LibraryMNMN 48
MN 4815 min read

The Mendicants of Kosambī

Kosambiya Sutta

20
PDFGenerated
01 · Overview

Despite the Buddha’s presence, the monks of Kosambī fell into a deep and bitter dispute. The Buddha taught the reluctant monks to develop love and harmony, reminding them of the state of peace that they sought.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 5. චූල යමක වර්ගය 48. කොසම්බිය සූත්‍රය Msdiv 491 මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොසිත නම්වූ ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි කොසඹෑ නුවර භික්ෂූහු හටගත් ඩබර ඇතිව, හටගත් කෝලාහල ඇතිව, විවාද කර ගනිමින් එකිනෙකා වචන නමැති ආයුධවලින් ඇනගනිමින් වාසය කරති. ඔවුහු එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරති. පැහැදිලි කළත් නොපිළිගනිති.

ඉක්බිති එක්තරා භික්ෂුවක්තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, මෙහි කොසඹෑ නුවර භික්ෂූහු හටගත් ඩබර ඇතිව, හටගත් කොලාහල ඇතිව, විවාද කරගනිමින් එකිනෙකා වචන නමැති ආයුධ වලින් ඇනගනිමින් වෙසෙත්. ඔවුහු එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරති. පැහැදිලි කළත් නොපිළි ගනිති.” ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවූහ. “මහණ මෙහි එව, තොප මාගේ වචනයෙන් ශාස්තෲන් වහන්සේ ආයුෂ් මතුන් කැඳවන්නා හුයයි ඒ භික්ෂූන් කැඳවව”යි (කීහ.) “එසේය ස්වාමීනි”යි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තරදී ඒ භික්ෂූන් යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් ඒ භික්ෂුන්හට “ශාස්තෲන් වහන්සේ ආයුෂ් මතුන් කැඳවන්නාහ”යි කීයේය. “එසේය ඇවැත්නි”යි භික්ෂුහු ඒ භික්ෂූවට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක පැත්තක උන්නාහුය. එක පැත්තක උන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “මහණෙනි, තෙපි හට ගත් ඩබර ඇත්තාහු, හටගත් කොලාහල ඇත්තාහු, විවාද කරගන්නාහු, එකිනෙකාට වචන නමැති ආයුධවලින් විදගනිමින් වාසය කරන්නාහුය. ඒ තොප එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරන්නාහුය. පැහැදිලි කළත් නොපිළිගන්නාහුය. යනු සැබෑද?” (යි ඇසූහ)

“එසේය, ස්වාමීනි”

“මහණෙනි, තොපි යම් කලෙක හටගත් ඩබර ඇත්තාහු හටගත් කොලාහල ඇත්තාහු. විවාද කරගන්නාහු එකිනෙකා වචන නැමැති ආයුධ වලින් විදගනිමින් වාසය කරත් නම් එකල්හි, සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි. ඇති තැනද, නැති තැනද, මෛත්‍රී සහගත කාය කර්මය (කයින් කරන ක්‍රියා) එළඹ සිටියේයයි හෝ, සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ඇති තැනද, නැති තැනද මෛත්‍රී සහගත වචනය එළඹ සිටියේයයි හෝ, සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ඇති තැනද, නැති තැනද, මෛත්‍රී සහගත හිත එළඹ සිටියේයයි හෝ සිතන්නහුද?”

“නැත ස්වාමීනි”

“මහණෙනි, මෙසේ වනාහි තොපි යම් කලෙක හටගත් ඩබර ඇත්තාහු, හටගත් කොලාහල ඇත්තාහු විවාද කරගන්නාහු, එකිනෙකා වචන නැමති ආයුධ වලින් විදගනිමින් වාසය කරන්නාහු නම්, තොපට සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ඇති තැනද, නැති තැනද මෛත්‍රී සහගත කායකර්මය එළඹ නොසිටියේ වෙයි. සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ඇති තැනද නැති තැනද මෛත්‍රී සහගත වාක් කර්මය එළඹ නොසිටියේ වෙයි. සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි ඇති තැනද නැති තැනද මෛත්‍රී සහගත මනො කර්මය එළඹ නොසිටියේ වෙයි. එසේ නම්, හිස් පුරුෂයිනි, තෙපි කුමක් දන්නාහු, කුමක් දක්නාහු, හටගත් ඩබර ඇත්තාහු හටගත් කොලාහල ඇත්තාහු, විවාද කරගන්නාහු එකිනෙකාට වචන නමැති ආයුධ වලින් පහරදෙමින් වාසය කරව්ද? තොපි එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරන්නාහුය. පැහැදිලි කළත් නොපිළිගන්නාහුය. හිස් පුරුෂයිනි, මේ වනාහි තොපට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේය.”

