LibraryMNMN 53
MN 5316 min read

A Trainee

Sekha Sutta

20
PDFGenerated
01 · Overview

The Buddha is invited by his family, the Sakyans of Kapilavatthu, to inaugurate a new community hall. He invites Venerable Ānanda to explain in detail the stages of spiritual practice for a lay trainee.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මජ්ඣිම පණ්ණාසකය 1. ගෘහපති වර්ගය 53. සෙඛ සූත්‍රය Msdiv 22 මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත් පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩවාසය කළහ. එකල්හි කිඹුල්වත් පුරවැසි ශාක්‍ය රජුන්ගේ අලුත කරවනලද අලුත්වූ සන්ථාගාරශාලාව මහණෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ මනුෂ්‍යවූ කිසිවෙකු විසින් හෝ වාසය නොකරන ලද්දේ වෙයි. ඉක්බිති කිඹුල්වත් පුරවැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැනට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්හ. එක්පැත්තක හුන්නාවූම කිඹුල්වත් පුරවැසි ශාක්‍යයෝ භාග්‍ය වතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, මෙහි කිඹුල්වත් පුර වැසි ශාක්‍යයන්ගේ අලුත කරවනලද අලුත්වූ සන්ථාගාර ශාලාව මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ කිසියම් මිනිස්වූවෙකු විසින් හෝ වාසය නොකරන ලද්දේය. ස්වාමීනි එය භාග්‍යවතුන් වහන්සේ පළමුකොට පරිභොග කෙරේවා භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු කොට පරිභොග කරන ලද, ස්නාථාගාර ශාලාව පසුව කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ පරිභොග කරන්නාහුය. එය කිඹුල්වත්පුරවැසි ශාක්‍යයන්ට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස, වන්නේයයි” (කීහ)

භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවීමෙන් ඉවසූහ. එකල්හි කිඹුල්වත් පුරවැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සන්ථාගාර ශාලාව යම් තැනකද එහි ගියහ. ගොස් සන්ථාගාර ශාලාව සියළු තන්හි ඇතිරිලි අතුරා ආසන පනවා දියසැලක් තබා තෙල් පහණක් දල්වා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක සිටියාහුය. එක් පැත්තක සිටියාවූම කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. “ස්වාමීනි, සන්ථාගාර ශාලාව සියළු තන්හි ඇතිරිලි අතුරණලදී. ආසන පනවන ලදී. දිය සැලක් තබන ලදී. තෙල් පහණ දල්වන ලද්දේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් එහි වැඩම වීමට සුදුසු කල්වේයයි දන්නාසේක්වා”යි (කීහ.)

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරවා පාසිවුරු ගෙණ භික්ෂු සංඝයා සමග සන්ථාගාර ශාලාව යම් තැනකද එතැනට වැඩියහ. වැඩ පා සෝදා සන්ථාගාර ශාලාවට ඇතුල්ව එහි මැද කණුවට පිටදී පෙරදිගට මුහුණලා වැඩහුන්හ. භික්ෂු සංඝතෙමේද පා සෝදා සන්ථාගාර ශාලාවට ඇතුල්ව බටහිර දිගවූ භික්තියට පිටදී පෙර දිගට මුහුණලා භාග්‍යවතුන් වහන්සේම ඉදිරියෙහි කොට වැඩහුන්හ. කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝද පා සෝදා සන්ථාගාර ශාලාවට ඇතුල්ව පෙරදිගවූ භික්තියට පිටදී බටහිර දිගට මුහුණලා භාග්‍යවතුන් වහන්සේම ඉදිරියෙහි කොට හුන්නාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුරවැසි ශාක්‍යයන් රාත්‍රි බොහෝ වේලාවක්ම දැහැමි කථාවෙන් කරුණු දක්වා සමාදන් කරවා මනාව උත්සාහවත් කරවා සතුටු කරවා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ. “ආනන්දය, කිඹුල්වත්පුර වැසි ශාක්‍ය රජ දරුවන්ට ශෛක්ෂවූ ප්‍රතිපදාව කියව මාගේ පිට රුජා කෙරෙයි. එහෙයින් මම දිග හැරෙන්නෙමි” යි (කීහ) “එසේය ස්වාමීනි”යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දෙපට සිවුර හතරට නමා අතුරා දකුණු ඇලයෙන් දකුණු පයෙහි වම්පය මදක් ඉක්මවා තබා සිහිනුවණ ඇත්තේ නැගිටිමි යන සංඥාව ඇතිව සිංහ සෙය්‍යාවෙන් සයනය කළහ.

Msdiv 23 ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මහානාම ශාක්‍ය රජුට මෙසේ කීහ. “මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සීලයෙන් යුක්තවූයේ වෙයිද, ඉන්ද්‍රියන්හි වැසූ දොරටු ඇත්තේ වෙයිද, භොජනයෙහි පමණ දන්නේ වෙයිද, නිදි දුරුකිරීමෙහි යෙදුනේ වෙයිද, සත්වැදෑරුම්වූ සද්ධර්මයන් ගෙන් යුක්තවූයේ වෙයිද, ශ්‍රෙෂ්ඨ සිත ඇසුරුකළාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ සිවු වැදෑරුම් ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේ වෙයි, සුවසේ ලබන්නේ වෙයි, මහත් වශයෙන් ලබන්නේ වෙයි.

Msdiv 24 “මහානාමය, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කෙසේ නම් සීලයෙන් යුක්තවූයේ වෙයිද? මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සිල් ඇත්තේවෙයිද, ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ සුළුවූද වරදෙහි භය දක්නා සුළුවූයේ වාසයකරයිද, සමාදන්ව ශික්ෂා පදයන්හි හික්මෙයිද, මහානාමය, මෙසේ වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සීලයෙන් යුක්තවූයේ වෙයි.

“මහානාමය, කෙසේ නම් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තේවේද? මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇසින් රූපයක් දැක නිමිති වසයෙන් නොගනීද නැවත නැවත මතක්වන සේ සිතට නොගනීද යමක් හේතුකොට ගෙන මේ ඇසෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ පහළවන්නාහුද ඒ ඇස සංවරය පිණිස පිළිපදියිද, ඇස රකියිද, ඇසෙහි සංවරයට පැමිණෙයිද, කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් නොගනීද, නැවත නැවත මතක් වනසේ සිතට නොගනීද, යමක් හේතු කොට ගෙන සොතෙන්ද්‍රියය (කණ) අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද එහි සංවරය පිණිස පිළිපදියිද, සොත ඉන්ද්‍රිය රකීද, සොත ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයිද.

“නාසයෙන් ගඳක් ආඝ්‍රාණයකොට එය නිමිති වශයෙන් නොගනීද, එය නැවත නැවත මතක්වනසේ සිතට නොගනීද, යමක් හේතුකොට ගෙන ඝ්‍රාණ ඉන්ද්‍රියය අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියිද, ඝ්‍රාණ ඉන්ද්‍රියය රකියිද, ඝ්‍රාණ ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයිද.

“දිවෙන් රසයක් විඳ එය නිමිති වශයෙන් නොගනීද, නැවත නැවත මතක් වනසේ සිතට නොගනීද, යමක් හේතු කොටගෙන ජිව්හා ඉන්ද්‍රිය අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ, උපදිද්ද එහි සංවරය පිණිස පිළිපදියිද, ජිව්හා ඉන්ද්‍රියය රකියිද, ජිව්හා ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයිද.

“කයින් පහසක් ස්පර්ශ කොට එය නිමිති වශයෙන් නොගනීද, නැවත නැවත මතක් වනසේ සිතට නොගනීද, යමක් හේතු කොටගෙන කාය ඉන්ද්‍රිය අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියිද, කාය ඉන්ද්‍රිය රකියිද, කාය ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයිද.

“සිතින් ධර්මාරමුණු දැන නිමිති වශයෙන් නොගනීද නැවත නැවත මතක්වනසේ සිතට නොගනීද, යම් හේතුවකින් මේ මනින්ද්‍රියෙහි (හිතෙහි) සංවර රහිතව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියිද, මනින්ද්‍රිය රකියිද, මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයිද, මහානාමය, මෙසේ වනාහී ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි.

