙන් මිශ්‍ර කරණ ලද්දේ වේද, ඉක්බිත්තෙන් පාණ්ඩු රොගයෙන් පෙළෙන පුරුෂයෙක් එන්නේවේද, ඒ ඔහුට මෙසේ කියන්නේය. ‘එම්බා පුරුෂය, මේ ගොමුත්‍රය නොයෙක් බෙහෙත්වලින් මිශ්‍රකරන ලද්දේවේ. ඉදින් කැමැත්තෙහි නම් බොව. බොන්නාවූ තට වර්ණයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද සතුටක් නොවන්නේය. පානය කළායින් පසු සුවපත් වන්නෙහිය (කියායි.) හෙතෙම නුවණින් සලකා එය පානය කරන්නේය, නොහරින්නේය. ඔහුට එය පානය කරන කල්හි වරණයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද සතුටක් නොවන්නේය. පානය කිරීමෙන් පසු සුවපත් වන්නේය. මහණෙනි, වර්තමානයෙහි දුක්වූද, මත්තෙහි සැප විපාක දෙන්නාවූද, යම් ධර්ම සමාදානයක් වේද, මෙය ඊට උපමාකොට කියමි.
Msdiv 485 “මහණෙනි, දීද, මීද, ගිතෙල්ද, උක්සකුරුද, යම්සේ එකට මිශ්‍රකරන ලද්දේ වේද, ඉක්බිති, පිත්ත අතීසාරයෙන් පෙළෙන පුරුෂයෙක් තෙම එන්නේද, ඒ පුරුෂයාහට මෙසේ කියන්නාහුය. ‘එම්බා පුරුෂය, මේ ඖෂධය දීකිරිද, මීපැණි, ගිතෙල්ද, උක්සකුරුද එකට මිශ්‍ර කරන ලද්දේය. ඉදින් කැමැත්තෙහි නම් පානය කරව පානය කරන්නාවූ, ඒ තට වර්ණයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද සතුටත් වන්නේය, පානය කළපසු සුවපත් වන්නෙහිය, හෙතෙම නුවණින් සලකා එය පානය කරන්නේය, පානය කරන කල්හි වර්ණයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද ඔහුට සතුටක් ගෙන දෙන්නේය. පානය කිරීමෙන් පසු සුවපත් වන්නේය. මහණෙනි, වර්තමානයෙහි සැපවූද, මත්තෙහිද සැප විපාක දෙන්නාවූද, යම් මේ ධර්ම සමාදානයක් වේද, ඒ මේ ධර්ම සමාදානය මම ඊට උපමාකර කියමි.
Msdiv 486 “මහණෙනි, වර්ෂා ඍතුවෙහි, අන්තිම මාසයෙහි හෙවත්, ඉල් මසෙහි සරත්කාලයෙහි අහසෙහි වැහි වලාකුළු නැතිවී ගිය කල්හි සූර්‍ය්‍යයා අහසට නැගී අහසෙහි සියලු අන්ධකාරය මැඩගෙන යම්සේ බබලන්නේ වේද, විශෙෂයෙන් බබලන්නේ වේද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි, වර්තමානයෙහි සැපවූද, මත්තෙහි සැප විපාක ගෙනදෙන්නාවූද, යම් ඒ ධර්ම සමාදානයක් වේද, ඒ මේ ධර්ම සමාදානය අන්‍යවාදී බාහිරවූ බොහෝ මහණ බමුණන් මැඩ, බබලන්නේ වෙයි, දීප්තිමත් වන්නේ වෙයි, අතිශයින් බබලන්නේද වේය”යි වදාළහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.
හයවෙනිවූ මහා ධම්ම සමාදාන සූත්‍රය නිමි. (5-6)
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source