The Inquirer
Vīmaṁsaka Sutta
PDFGenerated
While some spiritual teachers prefer to remain in obscurity, the Buddha not only encouraged his followers to closely investigate him, but gave them a detailed and demanding method to do so.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 5. චූල යමක වර්ගය 47. වීමංසක සූත්‍රය Msdiv 487 මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීන්වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පරසිත් නොදන්නාවූ විමසන භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධද? නැද්ද? යි දැනගනු සඳහා තථාගතයන් වහන්සේ පිළිබඳව විමසා බැලිය යුතුය.”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ වෙතින් පහළ වන්නාහ, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. ස්වාමීනි, මේ වචනයෙහි අර්ථයද භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය.” “මහණෙනි, එසේවීනම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.” “එසේය, ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
Msdiv 488 “මහණෙනි, පරසිත් නොදන්නාවූ, විමසන්නාවූ භික්ෂුව විසින් ධර්ම දෙකක් පිළිබඳව සර්වඥයන් වහන්සේ පරීක්ෂා කටයුතුයි. (එනම්) ඇසින් හා කණින් (දැකීමෙන් හා ඇසීමෙන්) දතයුතු ධර්මයන්හිය. ඇසින් හා කණින් දතයුතුවූ ක්ලෙශ සහගත යම් ධර්ම වෙත්නම්, ඒ ධර්ම තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි විමසිය යුතුය. ඒ මේ කාරණය විමසන්නාවූ භික්ෂුව මෙසේ දැනගනියි. (එනම්) ඇසින් හා කණින් (දැකීමෙන් හා ඇසීමෙන්) දතයුතුවූ කෙලෙස් සහගත ධර්ම තථාගතයන් වහන්සේට නැත කියාය. යම් විටෙක එසේ විමසා බලන්නේ ඇසින් හා කණින් දතයුතුවූ, කෙලෙස් සහගත ධර්ම තථාගතයන් වහන්සේට නැතැයි දකීද, ඉක්බිති තව දුරටත් විමසා බලන්නේය. ඇසින් හා කණින් දත යුතුවූ මිශ්‍රවූ යම් ධර්ම (කලකදී හොඳ, කලකදී නරක ක්‍රියා හා වචන) වෙත් නම් ඒවා තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි පරීක්ෂා කරන්නේය. ඒ කාරණය පරීක්ෂා කරන්නාවූ භික්ෂුව මෙසේ දැනගනියි. (එනම්) මිශ්‍රවූ යම් ධර්ම වෙත් නම් ඒ ධර්ම තථාගතයන් වහන්සේට නැත කියාය. යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ හොඳ නරක මිශ්‍ර ධර්ම තථාගතයන් වහන්සේට නැතැයි දැන ගනීද, ඉක්බිති තවදුරටත් සෝදිසි කරන්නේය.
“ඇසින් හා කණින් දතයුතුවූ යම් පිරිසිදු (කෙලෙස් රහිත) ධර්ම කෙනෙක් වෙත්නම් ඒවා තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි විමසා බලන්නේය. ඒ කාරණය පරීක්ෂා කරන භික්ෂුව මෙසේ දැන ගනියි. (එනම්) පිරිසිදුවූ (කෙලෙස් රහිත) යම් ධර්ම වෙත්නම් ඒ ධර්ම තථාගතයන් වහන්සේට ඇත කියාය. යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ පිරිසිදුවූ ධර්ම තථාගතයන් වහන්සේට ඇතැයි දැනගනීද ඉක්බිති තව දුරටත් පරීක්ෂා කරන්නේය.
“මේ පින්වත් තෙමේ (බුදුන් වහන්සේ) බොහෝ කලක් මුළුල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේද නැතහොත් සුලු කාලයක් තුළ එයින් යුක්ත වූයේදැයි පරීක්ෂා කරන්නේය. ඒ මේ කාරණය පරීක්ෂා කරන භික්ෂුව මෙසේ දැන ගනියි. (එනම්) මේ පින්වත් තෙමේ බොහෝ කලක් මුළුල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේය. සුලු කාලයක් තුළ නොවේ කියාය. යම් විටෙක එසේ පරීක්ෂා කරන්නේ මේ පින්වත් තෙමේ බොහෝ කාලයක් මුළුල්ලෙහි මේ කුසල ධර්මයෙන් යුක්ත වූයේය, සුලු කාලයක් තුළ නොවේයැයි දැන ගනීද, ඉක්බිති තව දුරටත් පරීක්ෂා කරන්නේය.
“මේ පින්වත් භික්ෂුව ප්‍රසිද්ධ බවට පැමිණියේය. පිරිවර ආදී යසසට පැමිණියේය. ඔහුට මේ ලෝකයෙහි යම් යම් දොස් ඇත්දැයි පරීක්ෂා කරන්නේය. මහණෙනි, මේ ශාසනයෙහි (භික්ෂුව) යම්තාක් ප්‍රසිද්ධ බවට නොපැමිණියේ වේද, පරිවාර සම්පත්තියට නොපැමිණියේවේද, ඒතාක් ඔහුට යම් යම් දොෂයෝ ඇති නොවෙත්. මහණෙනි, යම් තැනක පටන් මහණතෙම ප්‍රසිද්ධියට පැමිණියේද, පිරිවර ආදි සම්පත්තියට පැමිණියේද, එවිට ඔහුට මේ ලෝකයෙහි යම් යම් දොෂයෝ ඇතිවෙත්. ඒ මේ කාරණය පරීක්ෂා කරන්නේ මෙසේ දනියි. මේ ආයුෂ්මත් භික්ෂු තෙමේ ප්‍රසිද්ධ බවට පැමිණියේය. ඔහුට මෙහි යම් යම් දෝෂ නැතැයි කියාය. යම්විටෙක එසේ පරීක්ෂා කරන්නේ මෙසේ දනීද, මේ ආයුෂ්මත් භික්ෂු තෙමේ ප්‍රසිද්ධ බවට පැමිණියහ. පිරිවර ආදි සම්පත්තියට පැමිණියේය. මේ ලොකයෙහි ඔහුට යම් යම් දොෂයෝ නැතැයි දැනගනීද, ඉක්බිති තව දුරටත් පරීක්ෂා කරන්නේය.
“මේ ආයුෂ්මත් තෙම නිර්භය වූයේද, මේ ආයුෂ්මත් තෙම භයින් යුක්ත වූයේ නොවේද, රාගය නැති කිරීමෙන් පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරන්නේද? කියා පරීක්ෂා කරන්නේය. ඒ මේ කාරණය පරීක්ෂා කරන්නේ මෙසේ දනියි. මේ ආයුෂ්මත් තෙම නිර්භය වූයේය. භයින් යුක්තවූයේ නොවෙයි, පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරයි. (කියා දැනගනියි) මහණෙනි, අන්‍යයෝ ඒ භික්ෂුවගෙන් මෙසේ විචාරන්නාහුය. ‘මේ පින්වත් තෙමේ නිර්භය වූයේ, භයින් යුක්ත වූයේ නොවෙයි, රාගය නැතිකිරීමෙන් පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරයි කියා කියන්නට ආයුෂ්මතුන්හට ඇති කාරණයෝ කවරහුද? අනුමාන කල්පනා කවරහුදැ’යි (අසන්නාහුය) මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ ඒ මහණ තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘මේ ආයුෂ්මත් තෙමේ සමූහයා අතරෙහි වාසය කරන්නේ හෝ වේද, තනිව වාසය කරන්නේ හෝ වෙයිද, එහි යම් මනාව පිළිපදින පුද්ගලයෝ වෙත්ද, නොමනාව පිළිපදින පුද්ගලයෝ වෙත්ද, සමූහයා පිරිවරා සිටින පුද්ගලයෝ වෙත්ද, ආහාර පාන ආදි ආමිසයන්හි ගිජුව වාසය කරන්නෝ වෙත්ද, ආමිසයන්හි නොඇලී වාසය කරන්නෝ වෙත්ද, මේ ආයුෂ්මත් තෙම, ඒ ඒ කාරණය නිසා ඒ ඒ පුද්ගලයාට අවමන් නොකරයි. ‘මම නිර්භය වෙමි. මම භයින් යුක්තවූයේ නොවෙමි. රාගය නැති කිරීමෙන් පහවූ රාග ඇති බැවින් කාමයන් සේවනය නොකරමි’යි යන මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වෙතින්ම අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් පිළිගන්නා ලදී.
Msdiv 489 “මහණෙනි, එහිලා, ඇසින් හා කණින් දතයුතු යම් ලාමක ධර්මකෙනෙක් වෙත්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි තථාගතයන් වහන්සේගෙන්ම ඇසිය යුතුය. ප්‍රකාශ කරන්නාවූ තථාගත තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය.
“ඇසින් හා කණින් දතයුතුවූ යම් කෙලෙස් සහිත ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට නැත. ඇසින් හා කණින් දතයුතුවූ යම් මිශ්‍රවූ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි (තථාගතයන් වහන්සේ ගෙන් ම ඇසිය යුතුය) ප්‍රකාශ කරන්නාවූ තථාගත තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇසින් හා කණින් දත යුතුවූ යම් මිශ්‍රවූ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට නැත’ (කියාය.) ඇසින් හා කණින් දතයුතුවූ යම් පිරිසිදුවූ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද, නැද්දැයි (තථාගතයන් වහන්සේ ගෙන්ම ඇසියයුතුයි) ප්‍රකාශ කරන්නාවූ, තථාගතතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇසින් හා කණින් දතයුතුවූ පිරිසිදුවූ යම් ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයෝ තථාගතයන් කෙරෙහි වෙති’ (කියාය.) මම මේ ආජීවාෂ්ටමක ශීලය මාර්ගකොට ඇත්තේ වෙමි. මේ ආජීවාෂ්ටමක ශීලය ගොචර කොට ඇත්තේ වෙමි. ඒ පිරිසිදු ශීලයෙන් තෘෂ්ණා සහිත නොවෙමි. මහණෙනි, මෙසේ කියන්නාවූ ශාස්තෲන් වහන්සේ කරා ශ්‍රාවක තෙම, බණ ඇසීම පිණිස යන්නට සුදුසුය. ශාස්තෲන් වහන්සේ ඔහුට අතිශයින් ශ්‍රෙෂ්ඨවූ, අතිශයින් ප්‍රණීතවූ කුසලාකුසල ධර්ම විභාග සහිතවූ, ධර්මය දෙශනා කරති. මහණෙනි, ශාස්තෲන්වහන්සේ භික්ෂුවහට අතිශයින් ශ්‍රෙෂ්ඨවූ, අතිශයින් ප්‍රණීතවූ කුසලාකුසල විපාක විභාග සහිතවූ, ධර්මය යම් යම් ආකාරයකින් දෙසනා කෙරේද, ඒ ඒ ආකාරයෙන් හෙතෙම ඒ දෙශනාකළ ධර්මය දැන ඒ ධර්මයන් අතුරෙන් එක් ධර්මයක් දැන, ධර්මයන්හි නිෂ්ඨාවට පැමිණෙයි. භාග්‍යවතුන් වහන්සේ සියල්ල මනාව තෙමේම අවබොධකළ උත්තමයායි කියාද, භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරනලදයයි කියාද, ආර්‍ය්‍ය සංඝතෙම මනාව පිළිපන්නේයයි කියාද, ශාස්තෲන් වහන්සේ කෙරෙහි පහදියි.
“මහණෙනි, අන්‍යයෝ ඒ භික්ෂුවගෙන් මෙසේ විචාරන්නාහුය. (එනම්) ‘ආයුෂ්මත් තෙමේ, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට ප්‍රකාශ කරන ලද්දේය. සංඝතෙම මනාව පිළිපන්නේය යි මෙසේ කියන්නෙහිය. ආයුෂ්මත්හට එසේ කීමට ඇති අනුමාන කල්පනා කවරහුද?’ මහණෙනි, මනාකොට, ප්‍රකාශ කරන්නාවූ, මහණතෙම, මෙසේ කියන්නේය. ඇවැත්නි, මෙහි මම ධර්මශ්‍රවණය පිණිස භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියෙමි. භාග්‍යවතුන් වහන්සේ ඒ මට අතිශයින් ශ්‍රෙෂ්ඨවූ අතිශයින් ප්‍රණීතවූ කුසලාකුසල ධර්ම විභාග සහිතවූ, ධර්මය දෙශනා කරන සේක. ඇවැත්නි, යම් යම් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ අතිශ්‍රෙෂ්ඨවූ, අතිශයින් ප්‍රණීතවූ, කුසලා කුසල ධර්ම විභාග විපාක දැක්වීම් සහිතවූ, ධර්මය දෙශනා කරත්ද, ඒ ඒ පරිද්දෙන් මම ඒ දෙශනා කළ ධර්මය දැන, ඒ ධර්ම අතුරෙන් එක්තරා ධර්මයක් දැන ධර්මයන්හි නිමාවට පැමිණියෙමි. භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරනලදී. සංඝතෙම, මනාව පිළිපන්නේයයි ශාස්තෲන්වහන්සේ කෙරෙහි පැහැදුනෙමියි, (කියන්නේය.)
Msdiv 490 “මහණෙනි, යම් කිසිවෙකුට, ශාස්තෲන්වහන්සේ පරීක්ෂා කරන මේ ක්‍රමවලින්, මේ පදවලින්, මේ ව්‍යඤ්ජනවලින් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියාද, (සෝවාන් මාර්ගයට පැමිණීම් වශයෙන්) හටගත් මුල් ඇත්තීද, මහණෙනි, මේ ශ්‍රද්ධාව වනාහි කරුණු සොයා පිළිගත් හෙයින් කරුණු සහිතයයිද සෝවාන්මාර්ගය මුල්කොට ඇත්තීයයිද, ස්ථිරයයිද, ශ්‍රමණයෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලොකයෙහි කිසිවෙකු විසින් හෝ පැහැරගත නොහැකියයිද කියනු ලැබේ. මහණෙනි, මෙසේ වනාහි, තථාගතයන් වහන්සේ පිළිබඳ ඇති සැටියෙන් කරුණු සෙවීම වෙයි. මෙසේ වනාහි, තථාගතතෙම, ඇති සැටියෙන් මනාව පරීක්ෂා කරන ලද්දේ වේ” යයි වදාළහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.
හත්වෙනිවූ වීමංසක සූත්‍රය නිමි. (5-7)
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source