Msdiv 492 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළහ. “මහණෙනි, දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සිහිකටයුතුවූ, (සමාන බඹසර ඇත්තවුන්ට) ප්‍රිය බව කරන්නාවූ, ගෞරවය ඇතිකරන්නාවූ, මේ ධර්ම හයක් සංග්‍රහ පිණිසද, විවාද නොකිරීම පිණිසද, සමගි බව පිණිසද, එකඟ බව පිණිසද, පවතිත්. කවර සයක්ද යත්:- මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහුගේ මෛත්‍රී සහගත කාය කර්මය ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද, සමාන බ්‍රහ්ම චරියා ඇත්තවුන් කෙරෙහි එළඹ සිටියේද, මේ ධර්මය තෙමේ සිහිකටයුතුය ප්‍රිය බව කරන්නේය. ගරු බව කරන්නේය. සංග්‍රහය පිණිසද, විවාද නොකිරීම පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිසද පවතියි.

“මහණෙනි, නැවතද අනෙකක් කියමි. භික්ෂුවගේ මෛත්‍රී සහගත වචීකර්මය ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි එළඹ සිටියේද, මේ ධර්මය තෙමේද සිහිකටයුතුය. ප්‍රිය බව කරන්නේය. ගරුබව කරන්නේය, සංග්‍රය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිසද පවතියි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුවගේ මෛත්‍රී සහගත මනො කර්මය ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද සමාන බඹසර ඇත්තවුන් කෙරෙහි එළඹ සිටියේද, මේ ධර්මය තෙමේද සිහි කටයුතුය, ප්‍රිය බව කරන්නේය, ගරුබව කරන්නේය. සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිසද පවතියි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම දැහැමිවූ, දැහැමින් ලැබුනාවූ, යටත් පිරිසයින් පාත්‍රයට අල්ලන පමණ වූද, යම් ඒ ලාභයෝ වෙත්ද, එබඳුවූ ලාභයන් ශිල්වත්වූ, සමාන බඹසර ඇත්තවුන් හා නොබෙදා නොවළඳන්නේවේද, ඔවුනොවුන් හා සමානව බෙදාහදා වළඳන්නේ වේද, මේ ධර්මය තෙමේද සිහි කටයුතුය ප්‍රිය බව කරන්නේය. ගරු බව කරන්නේය. සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිසද පවතියි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම කඩනොවූ, සිදුරු නොවූ, පුල්ලි සහිත නොවූ, කබර හටනොගත්තාවූ තණ්හාවට යටත් නොවූ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් ස්පර්ශ නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ, යම් ඒ ශීලයෝ වෙත්ද, එබඳු ශීලයන්ගෙන් සබ්‍රහ්මචාරීන් සමග අභිමුඛයෙහිද, අනභිමුඛයෙහිද සමාන බවට පැමිණියේ වෙයිද, මහණෙනි, මේ ධර්මය තෙමේද සිහි කටයුතුය. ප්‍රිය බව කරන්නේය. ගරු බව කරන්නේය. සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිසද පවතියි.

“මහණෙනි, නැවත අනෙකක්ද කියමි. මහණතෙම උතුම්වූ නිවන් පිණිස පවත්නාවූ, යම් මේ සම්‍යක් දෘෂ්ටියක් වේද, ඊට අනුව පිළිපදින පුද්ගලයාට හොඳින් සියලු දුක් නැති කිරීම පිණිස පවතීද, එබඳු සම්‍යක් දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් හා ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද, සමාන බවට පැමිණියේ වේද, මේ ධර්මය තෙමේද සිහි කටයුතුය. ප්‍රිය බව කරන්නේය. ගරුබව කරන්නේය. සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිස පවතියි. මහණෙනි, මේ වනාහි සිහි කට යුතුවූද, ප්‍රිය බව කරන්නාවූද, ගරු බව කරන්නාවූද, සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකී භාවය පිණිසද පවත්නා ධර්ම සය වෙති.

“මහණෙනි, මේ සය ආකාර සිහි කටයුතු ධර්මයන් අතුරෙන් නිර්දොෂවූ, නිවන් පිණිස පවත්නාවූ යම් මේ මාර්ග සම්‍යක්දෘෂ්ටියක් වේද, ඊට අනුව පිළිපදින්නහුට හොඳින් සියලු දුක් නැති කිරීම පිණිස පවතීද එය සියල්ලට අග්‍රය. එය සියල්ල සංග්‍රහ කරන්නේය. සියල්ල ඊට සම්බන්ධය. මහණෙනි, යම්සේ කුළුගෙයක යම් මේ කැණිමඬලක් වේද, මෙය අග්‍රයි. එය යම්සේ සියලු දැව එක්කොට ගන්නේද, සියලු දැව ඊට සම්බන්ධ වන්නේද, එපරිද්දෙන්ම මේ සය ආකාර සිහි කටයුතු ධර්මයන් අතුරෙන් නිර්දොෂවූ නිවණට පමුණුවන්නාවූ යම් මේ සම්‍යක් දෘෂ්ටියක් ඒ කරන්නහුගේ හොඳින් දුක් නැති වීම පිණිස පමුණුවාද මෙය අග්‍රයි. එය සියල්ල සංග්‍රහ කරන්නේය. සියල්ල ඊට සම්බන්ධය.

Msdiv 493 “මහණෙනි, නිර්දෝෂවූද, නිවණට පමුණු වන්නා වූද, යම් මේ මාර්ග සම්‍යක් දෘෂ්ටියක්වේද, ඊට අනුව පිලිපදින්නහුට හොඳින් දුක් නැති කිරීම පිණිස කෙසේ නම් පවතීද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයට ගියේ හෝ රුකක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ මෙසේ සලකයි. ‘මම යම්බඳු කෙලෙස් ඉපදීමකින් මඩනාලද සිත් ඇත්තෙම් ඇති සැටියෙන් නොදන්නෙම්ද, නොදක්නෙම්ද, ඒ කෙලෙස් ඉපදීම මා තුළ පහනොවී පවතියිද? (කියාය) මහණෙනි, ඉදින් මහණතෙම කාමරාගයෙන් මඩනා ලද්දේ වේද, මඩන ලද සිත් ඇත්තේවේද, මහණෙනි, ඉදින් මහණ තෙම ව්‍යාපාද නීවරණයෙන් මඩනාලද්දේ වේද, ව්‍යාපාදයෙන් මඩනාලද සිත් ඇත්තේ වේද, මහණෙනි, ඉදින් මහණතෙම ථීනමිද්ධයෙන් මඩනාලද්දේ වේද, ථීනමිද්ධයෙන් මඩනාලද සිත් ඇත්තේවේද, මහණෙනි, ඉදින් මහණතෙම උද්ධච්චකුක්කුච්චයෙන් මඩනා ලද්දේවේද, උද්ධච්චකුක්කුච්චයෙන් මඩනා ලද සිත් ඇත්තේ වේද, මහණෙනි, ඉදින් මහණතෙම විචිකිච්ඡාවෙන් මඩනා ලද්දේ වේද. විචිකිච්ඡාවෙන් මඩනාලද සිත් ඇත්තේ වේද, මහණෙනි, ඉදින් මහණතෙම මෙලොව සම්පත් ගැන සිතීමෙහි යෙදුනේ වේද, එයින් මඩනාලද සිත් ඇත්තේවේද, මහණෙනි, ඉදින් මහණතෙම පරලොව ගැන සිතීමෙහි යෙදුනේවේද, එයින් මඩනාලද සිත් ඇත්තේ වේද, මහණෙනි, ඉදින් මහණතෙම හටගත් ඩබර ඇත්තේද, හටගත් කොලාහල ඇත්තේද, විවාදයට පැමිණියේද, එකිනෙකා මුඛ නමැති ආයුධ වලින් විදගනිමින් වාසය කරයිද, එයින් මඩනාලද සිත් ඇත්තේ වේද, හෙතෙම මෙසේ දනියි. මම යම්බඳු කෙලෙස් ඉපදීමක් මඩනාලද සිත් ඇත්තෙම් ඇති සැටියෙන් නොදන්නෙම්ද, නොදක්නෙම්ද, ඒ කෙලෙස් ඉපදීම මා තුළ නැති නොවී නැතැයි (දැනගනී) මාගේ සිත චතුරාර්‍ය්‍ය සත්‍ය අවබොධය පිණිස මනාකොට පිහිටුවන ලද්දේයයි (දැන ගනියි) ඔහු විසින් ආර්‍ය්‍යවූ ලොකොත්තරවූ, පෘථක්ජනයන් හා සාධාරණ නොවූ, මේ ප්‍රථම ඥානය ලබන ලද්දේ වෙයි.