“මහානාමය, කෙසේ නම් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම භොජනයෙහි පමණ දන්නේවේද, මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම නුවණින් සලකා ආහාරය ගනියිද, ක්‍රීඩා පිණිස නොම ගනියිද, මද පිණිස නොගනියිද, අලංකාරය පිණිස නොගනියිද, යම්තාක්ම මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස ශරීර පීඩා වැලැක්ම පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයට අනුග්‍රහය පිණිස (ගනියිද) මෙසේ පුරාණවූ (බඩගිනි) වේදනාවද නසමි. අළුත්වූ වේදනාවද නූපදවන්නෙමි. මාගේ ජීවිතය පැවැත්වීමද, වැරදි නැති බවද පහසු විහරණයද වන්නේය යයි ආහාර ගනියිද, මහානාමය, මෙසේ වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම භොජනයෙහි පමණ දන්නේ වෙයි,

“මහානාමය, කෙසේ නම් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම (දාවල්) දවස සක්මනින්ද හිඳීමෙන්ද ආවරණය කටයුතු ධර්මයන්ගෙන් සිතපිරිසිදු කරයිද, රාත්‍රියේ ප්‍රථමයාමය සක්මනින්ද, හිඳීමෙන්ද ආවරණය කටයුතු ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයිද, රාත්‍රියේ මධ්‍යම යාමයෙහි දකුණු පයෙහි වම්පස මදක් ඉක්මවා තබා සිහි ඇත්තේ නුවණ ඇත්තේ නැගිටිමි යන සංඥාව ඇතිව දකුණු ඇලයෙන් සයනයකරයිද, රාත්‍රියේ අවසාන යාමයේ සයනයෙන් නැගිට සක්මනින්ද, හිඳීමෙන්ද ආවරණය කටයුතු ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයිද, මහානාමය, මෙසේ වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම නිදි දුරුකිරීමෙහි යෙදුනේ වෙයි.

Msdiv 25 “මහානාමය, කෙසේ නම් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සත් වැදෑරුම් වූ යහපත් ධර්මයන්ගෙන් යුක්තවූයේ වේද, මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශ්‍රද්ධා ඇත්තේ වෙයිද, තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුත් අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය, නිරුත්තරය, පුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙකු බඳුය. දෙවි මිනිසුන්ට ශාස්තෘය බුද්ධය භාග්‍යවත්යයි අදහයිද, ලජ්ජා ඇත්තේ වෙයිද, කාය දුශ්චරිතයට, වාග් දුශ්චරිතයට, මනො දුශ්චරියට ලජ්ජා වෙයිද. (පිළිකුල් කෙරෙයිද) ලාමකවූ අකුසල ධර්මයන්ගේ පැමිණීමට ලජ්ජා වෙයිද, පවට භය ඇත්තේ වෙයිද, කාය දුශ්චරිතයටද, වාග් දුශ්චරිතයටද, මනො දුශ්චරිතයටද භයවෙයිද ලාමකවූ අකුශල ධර්මයන්ට භයවෙයිද ඇසූ ධර්මයන් දරන්නේ ඇසූ ධර්මයන්ගේ රැස්කිරීම ඇත්තේ බොහෝ ඇසූ පිරූතැන් (උගත්කම) ඇත්තේ වෙයිද, යම් මේ ධර්මකෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, කෙළවර යහපත්ද අර්ථ සහිත වෙත්ද, බ්‍යඤ්ජන සහිත වෙත්ද, සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝ කොට අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් සලකන ලද්දාහු නුවණින් මනාව අවබොධ කරන ලද්දාහු වෙත්ද, අකුසලධර්මයන්ගේ දුරුකිරීම පිණිසද කුසලධර්මයන්ගේ ලැබීම පිණිසද ශක්ති ඇත්තේ මහත් වීර්‍ය්‍ය ඇත්තේ කුසල ධර්මයන්හි බහා නොතබන ලද වීර්‍ය්‍ය ඇත්තේ පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වාසය කරයිද උතුම්වූ සිහියෙන් හා දක්ෂ නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ වෙයිද, බොහෝ කලකට පෙර කරන ලද්දද බොහෝ කලකට පෙර කියන ලද්දද සිහි කරන්නේ නැවත නැවත සිහි කරන්නේ වෙයිද, කලකිරීම පිණිස පවත්නාවූ මනාව දුක් නැති කිරීම පිණිස පවත්නාවූ විදර්ශනා නුවණින් යුක්තවූයේ ආර්‍ය්‍යවූ ප්‍රඥා ඇත්තේ වෙයිද, මහානාමය, මෙසේවනාහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සත් වැදෑරුම්වූ යහපත් ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි.

Msdiv 26 “මහානාමය, කෙසේ නම් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශ්‍රෙෂ්ඨ සිත ඇසුරු කළාවූ මේ ආත්මයෙහි සැප සේ වාසය කිරීමවූ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේද, සුවසේ ලබන්නේද, මහත්සේ ලබන්නේ වේද? මහානාමය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇත්තාවූ හිතේ එකඟබව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවනධ්‍යානයට පැමිණ වාසය කරයිද, ප්‍රීතියෙහිද නො ඇල්මෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇති සැප විහරණ ඇත්තේ යයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, සැපය දුරු කිරීමෙන්ද දුක දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහානාමය, මෙසේ වනාහී ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රෙෂ්ඨ සිත ඇසුරු කළාවූ මේ ආත්මයෙහි සැපසේ වසන්නාවූ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේ වෙයි. සුවසේ ලබන්නේ වෙයි. මහත්සේ ලබන්නේ වෙයි.

Msdiv 27 “මහානාමය, යම් හේතුවකින් වනාහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සීලයෙන් යුක්තවූයේ වේද, මෙසේ ඉන්ද්‍රියන්හි රක්නා ලද දොරටු ඇත්තේවේද, මෙසේ භොජනයෙහි පමණ දන්නේ වේද, මෙසේ නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, මෙසේ සත් වැදෑරුම්වූ යහපත් ධර්මයන්ගෙන් යුක්ත වූයේ වේද, මෙසේ ශ්‍රෙෂ්ඨ සිත ඇසුරු කළාවූ මේ ආත්මයෙහි සැපසේ වසන්නාවූ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේද සුවසේ ලබන්නේද මහත්සේ ලබන්නේද වෙයි.

“මහානාමය, මේ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශෛක්ෂවූ ප්‍රතිපදා ඇත්තේ කුණු නොවූ බිජුවට බවට පැමිණියේ විනිවිද දැකීමට සුදුසු වූයේ අවබොධයට සුදුසුවූයේ නිරුත්තරවූ රහත්බව ලැබීමට සුදුසුවූයේ වේයයි කියනු ලැබේ.

“මහානාමය, යම්සේ කිකිළියගේ බිජුවට අටක් හෝ දසයක් හෝ දොළසක් හෝ වෙත්ද ඒ බිජුවට මව් කිකිලිය විසින් හොඳින් රකින ලද්දාහු හොඳින් උණුසුම් කරන ලද්දාහු හොඳින් කුකුල් ගඳ ගන්වන ලද්දාහු වන්නාහුද කිසිසේත් ඒ කිකිළියට මෙබඳු කැමැත්තක් නූපදින්නේය. ‘මේ කුකුළු පැටව් පා නියතුඩින් හෝ මුව තුඩින් හෝ බිත්තර කටුව බිඳ සුවසේ නික්මෙන්නාහු නම් ඉතා යෙහෙකැ’යි (කියාය) එත කුදු වුවත් ඒ කුකුළු පැටව් පා නියතුඩින් හෝ මුවතුඩින් හෝ බිත්තර කටුව බිඳගෙන සුවසේ නික්මෙන්ට සුදුසුවූවාහුම වෙත්ද, මහානාමය, මෙපරිද්දෙන්ම යම් හෙයකින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ ශීලයෙන් යුක්තවූයේ වේද, මෙසේ ඉන්ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තේ වේද මෙසේ භොජනයෙහි පමණ දන්නේ වේද මෙසේ නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, මෙසේ සත්වැදෑරුම් යහපත් ධර්මයන්ගෙන් යුක්තවූයේ වේද, මෙසේ ශ්‍රෙෂ්ඨ සිත ඇසුරු කළාවූ මේ ආත්මයෙහි සැප විහරණවූ සතර ධ්‍යානයන් කැමති පරිදි පැමිණීම සුවසේ ලැබීම මහත්සේ ලැබීම ඇත්තේ වේද, මහානාමය, මේ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශෛක්ෂවූ ප්‍රතිපදා ඇත්තේ කුණු නොවූ බිජුවට බවට පැමිණියේ විනිවිද දැකීමට සුදුසු වූයේ මාර්ගඵල අවබොධයට සුදුසු වූයේ නිරුත්තරවූ අර්හත් ඵලය ලැබීමට සුදුසු වූයේ වේයයි කියනු ලැබේ.

Msdiv 28 “මහානාමය, ඒ මේ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම් වනාහි මේ නිරුත්තරවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බවට පැමිණ අනෙක ප්‍රකාරවූ පෙර විසූ තැන් සිහි කරයි. එනම් එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුණක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද ජාති සියක් දහසක්ද නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද නොයෙක් විනාශ වන හෝ හැදෙන කල්පයන්ද අසුවල් තැන වීමි, මේ නම් ඇත්තෙම් මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම් මේ සැප දුක් වින්දෙම් මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන උපන්නෙමි. එහිදු මෙනම් ඇත්තෙම් මේ ගොත්‍ර ඇත්තෙම් මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම් මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙමියි. මෙසේ ආකාර සහිතවූ දැක්වීම් සහිතවූ නොයෙක් ආකාරවූ පෙර ජාති සිහි කරයි. කුකුළු පැටවෙකුගේ බිත්තර කටුව බිඳගෙන නික්මීම වැනිවූ මේ මොහුගේ පළමුවන විනිවිද දැකීම වන්නේය.

“මහානාමය, ඒ මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම වනාහී මේ නිරුත්තරවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බවට පැමිණ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද, පහත්වූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද යහපත් ගති ඇත්තාවූ අයහපත් ගති ඇත්තාවූද කර්මය අනුව උපදින සත්වයන් දකී. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග් දුශ්චරිතයෙන් යුක්ත වූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආර්‍ය්‍යයන් ගරහන්නෝ වූහ. මිථ්‍යා දෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුගති ඇති දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ. වාග් සුචරිතයෙන් යුක්ත වූහ. මනො සුචරිතයෙන් යුක්ත වූහ. ආර්‍ය්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ. සත්‍ය ඇදහීම් සමාදන් වූවෝ වූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයට පැමිණියෝයි. මෙසේ මිනිස් ඇස ඉක්මවූ පිරිසිදුවූ දිව ඇසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද කර්මය ලෙස පැමිණ සත්වයන්දකී. කර්මවූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැනගණියි. මේ මොහුගේ කුකුළු පැටවෙකුගේ බිත්තරය බිඳ නික්මීම වැනිවූ දෙවන විනිවිද දැකීම වන්නේ වේ.

“මහානාමය, ඒ මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම වනාහී මේ නිරුත්තරවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බවට පැමිණ කෙලෙස් නැසීමෙන් කෙලෙස් රහිතවූ චිත්ත විමුක්තියටද ප්‍රඥාවිමුක්තියටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරයි. මේ මොහුගේ කුකුළු පැටවෙකුගේ බිජුවට බිඳ නික්මීම වැනිවූ තුන්වන විනිවිද දැකීම වන්නේවේ.

Msdiv 29 “මහානාමය, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සීලසම්පන්න වෙයි යන යමක් වේද, මෙයද මොහුගේ චරණය වෙයි. මහානාමය, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඉන්ද්‍රියන්හි රක්නාලද දොරටු ඇත්තේ වෙයි, යන යමක් වේද මෙයද මොහුගේ චරණය වෙයි. මහානාමය, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම භොජනයෙහි පමණ දන්නේ වෙයි යන යමක් වේද, මෙයද මොහුගේ චරණය වෙයි. මහානාමය, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වෙයි යන යමක් වේද, මෙයද මොහුගේ චරණය වෙයි.

“මහානාමය, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සත්වැදෑරුම්වූ යහපත් ධර්මයන් ගෙන් යුක්තවූයේ වෙයි යන යමක් වේද මෙයද මොහුගේ චරණය වෙයි. මහානාමය, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශ්‍රෙෂ්ඨ සිත ඇසුරුකළාවූ මේ ආත්මයෙහි සැප විහරණය වන සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේ සුවසේ ලබන්නේ මහත් සේ ලබන්නේ වෙයි යන යමක් වේද මෙයද මොහුගේ චරණය වෙයි.

මහානාමය, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම නොයෙක් ආකාරවූ පෙර විසූ තැන් සිහි කරයි. එනම් එක ජාතියක්ද, ජාති දෙකක්ද ජාති තුණක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද නොයෙක් විනාශවන හෝ හැදෙන ක්ලපයන්ද, අසුවල් තැනවීමි. මෙනම් ඇත්තෙම් මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම් මේ සැප දුක් වින්දෙම් මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන උපන්නෙමි. එහිදු මෙනම් ඇත්තෙම් මේ ගොත්‍ර ඇත්තෙම් මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම් මේ සැප දුක් වින්දෙම් මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙමියි. මෙසේ ආකාර සහිතවූ දැක්වීම් සහිතවූ නොයෙක් ආකාරවූ පෙර විසුතැන් සිහිකරයි, යන යමක් වේද මෙයද මොහුගේ විද්‍යාව (ඤාණය) වෙයි.

“මහානාමය, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් චුතවන්නාවූද උපන්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද කර්මයට අනුව උපදින සත්වයන් දකී. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආර්‍ය්‍යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යා දෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යා දෘෂ්ටි කර්මසමාදන් වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත් නැතහොත්, මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ. වාග් සුචරිතයෙන් යුක්තවූහ. මනො සුචරිතයෙන් යුක්ත වූහ. ආර්‍ය්‍යයන්ට නොගරහන්නෝවූහ. සත්‍යය අදහන්නෝවූහ. සත්‍ය ඇදහීම් සමාදන් වූවෝ වූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයට පැමිණියෝයි. මෙසේ මිනිස් ඇස ඉක්මවූ පිරිසිදුවූ දිව ඇසින් චුත වන්නාවූද, උපදින්නාවූද, පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොවට ගියාවූද, නරක ලොටව ගියාවූද, කර්මය ලෙස පැමිණි සත්වයන් දකී. මෙසේ ආකාර සහිතවූ දැක්වීම් සහිතවූ නොයෙක් ආකාරවූ පෙර විසූ තැන් සිහිකරයි, යන යමක් ඇද්ද මෙයද මොහුගේ වීද්‍යාව (ඤාණය) වෙයි.

“මහානාමය, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කෙලෙසේ නැසීමෙන් කෙලෙස් රහිතවූ චිත්තවිමුක්තියටද ප්‍රඥාවිමුක්තියටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරයි, යන යමක් ඇද්ද මෙයද මොහුගේ විද්‍යාව වෙයි.

“මහානාමය, මේ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ විද්‍යාවන්ගෙන් යුක්ත වූයේයයිද, චරණයන්ගෙන් යුක්ත වූයේයයිද, විද්‍යා චරණයන් ගෙන් යුක්ත වූයේයයිද කියනු ලැබේ.

Msdiv 30 “මහානාමය, සනත් කුමාරනම්වූ බ්‍රහ්මයා විසින්ද මේ ගාථාව කියන ලද්දීය.

“ජන සමූහයා අතර ගොත්‍රය සිහිපත් කරවන්නාවූ යම් කෙනෙක් වෙත්ද, ඔවුන් අතුරෙන් ක්ෂත්‍රිය ගොත්‍ර ඇත්තේ ශ්‍රෙෂ්ඨ වෙයි. අෂ්ට විද්‍යාවන්ගෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ යමෙක් වේද, දෙවි මිනිසුන් කෙරෙහි හෙතෙම ශ්‍රෙෂ්ඨ වේ” යනුයි.

“මහානාමය, ඒ මේ ගාථාව වනාහි සනත් කුමාරනම්වූ බ්‍රහ්මයා විසින් මනාකොට කියන ලද්දීය. නපුරු කොට කියන ලද්දී නොවේ. යහපත් කොට කියනලද්දීය. අයහපත් කොට කියන ලද්දී නොවේ. අර්ථයෙන් යුක්ත වූයේය. අනර්ථයෙන් යුක්තවූවක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින්ද අනුමත කරන ලද්දීයයි” වදාළහ.

එකල්හි වනාහී භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. “ආනන්දය, යහපත යහපත, ආනන්දය, නුඹ යහපත් කොටම කිඹුල්වත් පුරවැසි ශාක්‍ය රජ දරුවන්ට ශෛක්ෂ්‍ය ප්‍රතිපදාව කීයෙහිය”යි වදාළහ.

ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ. ශාස්තෲන් වහන්සේ එය අනුමත කළහ. සතුටුසිත් ඇත්තාවූ කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය.

තුන්වෙනිවූ සෙඛ සූත්‍රය නිමි. (1-3)

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection