The Rebuke of Māra
Māratajjanīya Sutta
PDFGenerated
Māra, the trickster and god of death, tried to annoy Moggallāna. He not only failed but was subject to a stern sermon warning of the dangers of attacking the Buddha’s disciples.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 5. චූල යමක වර්ගය 50. මාර තජ්ජනීය සූත්‍රය Msdiv 506 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භගුනම් දනව්වෙහි, සුංසුමාරගිරි නම් නුවර, භෙසකලා නම් වනයෙහි වාසය කරති. එකල්හි මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ එළිමහනෙහි සක්මන් කරමින් සිටියහ. එකල්හි පාපීවූ මාරතෙම මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ කුසට ඇතුල්වූයේ, ආමාශය ඇතුළට වැදුනේ වෙයි. ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙසේ සිතුනේය. කුමක් හෙයින් මාගේ කුස උඳුබත් කෑ කලෙක මෙන් බරට දැනේද, (කියාය) ඉක්බිති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ සක්මනින් බැස විහාරයට වැඩ පැණවූ අස්නෙහි, වැඩ හුන්නේය, වැඩහිඳ ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ තමා ගැන කල්පනා කළහ.
මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කුසට වැදී ආමාශයට ඇතුල්වූ, පාපීවූ මාරයා දුටහ. දැක, පාපීවූ, මාරයාට මෙසේ කීහ. “පාපීය, නික්මෙව, පාපිය, නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයින්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් මුලුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස, නොවේවා යි කීහ. ඉක්බිති පාපීවූ මාරයාට මේ සිතවිය. “මේ ශ්‍රමණතෙම, මා නොදැනම නොදැකම පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස නොවේවා’යි මෙසේ කීයේය. ඔහුගේ යම් ශාස්තෘ කෙනෙක් වේද, හෙතෙමේද මා වහාම දැන නොගන්නේය. මේ ශ්‍රාවකතෙම කෙසේ දන්නේද”, කියායි.
ඉක්බිති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ පාපීවූ මාරයාට මෙසේ කීහ. “පාපීමාරය, මේ කාරණයෙහිලා මම තා දනිමි. මා නොදනීයයි නුඹ නොසිතව. පාපිය, නුඹ මාරයාවෙහිය. පාපිය නුඹ මෙසේ සිතයි. ‘මේ ශ්‍රමණ තෙම මා නොදැනම, නොදැකම, පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස නොවේවා’යි කියන්නේය. ඔහුගේ යම් ශාස්තෘ කෙනෙක් වේද, හෙතෙමේද, මා වහාම දැන නොගන්නේය. මේ ශ්‍රාවකතෙම කෙසේ නම් දන්නේද?” (කියායි.)
ඉක්බිති පාපීවූ, මාරයාට මෙසේ සිත්විය. “මේ ශ්‍රමණ තෙමේ මා දැනම, දැකම, පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, ඔබට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස නොවේවා’යි කියන්නේය” (යනු වෙනි)
ඉක්බිති පාපීවූ මාරතෙම ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ මුවින් නික්ම කවුළුවෙන් පිටත සිටියේය.
Msdiv 507 ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කවුළුව අසල සිටියාවූ, පාපීවූ, මාරයා දුටහ. දැක පාපීවූ මාරයාට මෙසේ කීහ. “මාරය ඔතනදීද මම තා දකිමි. මා නොදකීයයි නුඹ නොසිතව පාපිය, මේ නුඹ කවුළුව අසල සිටියෙහිය.
“පාපිය, පෙරවූවක් කියමි. මම දූසීනම් මාරයෙක්වීමි. ඒ මට කාලීනම් නැගනියක් විය. නුඹ ඇගේ පුත්‍රයාය. ඒ නුඹ මාගේ බෑනා විය. මාරය, එකල්හි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ නම් භාග්‍යවතුන් වහන්සේ ලොකයෙහි පහළ වූහ. මාරය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ විධුරය සඤ්ජිවයයන නම් ඇති අග්‍රශ්‍රාවක දෙනමක් විය. මාරය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ යම් පමණ ශ්‍රාවක සමූහයා අතුරෙන් ධර්ම දෙශනා කිරීමෙහි, විධුර ස්ථවිරයන් වහන්සේ හා සමානවූ කිසිවෙක් නොවූහ. මාරය මේ කාරණයෙන් ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේට, ‘විධුරය, විධුරය, කියාම නාමය පහළ විය.
“මාරය ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ ආරණ්‍යයට ගියේද, වෘක්ෂ මූලයකට ගියේද, ශුන්‍යාගාරයට ගියේද, ඉතා පහසුවෙන් නිරොධ සමාපත්තියට සමවදියි. මාරය, මම පෙර වූවක් කියමි. ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ එක්තරා රුකක් මුල නිරොධ සමාපත්තියට සමවැදී සිටියහ. මාරය, ගොපල්ලෝද, වෙනත් සිව්පාවුන් රකින්නෝද, ගොවිකම් කරන්නෝද, මගියෝද, එක්තරා රුකක් මුල නිරොධ සමාපත්තියට සමවැද වැඩහුන් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන්වහන්සේ දුටුවාහුය. දැක, ඔවුන්ට, මේ අදහස විය. ‘ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයකි, පෙරනුවූ දෙයකි. මේ ශ්‍රමණ තෙම හිඳගෙනම කලුරිය කෙළේය. එබැවින් ඔහු දවමු’යි (කියාය) මාරය, ඉක්බිති ගොපල්ලෝද, වෙනත් සිවුපාවුන් රක්නෝද ගොවියෝද, මගියෝද, එක්ව තණ කොළද, දරද, වියලි ගොමද, ගෙනවුත් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන්ගේ ශරීරය මතුයෙහි දමා ගිනිතබා ගියාහුය. මාරය ඉක්බිති, ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ ඒ රාත්‍රිය ගෙවී ගිය පසු ඒ සමවතින් නැගිට සිවුරු ගසා දමා පෙරවරු කාලයෙහි පාසිවුරු ගෙන ගමට පිඩු පිණිස වැඩියහ. මාරය, ගවපාලකයෝද, සෙසු සිවුපාවුන් රකින්නෝද, මගියෝද, පිඩු පිණිස හැසිරෙන ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ දුටුවාහුය. දැක ඔවුන්ට මේ සිතවිය. ‘පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයකි. ඒකාන්තයෙන් අද්භූතයකි. මේ ශ්‍රමණතෙම හිඳගෙනම, කලුරිය කෙළේය. හෙතෙම නැවත ජීවත්වෙයි, (කියාය) මාරය, මේ කාරණයෙන් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේට, ‘සඤ්ජීව, සඤ්ජීව, කියාම නාමය පහළ විය.
Msdiv 508 “ඉක්බිති මාරය, දූසීමාරයාට මෙසේ සිත්විය. මම සිල්වත්වූ යහපත් ස්වභාව ඇති මේ භික්ෂූන්ගේ ඊමක් හෝ යාමක් හෝ නොදනිමි. යම් හෙයකින් මම බමුණු ගෘහපතියන්ට ආවෙශවන්නේ නම් යෙහෙක. ‘එව්. තොපි සිල්වත්වූ යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට (දසවිධ බැණුම් වලින්) බණිව් වචනයෙන් නින්දා කරව්, ගටව්, වෙහෙසව්. තොප විසින් බණිනු ලබන්නාවූ, නින්දාකරනු ලබන්නාවූ, ගටනු ලබන්නාවූ වෙහෙසනු ලබන්නාවූ, ඔවුන්ගේ සිතෙහි දූසි මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් මැනවි’ (කියාය)
“මාරය, ඉක්බිති දූසී මාරතෙම ඒ බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවෙශ විය. ‘එව්, තොපි සිල්වත්වූ, යහපත් ගුණධර්ම ඇති භික්ෂූන්ට බණිව්, නින්දා කරව්, ගටව්, වෙහෙසව්, තොප විසින් බණිනු ලබන්නාවූ, නින්දා කරනු ලබන්නාවූ, ගටනු ලබන්නාවූ, වෙහෙසනු ලබන්නාවූ ඔවුන්ගේ සිතෙහි දූසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේනම් මැනවි, (කියාය)
“මාරය, ඉක්බිති දූසී මාරයා ආවෙශවූ ඒ බ්‍රාහ්මණ ගෘහපතියෝ සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට බණිති, නින්දා කරති, ගටති, වෙහෙසති (කෙසේදයත්) ‘මොහු වනාහි මුඩුවූවෝය. ශ්‍රමණ ප්‍රතිරූපකයෝය. දාසයෝය. පව් කාරයෝය. මහා බ්‍රහ්මයාගේ යටි පතුලෙන් උපන්නෝය. ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’ යයි කියමින් බිම බලා ගත්තාහු, යටිකුරු කළ මුහුණ ඇත්තාහු, කම්මැලි වූවාහු, සිත සිතා සිටිත්. කල්පනා කරමින් සිටිත්.
“යම්සේ වනාහි බකමූණා ගසක අත්තටවී ගොදුරු පිණිස මීයෙකු පරීක්ෂා කරමින්, සිටිද එපරිද්දෙන්ම, මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකයන්වූ, දාසයන් වැනිවූ, පව්කාරවූ, මහා බ්‍රහ්මයාගේ යටිපතුළෙන් උපන්නාවූ මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු අපි ධ්‍යාන ඇත්තෙමු’යි කියමින් බිම බලා ගෙන යටිකුරු කළ මුහුණ ඇතිව කම්මැලි කමින් සිත සිතා සිටිත්.
“යම්සේ වනාහි හිවලා ගංතෙරටවී මසුන් සොයමින් සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකවූ දාසයන් වැනිවූ, පවිටුවූ, බ්‍රහ්මපාදයෙන් උපන්නාවූ මොවූහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’යි බෙල්ල නමා ගත්තාහු, යටට හෙලු මුහුණු ඇත්තාහු, අලස වූවාහු සිත සිතා සිටිත්. යම්සේ වනාහි බළලා ගෙයි මුලුවලද වැසිකිළි අසල හෝ රොඩු ගොඩක් අසලද සැඟවී මීයෙකු සොයමින් සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකවූ දාසයන් වැනිවූ, පවිටුවූ, බ්‍රහ්ම පාදයෙන් උපන්නාවූ මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’යි බෙල්ල නමා ගත්තාහු යටට හෙලු මුහුණු ඇත්තාහු, අලසවූවාහු, සිතිවිල්ලේ යෙදී සිටිත්.
“උසුලාගෙන ආ බරින් නිදහස්වූ කොටළුවෙක් තෙම, යම්සේ ගෙයි බිත්ති අයිනේද, වැසි කිළි අසල හෝ රොඩු ගොඩක් අසලද සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකවූ, දාසයන් වැනිවූ, පවිටුවූ, බ්‍රහ්මපාදයෙන් උපන්නාවූ මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’යි, බෙල්ල නමා ගත්තාහු, යටට හෙලු මුහුණු ඇත්තාහු, අලසවූවාහු, සිතිවිල්ලේයෙදී සිටිත්. විශෙෂයෙන් සිත සිතා සිටිත්. (කියායි)
“මාරය එකල්හි යම් ඒ මනුෂ්‍යයෝ කලුරිය කරත්ද බොහෝ සෙයින් ඔවුහු කාය භෙදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුක් ඇති නරකයෙහි උපදිති.
Msdiv 509 “මාරය ඉක්බිති අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ කීහ. ‘මහණෙනි, දූසී මාරයා ‘එව්, තොප සිල්වත්වූ යහපත් ගුණධර්ම ඇති භික්ෂූන්ට බණිව්, නින්දා කරව්, ගටව්, වෙහෙසව්, තොප විසින් බණිනු ලබන්නාවූ, නින්දා කරනු ලබන්නාවූ, ගටනු ලබන්නාවූ, වෙහෙසනු ලබන්නාවූ, ඔවුන්ගේ සිතෙහි දූසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් මැනව’යි බ්‍රාහ්මණ ගෘහපතියන්හට ආවෙශවී සිටියි. මහණෙනි, එව් තෙපි, මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පැතිර වාසය කරව්, එසේම දෙවෙනි දිශාවද, එසේ තුන්වෙනි දිශාවද, එසේම සතර වෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වෛර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරව්.
“කරුණා සහගත සිතින් එක් දිශාවක් පැතිර වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන් වෙනි දිශාවද එසේම සතර වෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරව්.
“මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන් වෙනි දිශාවද, එසේම සතරවෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරව්.
“උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද, එසේම සතරවෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරව්ය’යි (වදාළහ)
“මාරය, ඉක්බිති ඒ භික්ෂූහු, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු, ආරණ්‍යයට ගියාහුද, වෘක්ෂ මූලයට ගියාහුද, ශුන්‍යාගාරයට ගියාහුද මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද, එසේම සතරවෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර රහිතවූ ව්‍යාපාද රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කළහ.
“කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන් වෙනි දිශාවද, එසේම සතර වෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළහ.”
“මුදිතා සහගත සිතින් එක්දිශාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන් වෙනි දිශාවද, එසේම සතර වෙනි දිශාවද, මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළහ.”
“උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද, එසේම සතර වෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කළහ.”
Msdiv 510 “මාරය ඉක්බිති දුසීමාරයාට මේ අදහසවිය. ‘මම මෙසේ කරන්නාවූද සිල්වත්වූ යහපත් ස්වභාව ඇති, මේ භික්ෂූන්ගේ ඊමක් හෝ යාමක් හෝ නොදනිමි. යම්හෙයකින් මම බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවෙශ වන්නෙම් නම් යෙහෙක එව්, තොපි සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට සත්කාර කරව්, ගරු කරව්, බුහුමන් කරව්, පුදව්, තොප විසින් සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ, ඒ භික්ෂූන්ගේ සිතෙහි දුසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් යෙහෙක, (කියාය)
“මාරය, ඉක්බිති ඒ දූසී මාරතෙම බ්‍රාහ්මණ ගෘහපතියන්හට ආවෙශවිය. ‘එව්, තොපි සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට සත්කාර කරව්, ගරු කරව්, බුහුමන් කරව්, පුදව්, තොප විසින් සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ, ඒ භික්ෂූන්ගේ සිතෙහි දූසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇතිවන්නේනම් යෙහෙක’ (කියාය)
“මාරය, ඉක්බිති දුසී මාරයා ආවෙශවූ ඒ බ්‍රාහ්මණ ගෘහ පතියෝ සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට සත්කාර කරත්. ගරු කරත්. බුහුමන් කරත්, පුදත්. මාරය, එකල්හි යම් ඒ මනුෂ්‍ය කෙනෙක් කලුරිය කරත්ද, ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි බොහෝ සෙයින් උපදිත්.
Msdiv 511 “මාරය, එකල්හි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ කීහ. මහණෙනි, බ්‍රාහ්මණ ගෘහපතීන්ට දූසී මාරයා ආවෙශවිය. එව් තොපි, සිල්වත්වූ යහපත් ගුණධර්ම ඇති භික්ෂූන්ට සත්කාර කරව්, ගරු කරව්, බුහුමන් කරව්, පුදව්. තොප විසින් සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ, ඔවුන්ගේ හිතෙහි දූසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් යෙහෙක කියාය. මහණෙනි, මෙහි එව්, තෙපි ශරීරයෙහි අශුභය අනුව දකිමින් වාසය කරව්, ආහාරයෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරව්, සියලු ලොකයෙහි නොඇලීම් සංඥා ඇතිව වාසය කරව්. සියලු සංස්කාරයන්හි, අනිත්‍යය අනුව දකිමින් වාසය කරව්.” (කියාය)
“මාරය ඉක්බිති, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාවූ මෙසේ අනුශාසනා කරනු ලබන්නාවූ ඒ භික්ෂූහු ආරණ්‍යයට ගියාහුද, වෘක්ෂ මූලයට ගියාහුද, ශුන්‍යාගාරයට ගියාහුද, කයෙහි අශුභය අනුව දකිමින් විසූහ. ආහාරයෙහි, පිළිකුල් සංඥා ඇතිව සියලු ලොකයෙහි, නොඇලීම් සංඥාව ඇතිව සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව දකිමින් වාසය කළහ.
Msdiv 512 “මාරය, එකල්හි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙණ පිටුපසින් ගමන්කරන ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේ සමග පිඬු පිණිස ගමට පිවිසියහ. මාරය, ඉක්බිති දූසී මාරතෙම, එක්තරා ළමයෙකුට ආවෙශවී ගල්කැටක් ගෙන ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේගේ හිසට පහරක් දුන්නේය. හිස පැලුනේය. මාරය, ඉක්බිති ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේ පැළුණ හිසින් යුක්තව ගලන්නාවූ ලෙයින් යුක්තව අර්හත්වූ, සම්‍යක්සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පසු පස්සේම ගියහ. මාරය, ඉක්බිති අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ මේ දූසී මාරයා පමණ දැන නොගන්නේයැයි කියමින් නාගාපලොකනය (ඇතෙකු මෙන් මුළු ශරීරයෙන් ආපසු හැරී පිටුපස බැලීම) කළහ. මාරය ඒ බැලීම සමගම, දූසී මාරතෙම, ඒ ස්ථානයෙන් චුතව මහ නිරයෙහි උපන්නේය.
“මාරය, ඒ මහ නිරයට නම් තුනක් වෙත්. ඊට “ජඵස්සායතනික” යයිද, “සංකුසමාහත” යයිද, “පච්චත්ත වෙදනීය” යයිද කියනු ලැබේ. ඉක්බිති මාරය, මා කරා නිරය පාලයෝ පැමිණ මෙසේ කීහ. නිදුකාණෙනි, ‘යම් කලෙක නුඹගේ පපුවෙහි යහුලින් යහුල එක්වන්නේද, එකල්හි නරකයෙහි පැසෙනු ලබන්නාවූ තට, අවුරුදු දහසක් සම්පූර්ණයයි දැනගනුව. මාරය, ඒ මම බොහෝ අවුරුදු ගණන්, බොහෝ අවුරුදු සිය ගණන් බොහෝ අවුරුදු දහස් ගණන්, මහ නරකයෙහි පැසුනෙමි, ඒ දස දහසක් අවුරුදු ඒ මහනිරය පිළිබඳවූ, ඔසුපත් නිරයෙහි, (කර්ම විපාකයෙන් හටගත් වෙදනා හෙයින්) “චූට්ඨානිම” නම්වූ වෙදනාව විඳිමින් පැසුණෙමි. මාරය ඒ මාගේ ශරීරය මිනිසෙකුගේ මෙන් විය. හිස මාළුවෙකුගේ මෙන් විය.
Msdiv 513 “විධුර නම් අග්‍රශ්‍රාවකයින් වහන්සේද, කකුසඳ භාග්‍යවතුන් වහන්සේද, ගටා යම් තැනෙක, දූසී නම් මාරයා පැසුනේද, ඒ නරකය, කෙබඳු වීද?
“විධුර අග්‍ර ශ්‍රාවකයින් වහන්සේද, කකුසඳ බුදුන්ද ගටා යම් තැනක දුසීනම් මාරයා පැසුනේද, එය සියල්ල තෙමේම වෙදනා උපදවන්නාවූ, යවුල් සියයක් ඇති මෙබඳු නරකයක් විය.
“සර්වඥ ශ්‍රාවකවූ, යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් තෙම, මේ නිරයෙහි දුක් විභාගය දනීද, මාරය, එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“මහාසමුද්‍රය මැද දියමතුපිට පිහිටියාවූ, කල්පයක් පවතින්නාවූ වෛඩූර්‍ය්‍ය වර්ණ ඇත්තාවූ, සිත්කලුවූ, පර්වත මුදුනෙහි බබලන ගිනි කඳක්සේ රශ්මියෙන් යුක්තවූ, දිලිසෙන දිව්‍ය විමානයෝ වෙති. එහි බොහෝවූ, නොයෙක් පාට ඇති දිව්‍යප්සරාවෝ (දිව්‍යාංගනාවෝ) නටත්.
“තථාගත ශ්‍රාවකවූ, යම් භික්ෂුවක් තෙම, මේ විමාන වස්තු විස්තරය, දනීද, මාරය, එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“යම් භික්ෂුවක් සර්වඥයන් වහන්සේ විසින් නියම කරන ලද්දේ, භික්ෂු සංඝයා බලා සිටිද්දී, මිගාරමාතා ප්‍රාසාදය පය මාපටැඟිල්ලෙන් (ගසා) කම්පා කෙළේද,
“සර්වඥ ශ්‍රාවකවූ, යම් මහා මොග්ගල්ලාන නම් භික්ෂුවක් මේ ඍද්ධිය දනීද, මාරය, එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“යමෙක් තෙම, ඍද්ධි බලයෙන් උපකාර ලද්දේ විජයොත් පහය, පය මාපටඟිල්ලෙන් ගසා කම්පා කෙළේද, දෙවියන් සංවේගයට පැමිණවූයේද,
“බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් මෙය දනීද, මාරය, තා එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“යම් ඒ මොග්ගල්ලාන නම් භික්ෂුවක් “ඇවැත්නි, තෘෂ්ණා ක්ෂය විමුක්තිය දන්නෙහිදැ’යි, විජයොත් පහයේදී ශක්‍රයාගෙන් ප්‍රශ්න කෙළේද, ප්‍රශ්න විචාරණ ලද්දාවූ, ශක්‍රතෙම උන් වහන්සේට සර්වඥයන් වහන්සේ වදාළ පරිදි ප්‍රකාශ කෙළේය.
“බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් මෙය දනීද, මාරය, තා එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“යමෙක් තෙම, බ්‍රහ්ම ලොකයෙහි සුධර්මා නම් බ්‍රහ්ම සභාවෙහිදී, බඹුගෙන් “ඇවැත්නි, නුඹට පූර්ව කාලයෙහි යම් මිථ්‍යා දෘෂ්ටියක් වීද, නුඹගේ ඒ මිථ්‍යාදෘෂ්ටිය අදත් ඇද්දැයි ප්‍රශ්න කෙළේද, බඹලොව අන්‍ය බ්‍රහ්මයන්ගේ ආලොකය මැඩ පවත්වන්නාවූ, (ශාරීපුත්‍ර ස්ථවීරාදීන් පිරිවරා තෙජොධාතුවටසමවැදසිටි) සර්වඥයන් වහන්සේගේ ආලොකය දක්නෙහිදැයි ඇසුවේද?
“බ්‍රහ්ම තෙම උන්වහන්සේට, පිළිවෙලින් ඇතිසැටි යම්සේ නම් එසේ ප්‍රකාශ කෙළේය. ‘පූර්වකාලයෙහි මට යම් ශාස්වත දෘෂ්ටියක් වීද, නිදුකානෙනි, මට ඒ දෘෂ්ටිය දැන් නැත්තේය,
“බඹලොව අනිකුත් ආලොක ඉක්ම බබලන බුද්ධා ලොකය දකිමි. “මම නිත්‍යවෙමි. සදාකාලික වෙමි”යි ඒ මම කෙසේ කියම්ද?
“බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් මෙය දනීද, මාරය, තා එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“යමෙක්තෙම, ධ්‍යාන බලයෙන් මහාමෙරු පර්වතයෙහි මුදුන ස්පර්ශ කෙළේද, ජම්ඹුද්වීපයද, පූර්ව විදෙහීන්ගේ ද්වීපයද, අපරගොයාන ද්වීපය හා උත්තරකුරු ද්වීපයද ස්පර්ශ කළේද.
“බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් මෙය දනීද, මාරය, තා එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.
“ගින්න, මම බාලයා දවමි’යි, ඒකාන්තයෙන් නොවෙළයි. බාලයාම දිලිසෙන ගින්නට පැමිණ දනු ලැබේ.
“මාරය එපරිද්දෙන්ම, නුඹද තථාගතයන් ගටා ගින්න ස්පර්ශ කරන්නාවූ, බාලයෙකු මෙන් තෙමේ දැවෙන්නෙහිය.
“මාරතෙම තථාගතයන් ගටා අකුසලයක් රැස් කෙළේය. මාරය, “මාගේ පාපය විපාක නොදෙන්නේ ය”යි සිතන්නෙහිද?
“මාරය, පව්කම් කරන්නහුගේ පාපය බොහෝ කලක් මුලුල්ලෙහි රැස්වෙයි. එහෙයින් මාරය, සර්වඥයන් වහන්සේ කෙරෙහි නොඇලී යව, භික්ෂූන් වෙහෙසන ආසාව නොකරව.”
මෙසේ මහා මොග්ගල්ලාන භික්ෂූන් වහන්සේ, භෙසකලා නම් වනයෙහිදී මාරයා වෙහෙසූසේක, එයින් හටගත් නොසතුටු සිත්ඇති ඒ වසවර්ති මාරතෙම එහිම නොපෙණී ගියේය.
දහවෙනිවූ මාර තජ්ජනීය සූත්‍රය නිමි. (5-10)
චූල යමක වර්ගය නිමි.
සාලෙය්‍යක සූත්‍රය, වෙරංජක සූත්‍රය, මහාවෙදල්ල සූත්‍රය චූල වෙදල්ල සූත්‍රය, චූල ධම්ම සමාදාන සූත්‍රය, මහා ධම්ම සමාදාන සූත්‍රය, වීමංසක සූත්‍රය, කොසම්බිය සූත්‍රය, බ්‍රහ්ම නිමන්තණික සූත්‍රය, මාර තජ්ජනීය සූත්‍රය, යන සූත්‍ර දසයවූ
මූල පණ්ණසකය (මුල් සූත්‍ර පණස) නිමි.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source