On the Invitation of Divinity
Brahmanimantanika Sutta
PDFGenerated
The Buddha ascends to a high heavenly realm where he engages in a cosmic contest with a powerful divinity, who had fallen into the delusion that he was eternal and all-powerful.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 5. චූල යමක වර්ගය 49. බ්‍රහ්ම නිමන්තණික සූත්‍රය Msdiv 501 මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේ පිඩු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, මම එක කාලයක උක්කට්ඨා නම් නුවර සුභග නම් වනයෙහිවූ විශාල සල්ගස මුල වාසය කෙළෙමි. මහණෙනි, ඒ කාලයෙහිදී බකබ්‍රහ්මයාට මෙබඳුවූ ලාමකවූ මිථ්‍යාදෘෂ්ටි අදහසක් උපන්නේය. (කෙසේදයත්) ‘මේ බ්‍රහ්මාත්ම භාවය නිත්‍යය, මෙය ස්ථිරය, මෙය සදාකාලිකය, මෙය සියල්ල සම්පූර්ණය, මෙය නැති නොවන ස්වභාව ඇත්තක්ය. මෙහි උපන්නෙක් වනාහි නැවත නූපදියි, නොදිරයි, නොමැරෙයි, චුත නොවෙයි, නූපදියි, මෙයින් අන්‍යවූ මත්තෙහි නිර්වාණයක් නැතැ’යි කියායි. මහණෙනි, ඉක්බිතිව මම මාගේ සිතින් බක බ්‍රහ්මයාගේ සිතෙහි අදහස දැන යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අතක් දිගු කරන්නේද දිගුකළ අතක් හකුලන්නේද, එපරිද්දෙන්ම උක්කට්ඨා නම් නුවර සුභග වනයෙහි සල්ගස මුලදී අතුරුදහන්ව බ්‍රහ්ම ලෝකයෙහි පහළවීමි.
“මහණෙනි, එන්නාවූ මා බක බ්‍රහ්මතෙම දුරදීම දැක්කේය. දැක, මට මෙසේ කීයේය. ‘නිදුකාණෙනි, එනු මැනවි. නිදුකාණෙනි, යහපත් ගමනක් වේවා, නිදුකාණනි, බොහෝ කලකින් පැමිණියෙහිය. නිදුකාණෙනි, මේ බ්‍රහ්ම ආත්මය නිත්‍යය, මෙය ස්ථිරය, මෙය සියල්ලෙන් සම්පූර්ණය. මෙය චුත නොවන ස්වභාව ඇත්තක්ය. මේ වනාහි නොම උපදියි, නොදිරයි, නොමැරෙයි, චුත නොවෙයි, නොඋපදියි. මෙයින් මත්තෙහි අන්‍යවූ නිවණක් නැත්තේය’යි (කියායි.)
“මහණෙනි, මෙසේ කී කල්හි, මම බ්‍රහ්මයාට මෙසේ කීයෙමි. පින්වත, ඒකාන්තයෙන් බක බ්‍රහ්මතෙම අවිද්‍යාවෙන් යුක්ත වූයේය. (හෙවත් මුලාවූයේය). පින්වත, ඒකාන්තයෙන් බක බ්‍රහ්මතෙම අවිද්‍යාවෙන් යුක්ත වූයේය. යමෙක් වනාහි අනිත්‍ය වූවක්ම නිත්‍යයයි කියන්නේද, ස්ථිරනොවූවක්ම ස්ථිරයයි කියන්නේද, සදාකාලික නුවූවක්ම සදාකාලිකයයි කියන්නේද, සියල්ලෙන් සම්පූර්ණ නුවූවක්ම සියල්ලෙන් සම්පූර්ණයයි කියන්නේද, චුතවන ස්වභාව ඇත්තක්ම චුත නොවන ස්වභාව ඇත්තේයයි කියන්නේද, යම් බ්‍රහ්ම ලෝකයෙක්හි උපදීද, ජරාවට පත්වේද, මැරේද, චුතවේද, උපදීද, එය මෙහි නොම උපදියි. නොදිරයි. නොමැරෙයි, චුත නොවෙයි, නොඋපදියි. මෙයින් මත්තෙහි ඇත්තාවූ නිවණක් නැත්තේයයි කියන්නේද, (එසේ කියන) බක බ්‍රහ්ම තෙම මුලා වූයේය (කියායි.)
Msdiv 502 “මහණෙනි, ඉක්බිතිව පාපී මාරතෙම එක්තරා පාරිසජ්ජ බ්‍රහ්මයෙකුට ආවෙශවී මට මෙසේ කීයේය. ‘මහණ, මහණ, මේ බ්‍රහ්ම පදවියට නින්දා නොකරව, මෙයට නින්දා නොකරව, මහණ මේ බ්‍රහ්මයා වනාහි මහා බ්‍රහ්මයාය. අන්‍යයන් මැඩ පවත් වන්නාය. අනුන් විසින් නොමැඩ පවත්වන ලද්දේය, එකාන්තයෙන් සියල්ල දක්නේය. සියල්ලන් තමන් වසඟයෙහි පවත්වන්නාය. ලෝකයට අධිපතිය ලෝක කර්තෘය, සියල්ල මවන්නාය, ලෝක ශ්‍රෙෂ්ඨයාය, ලොක වාසීන් බෙදන්නාය, වසඟයෙහි පවත්වන්නාය, උපන්නාවූද, උපදිමින් සිටින්නාවූද සත්වයින්ගේ පියාය. මහණ, ඔබට පෙර ලෝකයෙහි (අනිත්‍යය දුකය යනාදීන්) පෘථිවි ධාතුවට ගරහන්නාවූ පෘථිවි ධාතුවට පිළිකුල් කරන්නාවූ, ආපො ධාතුවට ගරහන්නාවූ, අපො ධාතුව පිළිකුල් කරන්නාවූ, තෙජො ධාතුවට ගරහන්නාවූ, තෙජො ධාතුව පිළිකුල් කරන්නාවූ, වයො ධාතුවට ගරහන්නාවූ, වායො ධාතුව පිළිකුල් කරන්නාවූ, භූතයන්ට ගරහන්නාවූ භූතයන් පිළිකුල් කරන්නාවූ, දෙවියන්ට ගරහන්නාවූ, දෙවියන් පිළිකුල් කරන්නාවූ, මාරයාට ගරහන්නාවූ, මාරයා පිළිකුල් කරන්නාවූ, බ්‍රහ්මයාට ගරහන්නාවූ, බ්‍රහ්මයා පිළිකුල් කරන්නාවූ; ඔබ වැනි මහණ බමුණෝ වූහ. ඔවුහු කය බිඳීමෙන් දිවි සිඳීමෙන් සතර අපායෙහි උපන්නාහුය. මහණ, නුඹට පෙර ලෝකයෙහි පෘථිවි ධාතුව ප්‍රශංසා කරන්නාවූ පෘථිවි ධාතුවට සතුටු වන්නාවූ, ආපො ධාතුවට ප්‍රශංසා කරන්නාවූ, ආපො ධාතුවට සතුටු වන්නාවූ, තෙජො ධාතුවට ප්‍රශංසා කරන්නාවූ තෙජො ධාතුවට සතුටු වන්නාවූ, වායො ධාතුවට ප්‍රශංසා කරන්නාවූ වායො ධාතුවට සතුටු වන්නාවූ, භූතයන්ට ප්‍රශංසා කරන්නාවූ භූතයන්ට සතුටු වන්නාවූ, දෙවියන්ට ප්‍රශංසා කරන්නාවූ දෙවියන්ට සතුටු වන්නාවූ, බ්‍රහ්මයාට ප්‍රශංසා කරන්නාවූ බ්‍රහ්මයාට සතුටු වන්නාවූ, මහණ බමුණෝ සිටියහ. ඔව්හු කය බිඳීමෙන් දිවි සිඳී මෙන් බ්‍රහ්ම ලෝකයෙහි උපන්නාහුය. මහණ, එහෙයින් මම ඔබට මෙසේ කියමි. නිදුකාණෙනි, බ්‍රහ්මතෙමේ යමක් ඔබට කීයේද, ඔබ එයම කරව, ඔබ බ්‍රහ්මයාගේ වචනය, නොඉක්මවව, මහණ, ඉදින් ඔබ බ්‍රහ්මයාගේ වචනය, ඉක්මවන්නෙහි නම්, යම්සේ පුරුෂයෙක් තමා වෙතට එන්නාවූ ශ්‍රී කාන්තාව (සිවුරියන්) මුගුරකින් තැළීමෙන් ආපසු එළවාද, මහණ, යම්සේ හෝ පුරුෂයෙක් ගැඹුරු මහ වලක වැටෙන්නේ අතින්ද, පයින්ද, පොළව අල්වා නොගන්නේද, (හෙවත් පොළොවෙහි අල්වා ගතයුතු පා තැබිය යුතු තැන් අතහැර වළට වැටෙන්නේද) මහණ, ඔබටද මෙසේම වන්නේය. නිදුකාණෙනි, එබැවින් ඔබ යමක් බ්‍රහ්ම තෙම කීයේද, එයම කරව. ඔබ බ්‍රහ්මයාගේ වචනය නොයික්මවව, මහණ, ඔබ එක් රැස්ව උන් බ්‍රහ්ම පිරිස දක්නේ නොවේද?’ මහණෙනි, මෙසේ වනාහි පාපීවූ මාර තෙම මට බ්‍රහ්ම පිරිස දැක්වීය.
“මහණෙනි, මෙසේ කී කල්හි මම පාපීවූ මාරයාට මෙය කීමි. ‘පාපිය, මම තා දනිමි. මා තා නොදනියයි නොසිතව පාපිය ඔබ මාරයා වෙහිය, මාරය, යම් බ්‍රහ්මයෙකුත් වේද, යම් බ්‍රහ්ම පිරිසකුත් වේද, යම් පිරිවර බ්‍රහ්මයෝත් වෙත්ද, ඒ සියල්ල තාගේ අතට අසුවූහ. ඒ සියලු දෙනාම තාගේ වසඟයට ගියාහුය. පාපීය, ඔබට වනාහි මෙබඳු අදහසක් වෙයි. මේ තෙමේත් මට අසුවූ වෙක් වන්නේය. මට වසඟවූවෙක් වන්නේය. (කියාය) පාපීය. මම වනාහි තාගේ අතට අසුවූයේ නොවෙමි. ඔබට වසඟ වූයේ නොවෙමි.
Msdiv 503 “මහණෙනි, මෙසේ කී කල්හි බක බ්‍රහ්මතෙම මට මෙසේ කීයේය. ‘නිදුකාණෙනි, මම වනාහි නිත්‍ය වූවක්ම නිත්‍ය යයි කියමි. ස්ථිර වූවක්ම ස්ථිරයයි කියමි. සදාකාලික වූවක්ම සදාකාලිකයයි කියමි. සියල්ලෙන් සම්පූර්ණ වූවක්ම සියල්ලෙන් සම්පූර්ණයයි කියමි. චුත නොවන ස්වභාව ඇත්තක්ම චුත නොවන ස්වභාව ඇත්තක්යයි කියමි. යම්තැනක වනාහි නූපදීද, නොදිරාද, චුත නොවේද, නූපදීද, එයම මම මෙහි නූපදීයයිද, නොදිරායයිද, චුත නොවේයයිද, නොමැරේයයිද, නොඋපදීයයිද කියමි. මෙයින් අන්‍යවූ මත්තෙහි නිර්වාණයක් නැති හෙයින්ම අන්‍යවූ නිර්වාණයක් නැතැයි කියමි. මහණ, ඔබට පෙර ලොකයෙහි මහණ බමුණෝ පහළවූහ. ඔබගේ මුලු ආයුෂය යම් පමණක් වේද, ඔවුන්ගේ තපස් කිරීමේ කාලය එපමණ විය. ඔවුහු වනාහි මෙසේ දන්නාහ: (කෙසේද?) මත්තෙහි අන්‍යවූ නිර්වාණයක් ඇත්නම් ඇත කියාද, මත්තෙහි අන්‍යවූ නිර්වානයක් නැත්නම් නැතැයි කියාද දන්නාහුය. මහණ, මම ඔබට මෙසේ කියමි. මෙයින් අන්‍යවූ මත්තෙහි නිර්වාණයක් නොදක්නෙහිය. යම්තාක් වනාහි ක්ලාන්තයට, වෙහෙසට කොටස් කාරයෙක් පමණක් වන්නෙහිය. මහණ, ඉදින් වනාහි ඔබ පෘථිවි ධාතුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ගැලී ගන්නෙහි නම් මාගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. (මා අනුව යාම ඊම ආදිය කරන්නෙක් වන්නෙහිය.) මාගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මා කැමති පරිද්දකින් කළ හැකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙහිය.
“ඉදින් වනාහි ඔබ ආපො ධාතුවද තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් ගැලී ගන්නෙහි නම්, මාගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මාගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මා කැමති පරිද්දක් කළ හැකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙහිය. ඉදින් ඔබ තෙජො ධාතුවද තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් ගන්නෙහි නම්, මාගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මාගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මා කැමති පරිද්දක් කළ හැකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙහිය. ඉදින් ඔබ වායො ධාතුවද, තෘෂ්ණා දෘෂ්ටීන් ගේ වශයෙන් ගැලී ගන්නෙහි නම්, මාගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මාගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මා කැමති පරිද්දක් කළ හැකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කට යුත්තෙක් වන්නෙහිය. ඉදින් ඔබ භූතයන්ද, තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙහි නම්, මාගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මාගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මා කැමති පරිද්දකින් කළ හැකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කට යුත්තෙක් වන්නෙහිය. ඉදින් ඔබ දෙවියන්ද, තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙහි නම්, මාගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මාගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙහිය. ඉදින් ඔබ මාරයාද, තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙහි නම්, මාගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මාගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙහිය. මා කැමති පරිද්දක් කළ හැකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙහිය. ඉදින් ඔබ බ්‍රහ්මයාද, තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙහි නම්, මාගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නේහිය, මාගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙහිය, මා කැමැති පරිද්දක් කළ හැකියෙක් වන්නෙහිය. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙහිය’යි (කීයේය.)
“බ්‍රහ්මය, මමද මෙය දනිමි. ඉදින් පෘථිවි ධාතුව තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙම් නම් තොපගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොප කැමැති පරිද්දක් කළ හැකියෙක් වන්නෙමි. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙමි.
“ඉදින් ආපො ධාතුව තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙම් නම් තොපගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොප කැමැති පරිද්දක් කළ හැකියෙක් වන්නෙමි. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙමි. ඉදින් තෙජො ධාතුව තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙම් නම් තොප සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොප කැමති පරිද්දක් කළ හැකියෙක් වන්නෙමි. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙමි. ඉදින් වායො ධාතුව තෘෂ්ණා දෘෂ්ටීන් ගැලීගන්නේනම් තොප සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොප කැමති පරිද්දක් කළ හැකියෙක් වන්නෙමි. ඉදින් භූතයන් තෘෂ්ණා දෘෂ්ටීන් ගැලී ගන්නෙම් නම් තොප සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොප කැමැති පරිද්දක් කළ හැකියෙක් වන්නෙමි. අතිශයින් පහත් කටයුත්තෙක්ද වන්නෙමි.
“ඉදින් දෙවියන් කෙරෙහිද තෘෂ්ණා දෘෂ්ටීන් ගැලීගන්නෙම් නම් තොපගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොප කැමැති පරිද්දක් කළ හැකියෙක් වන්නෙමි, අතිශයින් පහත් කට යුත්තෙක් වන්නෙමි, ඉදින් මාරයා කෙරෙහිද තෘෂ්ණා දෘෂ්ටීන් ඇලීගන්නෙම් නම් තොපගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙමි, තොප කැමති පරිද්දක් කළ හැකියෙක් වන්නෙමි. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙමි, ඉදින් බ්‍රහ්මයා කෙරෙහිද තෘෂ්ණාදෘෂ්ටීන් ගැලී ගන්නෙම් නම් තොපගේ සමීපයෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොපගේ වස්තුවෙහි සයනය කරන්නෙක් වන්නෙමි. තොප කැමති පරිද්දක් කළ හැකියෙක් වන්නෙමි. අතිශයින් පහත් කටයුත්තෙක් වන්නෙමි. බ්‍රහ්මය, එසේද වුවත් මම ‘බකබ්‍රහ්ම තෙම මෙබඳු මහත් ඍද්ධි ඇත්තෙක, බකබ්‍රහ්ම තෙම මෙබඳු මහත් ආනුභාව ඇත්තෙක්ය, බක බ්‍රහ්මතෙම මෙසේ මහේශාක්‍යය’යි නුඹගේ ගතියද දනිමි. ආනුභාවයද දනිමි.
“නිදුකාණෙනි, බකබ්‍රහ්ම තෙම මෙබඳු මහත් ඍද්ධි ඇත්තෙක, බකබ්‍රහ්ම තෙම මෙබඳු මහත් ආනුභාව ඇත්තෙක, බකබ්‍රහ්ම තෙම මෙබඳු මහේසාක්‍ය වූවෙකැයි කෙසේ නම් ඔබ මාගේ ගතිය දන්නෙහිද? ආනුභාවය දන්නෙහිද?”
“රස්මියෙන් බබලන්නාවූ චන්ද්‍රසූර්‍ය්‍ය දෙදෙනා යම්තාක් ස්ථානයන්හි හැසිරෙද්ද, දිසාවන් දීප්තිමත් කෙරෙද්ද, ඒ තාක් ප්‍රමාණය සහශ්‍රී ලෝක ධාතුවයි. මේ සහශ්‍රී ලෝක ධාතුව නුඹගේ වසඟයෙහි පවතියි.
“පහත් උසස් සත්වයන්ද, නැවත සරාග විරාග සත්වයන්ද, මේ සක්වලද අන් සක්වලවල් එකුන් දහසද (නවසිය අනූ නවයද) සත්වයින්ගේ ප්‍රතිසන්ධි වශයෙන් ඊමද, චුති වශයෙන් යාමද දන්නෙහිය.
“මෙසේ වනාහි බ්‍රහ්මය, බකබ්‍රහ්ම තෙම මෙබඳු මහත් ඍද්ධි ඇත්තෙක, බක බ්‍රහ්ම තෙම මෙබඳු මහත් ආනුභාව ඇත්තෙක, බක බ්‍රහ්ම තෙම මෙබඳු මහේශාක්‍යයයි මම නුඹගේ ගතියද දනිමි, ආනුභාවයද දනිමි.
Msdiv 504 “බ්‍රහ්මය, මෙයින් අන්‍යවූ තවත් බ්‍රහ්මලොක තුනක් ඇත්තේමය. නුඹ එය නොදන්නෙහිය, නොදක්නෙහිය. මම එය දනිමි, දකිමි, බ්‍රහ්මය යම් තැනකින් චුතව නුඹ මෙහි උපන්නේද, ඒ ආභස්සර නම් බ්‍රහ්මලොකයක් ඇත්තේය. ඒ නුඹට ඉතා දීර්ඝ කාලයක් මෙහි විසීමෙන් එහි සිට මෙහි ආබව අමතක විය, එහෙයින් නුඹ නොදන්නෙහිය, නොදක්නෙහිය, මම එය දනිමි, දකිමි, බ්‍රහ්මය මේ දැනීමෙන් මම නුඹට සම සමද නොවන්නෙමි; පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වඩා වැඩි තරම් වෙමි.
“බ්‍රහ්මය, සුභකිණ්ණක නම් බ්‍රහ්මලොකයක් ඇත්තේමය, නුඹ එය නොදන්නෙහිය, නොදක්නෙහිය, මම එය දනිමි, දකිමි, බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹට සම සමවත් නොවන්නෙමි. පහත් බවක් නම් කොයින්ද, එහෙයින් මමම නුඹට වඩා වැඩි තරම් වෙමි. බ්‍රහ්මය, වේහප්ඵල නම් බ්‍රහ්ම ලොකයක් ඇත්තේමය, නුඹ එය නොදන්නෙහිය, නොදක්නෙහිය, මම එය දනිමි, දකිමි, බ්‍රහ්මය මෙසේ දැනීමෙන්, දැකීමෙන් මම නුඹට සම සමවත් නොවන්නෙමි, පහත් බවක් නම් කොයින්ද, එහෙයින් මමම නුඹට වඩා වැඩිතරම් වෙමි.
“බ්‍රහ්මය, මම පෘථිවි ධාතුව, පෘථිවි ධාතුව වසයෙන් දැන පෘථිවි ධාතුව විසින් පෘථිවි භාවයෙන් නොපැමිණි යමක් වේ නම් එය දැන පෘථිවි ධාතුව තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගනිමි, පෘථිවි ධාතුවෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් ගන්නෙක් නොවෙමි. පෘථිවි ධාතුවෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. පෘථිවි ධාතුව මගේයයි තෘෂ්ණාදෘෂ්ටීන් ගන්නෙක් නොවෙමි, පෘථිවි ධාතුව තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොකියමි. බ්‍රහ්මය මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවන්නෙමි. පහත් බවක් නම් කොයින්ද, එහෙයින් මමම නුඹට වඩා වැඩි තරම් වෙමි.
“බ්‍රහ්මය, මම ආපො ධාතුව ආපො ධතු වශයෙන් දැන ආපො ධාතුව විසින් ආපො භාවයෙන් නොපැමිණි යමක් වේනම් එය දැන ආපො ධාතුව තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගනිමි. ආපො ධාතුවෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. ආපො ධාතුවෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. ආපොධාතුව තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වඩා වැඩි තරම් වෙමි.
“බ්‍රහ්මය, මම වායොධාතුව වායොධාතු වශයෙන් දැන වායෝධාතු විසින් වායොධාතු භාවයෙන් නොපැමිණි යමක් වේද, එය දැන වායොධාතුව තෘණාදෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. වායොධාතුවෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. වායොධාතුවෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. වායොධාතුව තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වඩා වැඩිතරම් වෙමි.
“බ්‍රහ්මය, මම තෙජොධාතුව තෙජොධාතු වශයෙන් දැන තෙජොධාතුව විසින් තෙජො ධාතු භාවයෙන් නොපැමිණි යමක් වේද, එය දැන තෙජොධාතුව තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. තෙජොධාතුවෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. තොජොධාතුවෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. තෙජොධාතුව තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි, පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වඩා වැඩිතරම් වෙමි.
“බ්‍රහ්මය, මම භූතයන්ද භූත වශයෙන් දැන භූතයන් විසින් භූත භාවයෙන් නොපැමිණි යමක් වේද එය දැන භූතයන් තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. භූතයන් කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. භූතයන් ගෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. භූතයන් තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මම නුඹට වඩා වැඩි තරම් වෙමි.
“බ්‍රහ්මය, මම දෙවියන්ද දෙව වශයෙන් දැන දෙවියන් විසින් දෙව භාවයෙන් නොපැමිණී යමක් වේද, එය දැන දෙවියන් තෘෂ්ණාදෘෂ්ටි මානවශයෙන් නොගනිමි. දෙවියන් කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මානවශයෙන් ගන්නෙක් නොවෙමි. දෙවියන්ගෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. දෙවියන් තෘෂ්ණදෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි, පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වැඩි තරම් වෙමි.
“බ්‍රහ්මය, මම මාරයාද මාර වශයෙන් දැන මාරයා විසින් මාර භාවයෙන් නොපැමිණි යමක් වේද, එය දැන මාරයා තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. මාරයා කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. මාරයාගෙන් පිටත ආත්මයක් ඇතැයි නොගනිමි. මාරයා තෘෂ්ණාදෘෂ්ටි මානවශයෙන් නොකියමි, බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි, පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වැඩිතරම් වෙමි.
“බ්‍රහ්මය, මම බ්‍රහ්මයාද බ්‍රහ්ම වශයෙන් දැන බ්‍රහ්මයා විසින් බ්‍රහ්මභාවයෙන් නොපැමිණි යමක් වේද, එය දැන බ්‍රහ්මයා තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. බ්‍රහ්මයා කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි, බ්‍රහ්මයාගෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. බ්‍රහ්මයා තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි, පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වැඩිතරම් වෙමි.
“බ්‍රහ්මය, මම ආභස්සර දෙවියන්ද ආභස්සර දෙවි වශයෙන් දැන ආභස්සර දෙවියන් විසින් දෙවි භාවයෙන් නොපැමිණි යමක් වේද එය දැන ආභස්සර දෙවියන් තෘෂ්ණා දෘෂ්ටි මානවශයෙන් නොගනිමි ආභස්සර දෙවියන් කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. ආභස්සර දෙවියන්ගෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. ආභස්සර දෙවියන් තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වැඩිතරම් වෙමි.
“බ්‍රහ්මය, මම සුභකිණ්ණක දෙවියන්ද සුභකිණ්ණක දෙවි වශයෙන් දැන සුභකිණ්ණක දෙවියන් විසින් දෙවි භාවයෙන් නොපැමිණි යමක් වේද, එය දැන සුභකිණ්ණක දෙවියන් තෘෂ්ණාදෘෂ්ටි මානවශයෙන් නොගනිමි, සුභකිණ්ණක දෙවියන්ට ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. සුභකිණ්ණක දෙවියන්ගෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක් නොවෙමි. සුභකිණ්ණක දෙවියන් තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සමවත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වඩා වැඩි තරම් වෙමි.
“බ්‍රහ්මය, මම වේහප්ඵල දෙවියන්ද වෙහප්ඵල දෙවි වශයෙන් දැන වෙහප්ඵල දෙවියන් විසින් දෙවි භාවයෙන් නොපැමිණි යමක්වේද, එය දැන වෙහප්ඵල දෙවියන් තෘෂ්ණා දෘෂ්ටි මානවශයෙන් නොගනිමි. වේහප්ඵල දෙවියන් කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි, වෙහප්ඵල දෙවියන්ගෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක් නොවෙමි, වේහප්ඵල දෙවියන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සම වත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වඩා වැඩිතරම් වෙමි.
“බ්‍රහ්මය, මම අභිභූ දෙවියන්ද, අභිභූ දෙවි වශයෙන් දැන අභිභූ දෙවියන් විසින් දෙවි භාවයෙන් නොපැමිණි යමක් වේද, එය දැන අභිභූ දෙවියන් තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොගනිමි. අභිභූ දෙවියන් කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. අභිභූ දෙවියන්ගෙන් පිටත ආත්මයක් පිහිටියේයයි ගන්නෙක් නොවෙමි, අභිභූ දෙවියන් තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සම වත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වඩා වැඩීතරම් වෙමි.
“බ්‍රහ්මය, මම සියල්ල සියල්ල වශයෙන් දැන සියල්ල විසින් සියල්ල භාවයෙන් නොපැමිණි යමක් වේද, එය දැන සියල්ල තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොගන්නෙමි. සියල්ල කෙරෙහි ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. සියල්ලෙන් පිටත ආත්මයක් ඇතැයි තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් ගන්නෙක් නොවෙමි. සියල්ල තෘෂ්ණාදෘෂ්ටි මාන වශයෙන් නොකියමි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම නුඹ හා සම සම වත් නොවෙමි. පහත් බවක් නම් කොයින්ද? එහෙයින් මමම නුඹට වඩා වැඩිතරම් වෙමි.
“නිදුකාණෙනි, ඉදින් වනාහි සියල්ල සියලු භාවයෙන් නොපැමිණියේද, එසේ ඇතිකල්හි ඔබගේ වචනය හිස් නොවේවා, නිස්ඵල නොවේවා”යි. (බ්‍රහ්මතෙම කීය) ‘විඤ්ඤානයෙන් නොදතහැකිවූ, අනන්තවූ හැම අයුරින්ම ප්‍රභාසම්පන්න වූ යම් නිර්වාණයක් වේද, ඒ නිර්වාණය පෘථිවි ධාතුහුගේ පෘථිවී භාවයෙන් නොපැමිණියේය. ආපො ධාතුහුගේ ආපො භාවයෙන් නොපැමිණියේය. තෙජො ධාතුහුගේ තෙජො භාවයෙන් නොපැමිණියේය. වායොධාතුහුගේ වායො භාවයෙන් නොපැමිණියේය. භූතයන්ගේ භූතභාවයෙන් නොපැමිණියේය. දෙවියන්ගේ දෙවභාවයෙන් නොපැමිණියේය. මාරයාගේ මාර භාවයෙන් නොපැමිණියේය. බ්‍රහ්මයාගේ බ්‍රහ්ම භාවයෙන් නොපැමිණියේය. ආභස්සර දෙවියන්ගේ ආභස්සර දෙවභාවයෙන් නොපැමිණියේය. සුභකිණ්ණක දෙවියන්ගේ සුභකිණ්ණක දෙවභාවයෙන් නොපැමිණියේය. වෙහප්ඵල දෙවියන්ගේ වෙහප්ඵල දෙවභාවයෙන් නොපැමිණියේය. අභිභූදෙවියන්ගේ අභිභූදෙව භාවයෙන් නොපැමිණියේය. සියල්ල සියලු භාවයෙන් නොපැමිණියේය” වදාළහ.
“නිදුකාණෙනි, එසේ නම්, මම ඔබට නොපෙනී සිටිමි”යි (බ්‍රහ්මයා කීය) “බ්‍රහ්මය ඉදින් හැකිනම් නුඹ මට නොපෙනී සිටුව”යි (කීමි) “මහණෙනි, ඉක්බිති බකබ්‍රහ්මතෙම ‘ශ්‍රමණගෞතමයන්ට නොපෙණෙන්නෙමි’යි ශ්‍රමණ ගෞතමයන්ට නොපෙණෙන්නෙමි’යි. උත්සාහ කොට මට නොපෙනී සිටින්නට නොහැකිවිය. මහණෙනි, මෙසේ කී කල්හි මම බක බ්‍රහ්මයාට මෙසේ කීමි. ‘බ්‍රහ්මය, එසේ නම් මම නුඹට නොපෙනී සිටින්නෙ’මි. ‘නිදුකාණෙනි, ඉදින් හැකිනම් මට නොපෙනී සිටුව’, ‘මහණෙනි, ඉක්බිති මම යම් පමණකින් බ්‍රහ්ම තෙමේද බඹ පිරිසද බඹ පිරිසෙහි වූවෝද මාගේ ශබ්දය අසන්නාහුද, මා නොදක්නාහුද, එබඳුවූ ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයක් කොට ඔවුන්ට නොපෙනී සිට මේ ගාථාව කීවෙමි.
“මම සංසාරයෙහි භය දැකම කාම භවාදී ත්‍රිවිධ භවයද විභව නම්වූ නිර්වාණය සොයන්නවුන්ගේ භවයෙහිම විසීමද දැක, කිසියම් භවයක තෘෂ්ණාදෘෂ්ටීන් නොගත්තෙමි. භව තෘෂ්ණාවද නොගත්තෙමි.
“මහණෙනි, ඉක්බිති බ්‍රහ්මයාද ප්‍රධාන බ්‍රහ්ම සමූහයාද, පිරිවර බ්‍රහ්ම සමූහයාද පුදුමයට පැමිණි සිත් ඇත්තෝවූහ. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ මහත් ඍද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයි අද්භූතයි. ශාක්‍යපුත්‍රවූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූ මේ ශ්‍රමණ ගෞතම තෙම යම්සේද, මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහානුභාව ඇති අන්‍යවූ ශ්‍රමණයෙක් හෝ බමුණෙක් හෝ මීට පෙර අප විසින් නොදක්නා ලද්දේය. නොඅසන ලද්දේය. පින්වත්නි, භවයෙහි කැමැත්ත ඇති, භවයෙහි ඇලුනු. භවයෙහි සතුටුවන්නාවූ දෙවි මිනිසුන්ගේ අවිද්‍යාමුල් සහිතවූ භවය උපුටා හරින ලදී’යි (කීහ.
Msdiv 505 “මහණෙනි, ඉක්බිති පාපීවූ මාරතෙම බඹ පිරිසෙහිවූ එක්තරා බ්‍රහ්මයෙකුට ආවෙශවී මට මෙසේ කීයේය. ‘නිදුකාණෙනි, ඉදින් ඔබ මෙසේ චතුරාර්‍ය්‍යසත්‍යය අවබොධ කෙලෙහි නම්, මෙසේ දන්නෙහි නම් ගිහි ශ්‍රාවකයන්හට හෝ පැවිදි ශ්‍රාවකයන්හට හෝ ඒ ධර්ම නොපමුණුවව, ගිහි ශ්‍රාවකයින්ට ධර්මය දෙශනානොකරව පැවිද්දන්ට ධර්මදෙශනා නොකරව. ගිහි ශ්‍රාවකයන් කෙරෙහි ඇල්මක් නොකරව. පැවිද්දන් කෙරෙහි ඇල්මක් නොකරව. මහණ, ඔබට පෙර ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයයි කියා ගන්නාවූ මහණ බමුණෝ වූහ. ඔව්හු ගිහි ශ්‍රාවකයන් හික්මවූහ. පැවිදි ශ්‍රාවකයන් හික්මවූහ. ශ්‍රාවකයින්ට, පැවිද්දන්ට ධර්ම දෙශනා කළහ. ශ්‍රාවකයන් කෙරෙහි පැවිද්දන් කෙරෙහි ගිජුවූහ. ඔවුහු ශ්‍රාවකයන්ද, පැවිද්දන්ද හික්මවා, ශ්‍රාවකයින්ටද පැවිද්දන්ටද, ධර්මය දෙශනා කොට, ශ්‍රාවකයන් කෙරෙහිද, පැවිද්දන් කෙරෙහිද සිතින් ගිජුවූවාහු කය බිඳීමෙන් ජීවිතය සිඳීමෙන් අපායෙහි උපන්නාහුය. මහණ නුඹට පෙර ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයයි කියාගන්නාවූ මහණ බමුණෝ වූහ. ඔවුහු ශ්‍රාවකයන් නොහික්ම වූහ. පැවිද්දන් නොහික්ම වූහ. ශ්‍රාවකයින්ට, පැවිද්දන්ට දහම් නොදෙසූහ. ශ්‍රාවකයින් කෙරෙහි පැවිද්දන් කෙරෙහි ගිජු නොවූහ. ඔවුහු ශ්‍රාවකයන්ද පැවිද්දන්ද නොහික්මවා ශ්‍රාවකයින්ටද පැවිද්දන්ටද ධර්මය දෙශනා නොකොට ශ්‍රාවකයන් කෙරෙහිද පැවිද්දන් කෙරෙහිද සිතින් ගිජු නුවූවාහුය. කය බිඳීමෙන් ජීවිතය සිඳීමෙන් බ්‍රහ්මලොකයෙහි උපන්නාහුය. මහණ ඒ නිසාම ඔබට මේ කාරණය මෙසේ කියමි. නිදුකාණෙනි, එබැවින් ඔබ නිරුත්සාහ වූයේ මේ ආත්මයෙහි සැප විහරණයෙහි යෙදෙමින් වාසය කරව. නිදුකාණෙනි, ධර්මය ප්‍රකාශ නොකිරීම යහපති, අන්‍යයන්හට අවවාද නොකරව”යි. (කීයේය)
“මහණෙනි, මෙසේ කී කල්හි මම පාපීවූ මාරයාට මෙසේකීමි. “මාරය, මම තා දනිමි, මා තා නොදනේයයි, නො සිතව, පාපිය, නුඹ මාරයා වෙහිය. නුඹ මට හිතානුකම්පා ඇතිව මෙසේ නොකියන්නෙහිය. මාරය නුඹ හිතානුකම්පා රහිතවූයේ මෙසේ කියන්නෙහිය. මාරය නුඹට මෙබඳු අදහසක් වෙයි. ‘ශ්‍රමණ ගෞතම තෙම යම් කෙනෙකුට ධර්මය දෙශනා කරන්නේද, ඔවුහු මාගේ විෂය ඉක්මවන්නාහුය’යි (කියායි) මාරය ඒ නුඹ කී මහණ බමුණෝ අසවර්ඥ වූවාහු සර්වඥ වෙමියි කියාගත්තාහුය. මාරය මම වනාහි සර්වඥවූයේම සර්වඥ වෙමියි, කියා ගනිමි. මාරය, තථාගතතෙම ශ්‍රාවකයන්ට ධර්මය දෙශනා කළත් එසේමය මාරය, තථාගත තෙම ශ්‍රාවකයන්ට ධර්මය දෙශනා නොකළත් එසේමය. මාරය තථාගත තෙම ශ්‍රාවකයන් හික්මවූවත් එසේමය. තථාගත තෙම ශ්‍රාවකයන් නොහික්මවූවත් එසේමය. ඊටහේතු කවරේද, මාරය සිත කෙලෙසන්නාවූ නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති, ජරා, මරණ පිණිස පවත්නාවූ යම් ක්ලේශයෝ වෙද්ද, ඒ කෙලෙස් තථාගතයන් වහන්සේට නැත. සිඳින ලද මුල් ඇත්තාහ. කපාදමන ලද තල්ගසක් මෙන් කරන ලද්දාහ. නැති කරන ලද්දාහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහ. මාරය, තල්රුකක් මුදුන සිඳින ලද්දේ නැවත නොවැඩෙන්නේ යම්සේද, එපරිද්දෙන්ම මාරය, සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති, ජරා, මරණ පිණිස පවත්නා වූ යම් කෙලෙස් කෙනෙක් වෙද්ද, ඒ කෙලෙස් තථාගතයන් වහන්සේට නැත. සිඳින ලද මුල් ඇත්තාහ. කපන ලද තල් ගසක් මෙන් කරන ලද්දාහ. නැතිකරන ලද්දාහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහ”යි. (වදාළේය)
මෙසේ මාරයා (මාරභාව වශයෙන් පෙණී සිට) කථා නොකිරීම නිසාද, බ්‍රහ්මයාගේ මන්ත්‍රනය ඇති බැවින්ද, මේ ධර්මයට, ‘බ්‍රහ්ම නිමන්තණික’ සූත්‍රයයි නම් ඇතිවිය.
නවවෙනිවූ බ්‍රහ්ම නිමන්තණික සූත්‍රය නිමි. (5-9)
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source