Msdiv 494 “මහණෙනි, නැවත අනිකක්ද කියමි මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. මම මේ මාර්ග සම්‍යක් දෘෂ්ටිය සෙවනය කරන්නේ, වඩන්නේ, බහුල කරන්නේ තමා තුළ චිත්ත සමථය ලබයිද, තමා තුල කෙලෙස් සංසිඳීම ලබයිද, හෙතෙම මෙසේ දනියි. ‘මම මේ මාර්ගදෘෂ්ටිය සෙවනයකරන්නේ වඩන්නේ, බහුල කරන්නේ, මාගේ චිත්ත සමථය ලබමි. මාගේ කෙලෙස් නිවීම ලබමියි (දැනගනියි) ඔහු විසින් ආර්‍ය්‍යවූ ලොකොත්තරවූ, පෘථග්ජනයන් හා සාධාරණ නොවූ, දෙවන ඥානය ලබන ලද්දේ වෙයි.

Msdiv 495 “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. ‘මම යම්බඳු ආර්‍ය්‍ය දෘෂ්ටියකින් යුක්තවූයෙම්ද, එබඳුවූ මාර්ග දෘෂ්ටියකින් යුක්තවූ, මේ ශාසනයෙන් පිටත්වූ, ශ්‍රමණයෙක් හෝ බමුණෙක් හෝ ඇත්තේදෝ’යි. (සලකයි) හෙතෙම මෙසේ දනියි. ‘මම යම්බඳු මාර්ග සම්‍යක් දෘෂ්ටියකින් යුක්තවූයෙම්ද, එබඳු දෘෂ්ටියකින් යුක්තවූ, මේ ශාසනයෙන් පිටත්වූ අන්‍යවූ, ශ්‍රමණයෙක් හෝ, බමුණෙක් හෝ නැත.’ ඔහු විසින් ආර්‍ය්‍යවූ ලොකොත්තරවූ, පෘථග්ජනයන් හා සාධාරණ නොවූ මේ තුන්වන ඥානය ලබන ලද්දේ වෙයි.

Msdiv 496 “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනාකරයි. ‘මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගල තෙම යම්බඳු ස්වභාවයකින් යුක්තවූයේ මමද එබඳු ස්වභාවයෙන් යුක්තවෙමි’ (කියායි) මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලතෙම, කෙබඳු ස්වභාවයෙන් යුක්තවූයේද? මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වෙයි. යම්බඳු ඇවතකින් නැගීසිටීම පෙනේද, යම් හෙයකින් එබඳු ඇවතකට පැමිණියහොත් එය වහාම ශාස්තෲන් වහන්සේ වෙත හෝ, නුවණැත්තාවූ, සබ්‍රම් සරුන් වෙත හෝ දෙසනා කරයි. එලිකරයි. ප්‍රකට කරයි. දෙසා, එලිකොට, ප්‍රකට කොට මත්තෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, යම්සේ බාලවූ, උඩුකුරුව සයනය කරන්නාවූ, ලදරු කුමාරයෙක් අතින් හෝ පයින් හෝ ගිනි අඟුරක් මිරිකා වහාම අතපය හකුළුවාද, මහණෙනි, එපරිද්දෙන්ම, මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වෙයි. යම්බඳු ඇවතකින් නැගීසිටීම පෙනේද, යම් හෙයකින් එබඳු ඇවතකට පැමිණියහොත් එය වහාම ශාස්තෲන් වහන්සේ වෙත හෝ නුවණැත්තාවූ, සබ්‍රහ්මචාරීන් වෙත හෝ දෙසනා කරයි. එලි කරයි. ප්‍රකට කරයි. දෙශනාකර, එලිකර, ප්‍රකට කොට මත්තෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම ‘මෙසේ දනියි. මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලතෙම යම්බඳු ස්වභාවයකින් යුක්ත වේද, මමද එබඳු ස්වභාවයෙන් යුක්තවෙමි.’ (කියාය) ඔහු විසින් ආර්‍ය්‍යවූ, ලොකොත්තරවූ, පෘථග් ජනයන් හා සාධාරණ නොවූ සතරවෙනි ඤාණය ලබන ලද්දේ වෙයි.

Msdiv 497 “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. ‘මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම යම්බඳු ස්වභාවයකින් යුක්ත වේද, මමද එබඳු ස්වභාවයකින් යුක්ත වෙමි.’

“මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම කෙබඳු ස්වභාවයකින් යුක්ත වේද, මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වෙයි, සබ්‍රම්සරුන්ගේ කුඩාවූද, මහත්වූද, විමසා බලා කළයුතු කටයුතු වෙත් නම්, ඒ කටයුතු සම්පාදනයෙහි උත්සාහවත් වූයේ වෙයි. ඉක්බිති අධිශීල ශික්ෂාවෙහිද, අධිචිත්ත ශික්ෂාවෙහිද, අධිප්‍රඥා ශික්ෂාවෙහිද, බලවත් ප්‍රාර්ථනා ඇත්තේවෙයි. මහණෙනි, ළපටි වස්සකු ඇති දෙන තණකොළද කඩාකයි. වසු පැටියාද බලයි. මහණෙනි, එපරිද්දෙන්ම මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාගේ මේ ස්වභාවයයි, කිසිසේත් සබ්‍රම්සරුන්ගේ කුඩාවූද, මහත්වූද විමසා බලා කළයුතු කටයුතු වෙද්ද එහි උත්සාහ ඇති බවට පැමිණියේ වෙයි. යලිත් අධිශීලයෙහිද, අධිචිත්තයෙහිද, අධිප්‍රඥාවෙහිද බලවත් ප්‍රාර්ථනා ඇත්තේ වෙයි. හෙතෙම මෙසේ දනියි. ‘මාර්ගදෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම යම්බඳු ස්වභාවයකින් යුක්තවේද, මමද එබඳු ස්වභාවයකින් යුක්තවෙමි.’ (කියායි) ඔහුවිසින් ආර්‍ය්‍යවූ, ලොකොත්තර වූ පෘථග්ජනයන් හා සාධාරණ නොවූ පස්වෙනි ඤාණය ලබන ලද්දේ වෙයි.

Msdiv 498 “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. ‘මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයා යම්බඳු බලයකින් යුක්තවූයේද, මමද, එබඳුවූ බලයකින් යුක්තවෙමි. මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයා කෙබඳු බලයකින් යුක්තද? තථාගතයන් වහන්සේ විසින් වදාළවූ ධර්ම විනය දෙක දෙසනා කරනු ලබන කල්හි ඉන් ප්‍රයෝජනය ගනු කැමතිව, මෙනෙහි කොට, මුලු සිතින් දරාගනිමින්, හොඳට කන්යොමා ධර්මය අසයි. හෙතෙම මෙසේ දනියි. ‘මාර්ගදෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම යම්බඳු බලයකින් යුක්තවේද, මමද එබඳු බලයකින් යුක්තවෙමි’යි. ඔහු විසින් ආර්‍ය්‍යවූ ලොකොත්තරවූ පෘථග්ජනයන් හා සාධාරණ නොවූ සයවෙනි ඤාණය ලබන ලද්දේ වෙයි.

Msdiv 499 “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ සලකයි. ‘මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයා යම් බඳු බලයකින් යුක්ත වේද මමද එබඳු බලයකින් යුක්තවෙමි.’ (කියාය) මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයා කෙබඳු බලයකින් යුක්තවූයේද? මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වෙයි. තථාගතයන් වහන්සේ විසින් වදාළවූ ධර්ම විනය දෙසනා කරනු ලබන කල්හි, අර්ථයෙන් සතුට ලබයි. ධර්මයෙන් සතුට ලබයි. අර්ථයෙන් යුක්තවූ ධර්මයෙන් යුක්තවූ සතුට ලබයි. හෙතෙම මෙසේ දනියි. ‘මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම යම්බඳු බලයකින් යුක්ත වූයේද, මමද, එබඳු බලයකින් යුක්තවූයේ වෙමි’ ඔහු විසින් ආර්‍ය්‍යවූ, ලොකොත්තරවූ, පෘථග්ජනයන් හා සාධාරණ නොවූ, මේ සත්වන ඥානය ලබන ලද්දේ වෙයි.

Msdiv 500 “මහණෙනි, මෙසේ අංග සතකින් යුක්තවූ, ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ස්වභාවය මනාව සොයන ලද්දේවෙයි. මහණෙනි, මෙසේ අංග සතකින් යුක්තවූ, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම, සෝවාන්ඵලයෙන් යුක්ත වූයේ වේ.”

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

අටවෙනිවූ කොසම්බීය සූත්‍රය නිමි. (5-8)

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection