LibraryMNMN 5
MN 526 min read

Unblemished

Anaṅgaṇa Sutta

20
PDFGenerated
01 · Overview

The Buddha’s chief disciples, Sāriputta and Moggallāna, use a simile of a tarnished bowl to illustrate the blemishes of the mind and conduct. They emphasize how the crucial thing is not so much whether there are blemishes, but whether we are aware of them.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 1. මූල පරියාය වර්ගය 5. අනංගණ සූත්‍රය Msdiv 57 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනාථ පිණ්ඩික සිටුහු විසින් කරන ලද ජෙතවන විහාරයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ‘ඇවැත්නි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ සූත්‍රය වදාළහ.

“ඇවැත්නි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලොකයෙහි ඇත්තාහුය. කවර සතරදෙනෙක්ද යත්? ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම අංගණ (තියුණු කෙලෙස්) සහිතවූයේම තමා තුළ තියුණුවූ කෙලෙස් ඇතැයි තතුසේ නොදනියි. ඇවැත්නි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ දනියි. ඇවැත්නි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිතවූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනියි.

“ඇවැත්නි, ඒ පුද්ගලයන් අතුරෙහි යම් පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ නොදනියිද මේතෙම මේ කෙලෙස් සහිත පුද්ගලයන් දෙදෙන අතුරෙන් පහත් පුරුෂයා යයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ දනියිද, මෙතෙම කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙන අතුරෙන් ශ්‍රෙෂ්ඨ පුරුෂයායයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක්තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතියි තතුසේ නොදනියිද මෙතෙම කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් පහත් පුරුෂයායයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ඒ පුද්ගලයෙක් තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනියිද මෙතෙම කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රෙෂ්ඨ පුරුෂයායයි කියනු ලැබේ.”

Msdiv 58 මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය ප්‍රකාශ කළහ.

“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් පහත් පුද්ගලයායයි කියනු ලැබේ. එකෙක් ශ්‍රෙෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද? කෙලෙස් රහිතවූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් පහත් පුද්ගලයා යයි කියනු ලැබේ. එකෙක් ශ්‍රෙෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?”

Msdiv 59 “ඇවැත්නි, ඔවුන් අතුරෙහි යම් ඒ පුද්ගලයෙක්තෙම කෙලෙස් සහිත වූයේම තමා තුළ කෙලෙස් ඇත්තේයයි තතුසේ නොදනීද ඔහු ගැන මෙසේ කැමැතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර නොගනියි, වෑයම් නොකරයි, වීර්ය නොකරයි. හෙතෙම රාග සහිතවූයේ ද්වේෂ සහිතවූයේ මොහ සහිතවූයේ කෙලෙස් සහිතවූයේ කිළුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේය.

“ඇවැත්නි, සල්පිලින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනෙනලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුනාවූ රන් තලියක් වේද එය හිමියෝ පරිභොග නොකරත්නම් පිරිසිදු නොකරත්නම් ධූලි සහිත තැන්හි දමත් නම් ඒ රන් තලිය ටික කලකින් අතිශයින් කිළුටුවී මල සහිත නොවන්නීද? එසේය ආයුෂ්මත්නි, ඒ රන්තලිය කල්යාමෙන් කිළුටු වූවා මල සහිත වන්නීය. ඇවැත්නි, කෙලෙස් සහිතවූයේම තමා තුළ කෙලෙස් ඇත්තේයයි තතුසේ නොදනීද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර නොගනියි. වෑයම් නොකරයි, හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මොහ සහිත වූයේ කෙලෙස් සහිත වූයේ කිළුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේය.

“ඇවැත්නි, ඒ පුද්ගලයන් අතුරෙහි යම් පුද්ගලයෙක් තෙම කෙලෙස් සහිත වූයේම තමා තුළ කෙලෙස් ඇතැයි තතුසේ දනියිද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුය. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර ගනියි. වීර්යකරයි. හෙතෙම රාග රහිත වූයේ ද්වේෂ සහිත වූයේ මොහ රහිත වූයේ කෙලෙස් රහිතවූයේ නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියා කරයි. ඇවැත්නි, සල්පිලකින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනෙන ලද දූවිල්ලෙන් හා මළකඩින් ගැවසුණාවූ රන් තලියක් එය හිමියෝ පරිභෝග කරත් නම්, පිරිසිදු කරත් නම් ධූලි සහිත තන්හි නොදමත් නම් ඒ ලොහතලිය ටිකකලකින් අතිශයින් පිරිසිදුවී ඔප වැටෙන්නේ නොවේද?” “එසේය. ආයුෂ්මතුනි,’‘ “ඇවැත්නි, එපරිද්දෙන්ම යම් ඒ පුද්ගලයෙක් කෙලෙස් සහිත වූයේම තමා තුළ කෙලෙස් ඇතැයි දනීද, ඔහු සම්බන්ධයෙන් මෙය කැමැතිවිය යුතුය. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකරගනියි, වෑයම් කරයි. වීර්ය කරයි, හෙතෙම රාග රහිතවූයේ ද්වේෂ රහිතවූයේ මොහ රහිතවූයේ කෙලෙස් රහිතවූයේ නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියාකරයි.

“ඇවැත්නි, ඒ පුද්ගලයන් අතරෙහි යම් පුද්ගලයෙක් කෙලෙස් රහිතවූයේම තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ නොදනීද, ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුය. හෙතෙම ශුභ අරමුණු මෙනෙහිකරයි, ශුභ අරමුණු මෙනෙහි කිරීමෙන් රාගය ඔහුගේ කුසල්සිත විනාශ කරයි. හෙතෙම රාග සහිතවූයේ, ද්වේෂ සහිත වූයේ මොහ සහිත වූයේ කාලක්‍රියා කරයි. ඇවැත්නි, සල්පිලින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනෙන ලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුනාවූ රන් තලියක් එය හිමියෝ පරිභොග නොකරත්නම් පිරිසිදු නොකරත්නම් ධූලි සහිත තන්හි දමත්නම් ඒ රන්තලිය ටික කලකින් අතිශයින් කිළුටුවී මල බැඳුනේ නොවන්නේද ‘එසේය, ආයුෂ්මතුනි, වන්නේය.’ ‘එපරිද්දෙන්ම යම් ඒ පුද්ගලයෙක්තෙම කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැත්තේයයි තතුසේ නොදනීද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුයි. ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර නොගනියි. වෑයම් නොකරයි. වීර්ය නොකරයි. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මොහ සහිත වූයේ කෙලෙස් සහිත වූයේ කිළුටු සිත් ඇත්තේ කළුරිය කරන්නේය.

“ඇවැත්නි, ඔවුන් අතරෙහි යම් ඒ පුද්ගලයෙක් කෙලෙස් රහිත වූයේ තමා තුළ කෙලෙස් නැතැයි තතුසේ දනීද, ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුය. ශුභ අරමුණ මෙනෙහි නොකරයි. ශුභ අරමුණ මෙනෙහි නොකිරීමෙන් රාගය ඔහුගේ කුසල් සිත විනාශ නොකරයි, හෙතෙම රාග රහිත වූයේ, ද්වේෂ රහිත වූයේ මොහ රහිත වූයේ කෙලෙස් රහිත වූයේ නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියාකරයි. ඇවැත්නි, සල්පිලකින් හෝ රන්කරු කුලයකින් හෝ ගෙනෙන ලද දූවිල්ලෙන් හා මලකඩින් ගැවසුණාවූ රන්තලියක් එය හිමියෝ පරිභොග කරත්නම්, පිරිසුදු කරත් නම් ධූලි සහිත තන්හි නොදමත් නම් ඒ රන්තලිය ටිකකලකින් අතිශයින් පිරිසුදුවී ඔප වැටෙන්නේ නොවේද? ‘එසේය ආයුෂ්මතුනි, වන්නේය.’ ඇවැත්නි, එපරිද්දෙන් යම් ඒ පුද්ගලයෙක් කෙලෙස් රහිත වූයේම තමා තුළ කෙලෙස් නැතැයි දනීද ඔහු සම්බන්ධයෙන් මෙය කැමතිවිය යුතුය, ඔහු ඒ කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර ගනියි, වෑයම් කරයි, වීර්ය කරයි. හෙතෙම රාග රහිතවූයේ ද්වේෂ රහිත වූයේ මොහ රහිත වූයේ කෙලෙස් රහිතවූයේ නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියා කරයි.

“මොග්ගල්ලාන, කෙලෙස් සහිතවූම මේ පුද්ගලයන් දෙදෙනා අතරෙන් එකෙක් හීනපුද්ගලයායයි කියනු ලැබේද, එකෙක් ශ්‍රෙෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේද, මේ වනාහි ඊට හේතුවයි, ඊට ප්‍රත්‍යයයි. මොග්ගල්ලාන, කෙලෙස් රහිතවූම මේ පුද්ගලයන් දෙදෙනා අතරින් එකෙක් හීන පුද්ගලයායයි කියනු ලැබේද, එකෙක් ශ්‍රෙෂ්ඨ පුද්ගලයායයි කියනු ලැබේද, මේ වනාහි ඊට හේතුවය ඊට ප්‍රත්‍යයය.

Msdiv 60 “ඇවැත්නි, අංගණය අංගණයයි කියනු ලැබේ ඇවැත්නි, මේ අංගණය යනු කුමකට නමක්ද? ඇවැත්නි අංගණය යනු කැමැතිසේ හැසිරීමයයි කියනලද ලාමක වූ අකුසල ධර්මයන්ට නමකි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ඇවතට පැමිණියෙමි. මා ඇවතට පැමිණි බව භික්ෂූහු නොදන්නාහු නම් හොඳය (කියාය). යම්හෙයකින් භික්ෂූහු ඒ භික්ෂුව ඇවැතට පැමිණියේයයි දන්නාහු නම් භික්ෂූහු මා ඇවැතට පැමිණියේ යයි දනිත්යයි ඒ භික්ෂුව කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඇවැත්නි, ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ඇවතට පැමිණියේ වෙමි. භික්ෂූහු මට රහසිගතව චොදනා කරන්නාහුනම් සඟමැද චොදනා නොකරන්නාහු නම් හොඳය (කියාය) යම්හෙයකින් භික්ෂූහු ඒ භික්ෂුවට සඟමැද චෝදනා කරත්ද, රහසිගතව චෝදනා නොකරද්ද, භික්ෂූහු මට සඟමැද චෝදනා කරති. රහසිගතව චෝදනා නොකරතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටුවූයේ වෙයි, ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ඇවතට පැමිණියේ වෙමි. සමාන පුද්ගලයෙක් මට චොදනා කරන්නේනම්, මා අසන පුද්ගලයෙක් චොදනා නොකරන්නේ නම් හොඳය (කියාය.) යම් හෙයකින් ඒ භික්ෂුවට අසමාන පුද්ගලයෙක් චොදනා කරයිද, සමාන පුද්ගලයෙක් චොදනා නොකරයිද, සමාන පුද්ගලයෙක් නොව අසමාන පුද්ගලයෙක් මට චොදනා කරයි. කියා හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කොපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ශාස්තෲන් වහන්සේ මගෙන්ම අස අසා භික්ෂූන්ට ධර්මදෙශනා කරන්නේ නම් ශාස්තෲන් වහන්සේ අන්‍ය භික්ෂුවකගෙන් අස අසා භික්ෂූන්ට ධර්ම දෙශනා නොකරන්නේ නම් හොඳය (කියාය) ඇවැත්නි, යම් හේතුවකින් ශාස්තෲන්වහන්සේ අන්‍ය භික්ෂුවකගෙන් අස අසා ධර්ම දෙශනා කරත්ද, ශාස්තෲන්වහන්සේ ඒ භික්ෂුවගෙන් අස අසා ධර්මදෙශනා නොකරත්ද, ශාස්තෲන්වහන්සේ අන්‍ය භික්ෂුවකගෙන් අස අසා ධර්මදේශනා කරන්නාහ, ශාස්තෘන්වහන්සේ මගෙන් අස අසා ධර්ම දේනා නොකරන්නාහයි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. භික්ෂූහු මා ම පෙරටු කොට පෙරටුකොට බත් පිණිස ගමට පිවිසෙන්නාහු නම්, අන්‍ය භික්ෂුවක් පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට නොපිවිසෙන්නාහු නම් හොඳය කියාය. ඇවැත්නි, යම් හේතුවකින් භික්ෂූහු අන්‍ය භික්ෂුවක් පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට පිවිසෙත්ද භික්ෂූහු ඒ භික්ෂුව පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට නොපිවිසෙත්ද, භික්ෂූහු අන්‍ය භික්ෂුවක් පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට පිවිසෙති භික්ෂූහු මා පෙරටුකොට පෙරටුකොට බත් පිණිස ගමට නොපිවිසෙත්යයි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටුවූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ම දන් ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භොජනය ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් දන් ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දියබඳුන, ප්‍රධාන භොජනය නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් දන්ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භොජනය ලබයිද, මේ භික්ෂුව දන් ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භොජනය නොලබයිද අන්‍ය භික්ෂුවක් දන් ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන ප්‍රධාන භොජනය ලබයි, මම දන්ශාලාවෙහිදී මුල් ආසනය, පළමුවෙනි දිය බඳුන, ප්‍රධාන භොජනය නොලබමියි. හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. මම ම දන් ශාලාවෙහිදී වළඳා අවසානයේ අනුමෝදනාව කරන්නෙම් නම් අන්‍ය භික්ෂුවක් දන් ශාලාවේදී වළඳා අවසානයේ අනුමෝදනාව නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් දන්ශාලාවෙහිදී වළඳා අවසානයේ අනුමෝදනාව කරයිද, මේ භික්ෂුව දන් ශාලාවෙහිදී වළඳා අවසානයේ අනුමෝදනා කරන්ට නොලබයිද, අන්‍ය භික්ෂුවක් දන් ශාලාවෙහිදී වළඳා අවසානයේ අනුමෝදනාව කරයි. මම දන් ශාලාවෙහි වළඳා අවසානයේ අනුමෝදනාව කරන්ට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, අසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ භික්ෂූන්ට මම ම ධර්මදේශනා කරන්නෙම් නම් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂූන්ට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂූන්ට ධර්ම දේශනා කරයිද, මේ භික්ෂුව ආරාමයෙහි රැස්වූ භික්ෂූන්හට ධර්ම දේශනා කරන්නට නොලබයිද, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂූන්හට ධර්ම දේශනා කරයි, මම ආරාමයෙහි රැස්වූ භික්ෂූන්හට ධර්ම දේශනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට මම ම ධර්මදේශනා කරන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය) ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා කරයිද, මේ භික්ෂුව ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා කරන්නට නොලබයිද, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා කරයි, මම ආරාමයෙහි රැස්වූ භික්ෂුණීන්හට ධර්ම දේශනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට මම ම ධර්මදේශනා කරන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය) ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසකයන්ට ධර්ම දේශනා කරයිද, මේ භික්ෂුව ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට ධර්ම දේශනා කරන්නට නොලබයිද, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට ධර්ම දේශනා කරයි, මම ආරාමයෙහි රැස්වූ උපාසකයන්හට ධර්ම දේශනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට මම ම ධර්මදේශනා කරන්නෙම් නම් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසිකාවන් හට ධර්ම දේශනා නොකරන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට ධර්ම දේශනා කරයිද, මේ භික්ෂුව ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට ධර්ම දේශනා කරන්නට නොලබයිද, අන්‍ය භික්ෂුවක් ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට ධර්ම දේශනා කරයි, මම ආරාමයෙහි රැස්වූ උපාසිකාවන්හට ධර්ම දේශනා කරන්නට නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි, නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය. භික්ෂූහු මටම සත්කාර කරන්නාහු නම්, ගරුකරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම් භික්ෂූහු අන්‍ය භික්ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම් නොපුදන්නාහු නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් භික්ෂූහු අන්‍ය භික්ෂුවකට සත්කාර කරත්ද, ගරු කරත්ද බුහුමන් කරත්ද, පුදත්ද, මේ භික්ෂුවට සත්කාර නොකරත්ද, ගරු නොකරත්ද, බුහුමන් නොකරත්ද නොපුදත්ද, භික්ෂුහු අන්‍ය භික්ෂුවකට සත්කාර කරති. ගරුකරති, බුහුමන් කරති, පුදති, භික්ෂූහු මට සත්කාර නොකරති, ගරු නොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යනදෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය. භික්ෂුණීහු මටම සත්කාර කරන්නාහු නම්, ගරුකරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, භික්ෂුණීහු අන්‍ය භික්ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම් නොපුදන්නාහු නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් භික්ෂුණීහු අන්‍ය භික්ෂුවකට සත්කාර කරත්ද, ගරු කරත්ද බුහුමන් කරත්ද, පුදත්ද, මේ භික්ෂුවට සත්කාර නොකරත්ද, ගරු නොකරත්ද, බුහුමන් නොකරත්ද නොපුදත්ද, භික්ෂුණීහු අන්‍ය භික්ෂුවකට සත්කාර කරති. ගරුකරති, බුහුමන් කරති, පුදති, භික්ෂුණීහු මට සත්කාර නොකරති, ගරු නොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යනදෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය, උපාසකවරු මටම සත්කාර කරන්නාහු නම්, ගරුකරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, උපාසකවරු අන්‍ය භික්ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම්, නොපුදන්නාහු නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් උපාසකවරු අන්‍ය භික්ෂුවකට සත්කාර කරත්ද, ගරු කරත්ද බුහුමන් කරත්ද, පුදත්ද, මේ භික්ෂුවට සත්කාර නොකරත්ද, ගරු නොකරත්ද, බුහුමන් නොකරත්ද නොපුදත්ද, උපාසකවරු අන්‍ය භික්ෂුවකට සත්කාර කරති. ගරුකරති, බුහුමන් කරති, පුදති, උපාසකවරු මට සත්කාර නොකරති, ගරු නොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යනදෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කල්පනාවක් ඇතිවිය හැකිය. උපාසිකාවරු මටම සත්කාර කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, උපාසිකාවරු අන්‍ය භික්ෂුවකට සත්කාර නොකරන්නාහු නම්, ගරු නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම් නොපුදන්නාහු නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් උපාසිකාවරු අන්‍ය භික්ෂුවකට සත්කාර කරත්ද, ගරු කරත්ද බුහුමන් කරත්ද, පුදත්ද, යම් භික්ෂුවට සත්කාර නොකරත්ද, ගරු නොකරත්ද, බුහුමන් නොකරත්ද, නොපුදත්ද, උපාසිකාවරු අන්‍ය භික්ෂුවකට සත්කාර කරති, ගරුකරති, බුහුමන් කරති, පුදති, උපාසිකාවරු මට සත්කාර නොකරති, ගරු නොකරති, බුහුමන් නොකරති, නොපුදතියි හෙතෙම කෝපයට පත් වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යනදෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) සිවුරු මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සිවුරු නොලබන්නේ නම් හොඳය (කියාය) ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සිවුරු ලබයි නම් මේ භික්ෂුව ප්‍රණීත සිවුරු නොලබයි නම් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සිවුරු ලබයි. මම ප්‍රණීත සිවුරු නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) පිණ්ඩපාතය මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතය නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතය ලබයි නම් මේ භික්ෂුව ප්‍රණීත පිණ්ඩපාතය නොලබයි නම් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත පිණ්ඩපාතය ලබයි, මම ප්‍රණීත පිණ්ඩපාතය නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) සෙනසුන මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සෙනසුන නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සෙනසුන ලබයි නම් මේ භික්ෂුව ප්‍රණීත සෙනසුන නොලබයි නම් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත සෙනසුන ලබයි. මම ප්‍රණීත සෙනසුන නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවකට මෙබඳු කැමැත්තක් ඇතිවිය හැකිය. ප්‍රණීත (ඉතා හොඳ) ගිලන්පස බෙහෙත් පිරිකර මම ම ලබන්නෙම් නම්, අන්‍ය භික්ෂුවක් ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නේ නම් හොඳය (කියාය). ඇවැත්නි, යම් හේතුවකින් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර ලබයි නම් මේ භික්ෂුව ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර නොලබයි නම් අන්‍ය භික්ෂුවක් ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර ලබයි. මම ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර නොලබමියි හෙතෙම කෝපයට පත්වෙයි. නොසතුටු වූයේ වෙයි. ඒ කෝපය හා නොසතුට යන දෙකම අංගණ නමි.

“ඇවැත්නි, අංගණ යනුකැමැත්ත පරිදි පවත්නාවූ මේ ලාමකවූ අකුසලයන්ට නමකි,

Msdiv 61 “ඇවැත්නි, යම්කිසි භික්ෂුවකගේ කැමැත්ත පරිදි පවත්නාවූ ලාමකවූ මේ අකුශලයෝ පහනොකළාහු දක්නා ලැබෙත්ද ඇතැයි අසනු ලැබෙත්ද, ඔහු ආරණ්‍යයක සිටියත්, වනයෙහි දුර සෙනසුන්හි විසූවත්, පිණ්ඩපාතිකාංග ඇතිවුවත්, ගෙපිළිවෙළින් පිඬුසිඟීම් ඇති වූවත් පාංශුකූලිකාංග ඇතිවුවත් රළුවූ සිවුරුදරන්නෙකුවුවත් එකට මහණදම් පුරණ සබ්‍රම්සරහු ඔහුට සත්කාර නොකරත් ගරු නොකරත් බුහුමන් නොකරත්, නොපුදත්. ඊට හේතු කවරේද? ඒ ආයුෂ්මතුන්ගේ ලාමකවූ කැමැත්තසේ පවත්නාවූ මේ අකුශලයෝ පහ නොකළාහු දක්නා ලබන්නාහුද වෙත්. අසනු ලබන්නාහුද වෙත්. ඇවැත්නි, සල්පිලින් හෝ රන් කරු කුලයෙන් හෝ ගෙණෙනලද පිරිසිදුවූ බබලන්නාවූ රන්තලියක් වේද ඒ රන්තලිය හිමියෝ සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනිස් කුණක් හෝ එහි දමා තවත් රන් තලයකින් වසා වෙළඳ පළට ගෙනයන්නාහුය. ජනයා එය දැක මෙසේ කියන්නේය. පින්වත්නි, ඉතා වටිනා වස්තුවක් මෙන් මේ ගෙනයන්නේ කුමක්ද? මෙසේ කියා ඔවුන් නවත්වා භාජනය හැර බලන්නාහ. දැකීමත් සමගම අමනාපය ඇති වෙයි. පිළිකුලක් ඇති වෙයි. කැත බව වැටහෙයි බඩගින්න ඇත්ත වුන්ටද එය කනු කැමති බවක් ඇති නොවේ. බඩ පිරෙන තෙක් කා සිටියවුන් ගැන කියනු කිම?

“එසේම ඇවැත්නි, යම්කිසි භික්ෂුවකගේ කැමැත්තසේ පවත්නාවූ මේ ලාමක අකුශල ධර්මයෝ පහනොකළාහු දක්නා ලැබෙද්ද, අසනු ලැබෙද්ද, ඒ භික්ෂුව කිසිසේත් අරණ්‍යයෙහි වාසය කරන්නේ වී නමුත් දුර සේනාසනයන්හි වසන නමුත් පිණ්ඩපාතිකාංග ඇති නමුත් ගෙපිළිවෙළින් පිඬුසිගන්නෙකුවූ නමුත් පාංසුකූල සිවුරු දරන්නෙකුවූ නමුත් රළු සිවුරු දරන්නෙකුවූ නමුත් ඔහුට සබ්‍රහ්මචාරී භික්ෂූහු සත්කාර නොකරත්, ගරු නොකරත්, බුහුමන් නොකරත්, නුපුදත්, ඊට හේතු කවරේද? ඒ ආයුෂ්මතුන් වහන්සේගේ කැමැත්ත සේ පවත්නාවූ පහනොකළාවූ ලාමක අකුසල ධර්මයෝ දක්නාහුද ලැබෙත්. අසන ලද්දාහුද වෙත්.

Msdiv 62 “ඇවැත්නි, යම්කිසි භික්ෂුවක් විසින් කැමැත්ත පරිදි පවත්නාවූ මේ ලාමක අකුශල ධර්මයෝ පහකරන ලද්දාහු දක්නා ලැබෙද්ද අසනු ලැබෙද්ද ඒ භික්ෂුව ගමෙහි වාසය කළත් ආරාධනා පිළිගත්තත් ගෙහිමියන් දෙන සිවුරු පිළිගත්තත් එකට මහණ දම් පුරණ සබ්‍රම්සරහු ඔහුට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඊට හේතු කවරේද යත්? ඒ ආයුෂ්මතුන්ගේ ඒ කැමැත්ත පරිදි වන්නාවූ ලාමක අකුසල ධර්ම පහ කරන ලද්දාහු දකිනුද ලැබෙත්, අසනුද ලැබෙත්.

“ඇවැත්නි, සල්පිළින් හෝ රන්කරු කුලයෙන් හෝ ගෙනෙන ලද පිරිසිදුවූ බබලන්නාවූ රන් තලියක් වේද එය හිමියෝ කළු සහල් තෝරා ඉවත් කළ ඇල්හාලේ බත නොයෙක් සූප හා නොයෙක් ව්‍යංජනවලින් පුරවා අනිත් රන් තලියකින් වසා වෙළඳපළට ගෙනයන්නාහුය. ජනයා එය දැක මෙසේ කියන්නේය. පින්වත්නි, ඉතා වටිනා වස්තුවක් මෙන් මේ ගෙනයන්නේ කුමක්ද? මෙසේ කියා ඔවුන් නවත්වා භාජනය හැර බලන්නාහ. දැකීමත් සමගම මනාප බව ඇති වෙයි. නොපිළිකුල් බව ඇති වෙයි, කැත නැති බව වැටහෙයි. බඩ පිරෙන තෙක් කා සිටියවුන්හටද කෑමට ආශාව උපදී. බඩගින්නේ සිටියවුන්හට කියනු කිම?

“ඇවැත්නි, එපරිද්දෙන්ම යම් කිසි භික්ෂුවක් විසින් කැමැත්ත පරිදි පවත්නාවූ මේ ලාමකවූ අකුසලයෝ පහකළාහු දක්නා ලැබෙත්ද, අසනු ලැබෙත්ද, ඔහු ගමෙහි වාසය කළත් ආරාධනා පිළිගත්තත් ගෙහිමියන් දෙන සිවුරු පිළිගත්තත් එකට මහණ දම් පුරණ සබ්‍රම්සරහු ඔහුට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඊට හේතු කවරේද? ඒ ආයුෂ්මතුන් විසින් කැමැත්තසේ පවත්නාවූ ලාමකවූ අකුශල ධර්මයන් පහ කළ බව දකිනුද ලබන හෙයිනි, අසනුද ලැබෙන හෙයිනි”

Msdiv 63 මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීහ.

“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට උපමාවක් වැටහේ යයි” (කියාය). “ඇවැත්නි මොග්ගල්ලානයෙනි එය ගෙනහැර දක්වනු මැනවැයි” කීය. “ඇවැත්නි, එක්කලෙක මම රජගහ නුවරට අයත් සූබ්බජ නම් නුවර වාසය කෙළෙමි. එකල්හි මම පෙරවරු කාලයෙහි හැඳපෙරව පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස ගියෙමි. එකල්හි සමිති නම් වූ රියකරු පුත්‍ර තෙම රථයකට නිම්වළලල්ලක් හසියි. පැරණි රියකරු පුත්‍රයෙක් වූ පණ්ඩු පුත්‍ර නම් වූ ආජීවක තෙම ඔහු වෙත පැමිණ සිටියේය.

“ඇවැත්නි, එහිදී පැරණි රියකරු පුත්‍රවූ පණ්ඩුපුත්‍ර නම් ආජීවකයාහට මෙබඳු කල්පනාවක් ඇති විය, ‘මේ සමිති නම් රියකරුපුත්‍ර තෙම මේ නිම් වළල්ලෙහි මේ නැමුනු තැනද මේ ඇදයද මේ නරක තැන්ද සසින්නේ නම් ඉතා යෙහෙක. එසේ වුවොත් මේ නිම්වළල්ල පහවූ දොස් ඇතිව, පිරිසිදුව හරෙහි පිහිටියා වන්නේය.’ (කියාය) ඇවැත්නි, පැරණි රියකරු පුත්‍රවූ පණ්ඩු පුත්‍ර නම් ආජීවකයා යම් යම් අන්දමින් කල්පනා කළේද, සමිති නම් රියකරු පුත්‍ර තෙම ඒ නිම්වළල්ලෙහි ඒ නැමුණු තැනද ඒ ඒ ඇදයද ඒ ඒ දොෂයද සසියි. ඇවැත්නි පරණ රියකරු පුත්‍රවූ පණ්ඩු නම් ආජීවක තෙම සතුටට පත්ව ඔබ සිතින් මගේ සිත දැනගෙන මෙන් සසින්නෙහියයි,’ සතුටු වචන පහළ කළේය.

“ඇවැත්නි, එපරිද්දෙන්ම ශ්‍රද්ධාවක් නැත්තාවූ ශ්‍රද්ධාවක් නැතිව ජීවිකාව පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාවූ කයිරාටික වූ රැවටිලි කාරවූ පුරුදු කළ කයිරාටික කම් ඇති සිත් විසිර ගියාවූ ඇතුළත සාරයක් නැත්තාවූ හිස් මාන ඇති චපලවූ, ක්‍රෑර වචන කියන සංවර නොවූ වචන ඇති ඉන්ද්‍රියයන් සංවර නොකළ භොජනයෙහි පමණ නොදන්නාවූ නිදිවැරීමෙහි නොයෙදුනාවූ ශ්‍රමණ ධර්මයෙහි බලාපොරොත්තු නැත්තාවූ ශික්ෂාවෙහි තියුණු ගෞරව නැත්තාවූ සිවුරු ආදිය බොහෝ ඇත්තාවූ සස්න ලිහිල් කොට ගන්නාවූ නීවරණයන්හි පෙරටුව යන්නාවූ විවේකයෙහි වීර්ය නැත්තාවූ මැලිවූ පහවූ වීර්ය ඇති මුළාවූ සිහි ඇති හොඳ නුවණ නැත්තාවූ එකඟවූ සිත් නැති නොයෙක් අරමුණෙහි දුවන සිත් ඇති ප්‍රඥාව නැත්තාවූ කෙළතොළුවූ යම් ඒ භික්ෂූහු වෙත්ද? ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්ම දේශනාවෙන් තමාගේ සිතින් ඔවුන්ගේ සිත් දැනගෙන සසින්නාක් වැනියයි කීය.

“ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කයිරාටික නුවූ රැවටිලි නැත්තාවූ පුරුදු කළ කයිරාටිකම් නැති විසිරනොගිය සිත් ඇති හිස් මාන නැත්තාවූ චපල නුවූ ක්‍රෑර වචන නැත්තාවූ සංවර වචන ඇත්තාවූ ඉන්ද්‍රියයන්හි වසන ලද දොරවල් ඇති භොජනයෙහි පමණ දන්නාවූ නිදිවැරීමෙහි යෙදුන ශ්‍රමණ ධර්මයෙහි බලාපොරොත්තු ඇති ශික්ෂාවෙහි අධික ගෞරව ඇති සිවුරු ආදිය බොහෝ කොට නැත්තාවූ සස්න ලිහිල්කොට නොගන්නාවූ නීවරණයන්හි පෙරටුව නොයන්නාවූ විවේකයෙහි පෙරටුවයන්නාවූ පටන්ගන්නාලද වීර්ය ඇත්තාවූ කාය ජීවිතයෙහි බලාපොරොත්තු නැති හොඳ සිහිකල්පනාව ඇති හොඳ ප්‍රඥා ඇති එකඟසිත් ඇති නුවණැත්තාවූ, කෙළතොළු නොවූ යම් ඒ කුලපුත්‍රයෝ වෙත්ද, ඔවුහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ මේ ධර්ම ක්‍රමය අසා වචනයෙන් හා සිතින් බොන්නාක් මෙනැයි හඟිමි. අනුභව කරන්නාක් මෙනැයි හඟිමි. පින්වත, සබ්‍රම්සරුන් අකුසලයෙන් නඟා කුසලයෙහි පිහිටුවීම ඉතා හොඳය.

“ඇවැත්නි, සැරසීමට කැමතිවූ තරුණවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ වතුර නෑයේ උපුල් මල්දමක් හෝ දෑසමන් මල් දමක් හෝ යොහොඹු මල්දමක් හෝ ලැබ යම්සේ දෑතින් පිළිගෙන උතුම් අඩ්ගයවූ හිසෙහි පැළඳ ගනීද, එපරිද්දෙන්ම ඇවැත්නි, ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කයිරාටික නුවූ රැවටිලි නැත්තාවූ පුරුදු කළ කයිරාටිකකම් නැති විසිරගිය සිත් නැත්තාවූ හිස්වූ මාන නැත්තාවූ චපල නුවූ ක්‍රෑර වචන නැත්තාවූ සංවර වචන ඇත්තාවූ ඉන්ද්‍රියයන්හි වසනලද දොරවල් ඇති භොජනයෙහි පමණ දන්නාවූ නිදිවැරීමෙහි යෙදුනු ශ්‍රමණ ධර්මයෙහි බලාපොරොත්තු ඇති ශික්ෂාවෙහි අධික ගෞරව ඇති සිවුරු ආදිය බොහෝ කොට නැත්තාවූ සස්න ලිහිල්කොට නොගන්නාවූ නීවරණයන්හි පෙරටුව නොයන්නාවූ විවේකයෙහි පෙරටුව යන්නාවූ පටන්ගන්නාලද වීර්ය ඇත්තාවූ කාය ජීවිතයෙහි බලාපොරොත්තු නැති, හොඳ සිහිකල්පනාව ඇති හොඳ ප්‍රඥා ඇති එකඟ සිත් ඇති නුවණැත්තාවූ කෙළතොළු නොවූ, යම් ඒ කුලපුත්‍රයෝ වෙත්ද, ඔව්හු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ මේ ධර්ම ක්‍රමය අසා වචනයෙන් හා සිතින් බොන්නාක් මෙනි. අනුභව කරන්නාක් මෙනි. පින්වතුන් වහන්සේ සබ්‍රහ්මචාරී භික්ෂූන් අකුශලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවයි, එය ඉතා යහපත්ය.” මෙසේ මේ මහානාගයෝ (කෙලෙස් නැති ශ්‍රෙෂ්ඨයෝ) දෙදෙන ඔවුනොවුන්ගේ යහපත් වචන සතුටින් අනුමෝදන් වූවාහුය.

පස්වෙනිවූ අනංගණ සූත්‍රය නිමි

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection