LibraryMNMN 54
MN 5426 min read

With Potaliya the Householder

Potaliya Sutta

20
PDFGenerated
01 · Overview

When Potaliya got upset at being referred to as “householder”, the Buddha quizzed him as to the true nature of attachment and renunciation.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මජ්ඣිම පණ්ණාසකය 1. ගෘහපති වර්ගය 54. පොතලිය සූත්‍රය Msdiv 31 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ අංගුත්තරාප නම් ජනපදයෙහි අංගුත්තරාප නම් දනව් වැස්සන්ගේ ආපණ නම් නියම් ගමෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳපෙරවා පාසිවුරු ගෙන ආපන නම් නියම් ගමට පිඩු පිණිස වැඩියහ. ආපණ නම් නියම් ගමෙහි පිඩු පිණිස හැසිර බතින් පසු කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ එක්තරා වන ලැහැබක් යම් තැනෙක්හිද එතැනට දිවා විහරණය (දවල් විවේකය) පිණිස වැඩියහ.

ඒ වන ලැහැබට ඇතුල්ව එක්තරා ගසක්මුල දිවා විහරණය සඳහා වැඩහුන්හ. පොතලිය නම් ගෘහපතිතෙමේද සම්පූර්ණ හැඳීම් පෙරවීම් ඇත්තේ කුඩයෙන් හා පාවහන් වලින් යුක්තව පා ගමනින් සක්මන් කරන්නේ ඒ වනලැහැබ යම් තැනෙක්හිද එතැනට ගියේය. ඒ වන ලැහැබට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය.

පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටියාවූම පොතලිය ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ “ගෘහපතිය, ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් ඉඳ ගනුව”යි කීහ. මෙසේ කී කල්හි පොතලිය ගෘහපති තෙම “මට ශ්‍රමණ ගෞතමතෙම ගෘහපති වාදයෙන් (ගෘහපතියාය කීමෙන්) කථා කරයි” කියා කිපුනේ නොසතුටු සිත් ඇත්තේ නිශ්ශබ්ද වූයේය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ පොතලිය ගෘහපතියාට මෙසේ කීහ. “ගෘහපතිය, ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් ඉඳ ගනුව”යි කීහ. දෙවනුවද පොතලිය ගෘහපතිතෙම මට ශ්‍රමණ ගෞතම තෙම ගෘහපති වාදයෙන් කථාකරන්නේය”යි කිපුනේ නො සතුටු සිත් ඇත්තේ නිශ්ශබ්ද වූයේය. තුන් වෙනුවද භාග්‍යවතුන් වහන්සේ පොතලිය නම් ගෘහපතියාට මෙසේ කීහ. “ගෘහපතිය, ආසන ඇත්තාහ, ඉදින් කැමැත්තෙහි නම් ඉඳ ගනුව” මෙසේ කීකල්හි පොතලිය නම් ගෘහපති තෙම මට ශ්‍රමණ ගෞතම තෙම ගෘහපති වාදයෙන් කථා කරන්නේය”යි කිපුනේ නො සතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ මට ගෘහපති වාදයෙන් කථා කෙරෙහිය යන යමක් වේද ඒ මේ කාරණය නුසුදුසුය, ඒ මේ කාරණය නොගැලපේ”යයි කීය.

“ගෘහපතිය, තොපගේ ආකාරයද, සටහණද ලකුණුද ගෘහ පතියෙකුගේ මෙනි.”

“භවත් ගෞතමයන් වහන්ස, එසේද වුවත් මා විසින් සියළු කර්මාන්තයෝ අත්හරින ලද්දාහ. සියළු ව්‍යවහාරයෝ (වෙළ හෙළඳාම්) සිඳ දමන ලද්දාහ.”

“ගෘහපතිය, කෙසේ නම් තා විසින් සියළු කර්මාන්තයෝ අත්හරින ලද්දාහුද? සියලු ව්‍යවහාරයෝ (වෙළහෙළඳාම්) සිඳ දමන ලද්දාහුද?”

“භවත් ගෞතමයන් වහන්ස, මෙහි මාගේ ධනයක් හෝ ධාන්‍යයක් හෝ රිදීවූවක් හෝ රත්‍රන් වූවක් හෝ යමක් ඇද්ද ඒ සියල්ල පුත්‍රයන්ට දායාද කොට පාවා දෙන ලදී. එහි මම මෙසේ කරවයි, අවවාද නොකරන්නෙම් නම් මෙසේ නොකරවයි නැවත නොකියන්නෙම් නම් කෑම ඇඳීම ලැබීම පමණක් ඇත්තේ වාසය කරමි. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ වනාහි මා විසින් සියළු කර්මාන්තයෝ අත්හැරීම කරන ලද්දාහ. සියළු ව්‍යවහාරයෝ (වෙළ හෙළඳාම්) සිඳ දමන ලද්දාහ”යි කීයේය. “ගෘහපතිය, නුඹ කියන ව්‍යවහාර සිඳීම වෙන ආකාරයකින් වේ, ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වෙන ආකාරයකින් වේ.”

“ස්වාමීනි, කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්සේ ආර්‍ය්‍ය විනයයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද, මට එසේ ධර්මය දෙශනා කරත්වා”යි (ඉල්ලාසිටියේය.)

“ගෘහපතිය, එසේ නම් අසව, යහපත් කොට මෙනෙහි කරව. කියන්නෙමි”යි, වදාළහ. “ස්වාමීනි, එසේය”යි කියා පොතලිය ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ.

Msdiv 32 “ගෘහපතිය, මේ ධර්ම අටක් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සිඳීම පිණිස පවතිත්, කවර අටක්ද යත්: සතුන් නොමැරීම නිසා සතුන් මැරීම දුරුකටයුතුය, දුන්දෙය ගැනීම නිසා නුදුන්දෙය ගැනීම දුරුකටයුතුය, ඇත්තකීම නිසා බොරු කීම දුරුකටයුතුය, කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරු කටයුතුය, ගිජුවීමයයි කියන ලද ලොභය නොකිරීම නිසා ගිජුවීමයයි කියන ලද ලොභය දුරුකටයුතුය, නින්දා කිරීමෙන් නොගැටීම නිසා නින්දා කිරීමෙන් ගැටීම දුරු කටයුතුය, ක්‍රොධයවූ දැඩි වෙහෙස නොකිරීම නිසා ක්‍රොධය වූ දැඩි වෙහෙස දුරු කටයුතුය, අධික මානය නොකිරීම නිසා අධික මානය දුරු කටයුතුය. ගෘහපතිය, සංක්ෂෙපයෙන් කියන ලද විස්තර වසයෙන් විභාග නොකරන ලද මේ ධර්ම අට ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සිඳීම පිණිස පවතිත්” යයි වදාළහ.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ධර්ම අටක් සංක්ෂෙපයෙන් කියන ලද්දාහු විස්තර වශයෙන් විභාග නොකරන ලද්දාහු ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡෙදය පිණිස පවතිත්ද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම අට මට අනුකම්පා පිණිස විස්තර වසයෙන් විභාග කෙරෙත්වා”යි කීයේය.

“ගෘහපතිය, එසේ වීනම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළහ. “ස්වාමීනි, එසේය”යි කියා පොතලිය ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

Msdiv 33 “ප්‍රාණඝාත නොකිරීම නිසා ප්‍රාණඝාතය දුරුකටයුතු යයි, මෙසේ වනාහී මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. යම් සංයෝජන කෙනෙකුන්ගේ හේතුවෙන් මම ප්‍රාණඝාත කරන්නෙක් වන්නෙම්ද ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස මම පිළිපන්නෙක් වෙමි. මමද වනාහි ප්‍රාණඝාත කරන්නෙක් වන්නෙම් නම් තෙමේද තම හට ප්‍රාණඝාත කිරීම නිසා ගරහන්නේය. දැන ගෙණ නුවණැත්තෝද, ප්‍රාණඝාතය නිසා ගරහන්නාහුය. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි ප්‍රාණඝාත හේතුවෙන් දුර්ගතියද කැමති විය යුත්තීය. යම් මේ ප්‍රාණඝාතයක් වේද, එයම සංයෝජනය වෙයි, එයම නීවරණයද වෙයි, දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් ප්‍රාණඝාත හේතුවෙන් උපදින්නාහුද, ප්‍රාණඝාතයෙන් වැළකුනාවූ මොහුට මෙසේ ඒ දුක්වූ දැවිලි ඇති ආශ්‍රවයෝද නොවෙත්. ප්‍රාණඝාත නොකිරීම නිසා ප්‍රාණඝාතය දුරුකටයුතුයි යන ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

Msdiv 34 “දුන්දෙය ගැනීම නිසා නුදුන් දෙය ගැනීම දුරුකට යුතුයයි මෙසේ වනාහී මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකන්නේය. යම් සංයෝජන කෙනෙකුන්ගේ හේතුවෙන් මම නුදුන් දෙය ගන්නෙක් වන්නෙම්ද මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නෙක් වෙමි. මමද වනාහී නුදුන් දෙය ගන්නෙක් වීනම් තමාද තමහට නුදුන් දෙය ගැනීම නිසා ගරහන්නේය. නුදුන් දෙය ගැනීම නිසා නුවණැත්තෝද දැන ගෙන ගරහන්නාහුය. නුදුන් දෙය ගැනීම නිසා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දුර්ගතියද කැමතිවිය යුත්තීය. යම් මේ නුදුන් දෙය ගැණීමක්වේද එයම සංයෝජනයද වේ. එයම නීවරණයද වේ. නුදුන් දෙය ගැනීම නිසා දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද නුදුන් දෙය ගැනීමෙන් වැලකුණාවූ මොහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නො වෙත්. දුන් දෙය ගැනීම නිසා නුදුන් දෙය ගැනීම දුරුකටයුතුයයි මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියනලදී.

Msdiv 35 “සත්‍යවූ වචනය නිසා බොරු කීම දුරුකට යුතුයයි මෙසේ මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකන්නේය. මම වනාහි යම් සංයොජන කෙනෙකුන්ගේ හේතුවෙන් බොරු කියන්නෙක් වන්නෙම්ද මම ඒ සංයොජනයන්ගේ දුරු කිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහි බොරු කියන්නෙක් වන්නෙම් නම් තමාද තමහට බොරුකීම නිසා ගරහන්නේය. නුවණැත්තෝද දැනගෙන බොරු කීම නිසා ගරහන්නාහුය. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු බොරු කීම හේතු කොට දූර්ගතිය කැමතිවිය යුත්තීය. යම් මේ මුසාවාදයක්වේද එයම සංයොජනය වේ. එයම නීවරණයද වේ. මුසාවාද හේතුවෙන් දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද මුසාවාදයෙන් වැලකුනාවූ මොහුට මෙසේ ඒ දුක්වූ දැවිලි ඇති ආශ්‍රවයෝද නො වෙත්. සත්‍යවූ වචනය නිසා මුසාවාදය දුරුකට යුතුයයි, මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදි.

Msdiv 36 “කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරුකට යුතුයයි මෙසේ මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකන්නේය. මම වනාහි යම් සංයොජන කෙනෙකුන්ගේ හේතුවෙන් කේලාම් කියන්නෙක් වන්නෙම්ද මම ඒ සංයොජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහී කේලාම් කියන්නෙක් වන්නෙම් නම් තමාද තමහට කේලාම් කීම හේතු කොට ගරහන්නේය. නුවණැත්තෝද දැන ගෙණ කේලාම් කීම හේතු කොට ගරහන්නා හුය. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි කේලාම් කීම හේතු කොට දුර්ගතිය කැමතිවිය යුත්තීය. යම් මේ කේලාම් කීමක් වේද එයම සංයොජනයවෙයි. එයම නීවරණයද වේ. කේලාම් කීම හේතු කොට දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද කේලාම් කීමෙන් වැලකුනාවූ මොහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නොවෙත් කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරුකට යුතුයයි මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියනලදී.

Msdiv 37 “ලොභයෙන් ගිජුවීම නිසා ලොභයෙන් ගිජුවීම දුරු කටයුතු යයි, මෙසේ මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකන්නේය. මම වනාහි යම් සංයොජන කෙනෙකුන්ගේ හේතුවෙන් ලොභයෙන් ගිජුවීම ඇත්තෙක් වන්නෙම්ද මම ඒ සංයොජනයන්ගේ දුරු කිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහි ලොභයෙන් ගිජු වන්නෙම් නම් තමාද තමහට ලොභයෙන් ගිජුවීම නිසා ගරහන්නේය. නුවණැත්තෝද දැන ගෙන ලොභයෙන් ගිජුවීම නිසා ගරහන්නාහුය. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි ලොභයෙන් ගිජුවීම නිසා දුර්ගතිය කැමති විය යුත්තීය. යම් මේ ලොභයෙන් ගිජුවීමක් වේද, එයම සංයොජනයද වේ, එයම නීවරණයද වේ, ලොභයෙන් ගිජුවීම නිසා දුක් වූ දැවිලි ඇති යම් ආශ්‍රවකෙනෙකුත් උපදින්නාහුද ලොභයෙන් ගිජුවීම නැත්තාවූ මොහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නොවෙත්. ලොභයෙන් ගිජු නොවීම නිසා ගිජුවන ලොභය දුරු කටයුතුයයි, මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

Msdiv 38 “නින්දා නොකිරීම හා නොකිපීම නිසා නින්දා කිරීම හා කිපීම දුරුකට යුතුයයි, මෙසේ මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. මම වනාහී යම් සංයොජන කෙනෙකුන්ගේ හේතුවෙන් නින්දා කිරීම හා කිපීම ඇත්තෙක් වන්නෙම්ද මම ඒ සංයොජනයන්ගේ දුරු කිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහි නින්දා කිරීම හා කිපීම ඇත්තෙක් වන්නෙම් නම් තෙමේද තමහට ගරහන්නේය. නුවණැත්තෝද දැනගෙන නින්දා කිරීම හා කිපීම නිසා ගරහන්නාහුය. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි නින්දා කිරීම හා කිපීම නිසා දුර්ගතිය කැමති විය යුත්තීය. යම් මේ නින්දා කිරීම හා කිපීමක් වේද මෙයම සංයොජනය වේ. මෙයම නීවරණයද වේ. නින්දා කිරීම හා කිපීම නිසා දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද, නින්දා කිරීම හා කිපීම නැත්තාවූ මොහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝ නොවෙත්. නින්දා නොකිරීම නොකිපීම නිසා නින්දා කිරීම කිපීම දුරු කට යුතුයයි, මෙසේ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

Msdiv 39 “දැඩි ක්‍රොධ නොකිරීමෙන් දැඩි ක්‍රොධ කිරීම දුරුකට යුතුයයි, මෙසේ මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. ‘මම වනාහී යම් සංයොජන කෙනෙකුන්ගේ හේතුවෙන් දැඩි ක්‍රොධ ඇත්තෙක් වන්නෙම් නම් මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහි දැඩි ක්‍රොධ ඇත්තෙක් වන්නෙම් නම් තෙමේද තමහට දැඩි ක්‍රොධය නිසා ගරහන්නේය. නුවණැත්තෝද දැන ගෙන දැඩි ක්‍රොධය නිසා ගර්හා කරන්නාහුය. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි දැඩි ක්‍රොධය නිසා දුර්ගතිය කැමති විය යුත්තීය. යම් මේ දැඩි ක්‍රොධයක් වේද, මෙයම සංයොජනය වේ මෙයම නිවරණයද වේ. දැඩිවූ ක්‍රොධය නිසා දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද, දැඩි ක්‍රොධය නැත්තාවූ මොහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නොවෙත්. දැඩි කොධය නොකිරීම නිසා දැඩි ක්‍රොධය දුරු කටයුතුයයි මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

Msdiv 40 “අධික මානය නොකිරීම නිසා අධික මානය දුරු කටයුත්තේයයි, මෙසේ මෙය කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. මම වනාහි යම් සංයෝජන කෙනෙකුන්ගේ හේතුවෙන් අධික මානය ඇත්තෙක් වන්නෙම්ද. මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිස පිළිපන්නේ වෙමි. මමද වනාහි අධික මානය ඇත්තෙක් වන්නෙම් නම් තෙමේද තමහට අධික මාන හේතුවෙන් ගරහන්නේය. නුවණැත්තෝද දැනගෙන අධික මාන හේතුවෙන් ගරහන්නාහුය. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අධික මාන හේතුවෙන් දුර්ගතිය කැමති විය යුත්තීය. යම් මේ අධික මානයක් වේද, එයම සංයෝජනයවේ, එයම නීවරණයදවේ, අධික මාන හේතුවෙන් දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද, අධික මානය නැත්තාවූ මොහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝ නොවෙත්. අධික මානය නොකිරීම නිසා අධික මානය දුරුකටයුතුයයි, මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

Msdiv 41 “ගෘහපතිය, ආර්‍ය්‍ය විනයෙහි යම් ධර්ම කෙනෙක් ව්‍යවහාර සමුච්ඡෙදය පිණිස පවතිත්ද, සංක්ෂෙපයෙන් කියන ලද්දාවූ මේ ධර්ම අට විස්තර වසයෙන් විභාග කරන ලදහ. එපමණකින්ම ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියල්ල සියලු ආකාරයෙන් ව්‍යවහාරයන්ගේ සිඳීම නොවේමය”යි වදාළහ.

“ස්වාමීනි, කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාරයන්ගේ සිඳීම වේද, ස්වාමීනි, යම්සේ ආර්‍ය්‍ය විනයයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදය වේද, භාග්‍යවතුන් වහන්සේ මට එසේ ධර්මය දෙශනා කෙරේවා”යි කීය. “ගෘහපතිය, එසේවී නම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළහ. “ස්වාමීනි, එසේය”යි පොතලිය ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ

කාමාදීනවකථා Msdiv 42 “ගෘහපතිය, යම්සේ බඩගිනි දුබල බැවින් පෙළුනාවූ බල්ලෙක් ගවයන් මරණ මස් ලොඹුවක් ලඟට ගොස් සිටියේ වේද, ඌට දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ මොනවට කපනලද මස් නැති, ලේ තැවරුණු ඇට කැබැල්ලක් ලඟට දමන්නේය, ගෘහපතිය, ඒ කුමකැයි හඟන්නෙහිද? ඒ බල්ලා මොනවට කපනලද මස් නැති, ලේ තැවරුණු ඒ ඇට කටුව ලෙවකන්නේ බඩ ගින්නෙන්වූ දුර්වලකම දුරු කරන්නේ දැ”යි? (ඇසූහ)

“ස්වාමීනි, එය නොවේමය.”

“එයට හේතු කවරේද?”

“ස්වාමීනි, ඒ ඇටකටුව වනාහී මොනවට කපන ලද්දාවූ මස්නැති ලේ තැවරුණක් වෙයි. ඒ බල්ලා වනාහී ඉතා වැඩියක්ම වෙහෙසීමට දුකට කොටස් කාරයෙක් වන්නේය”යි (කීය.) “ගෘහපතිය, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. කාමයෝ ඇට සැකිල්ලකට බඳු උපමා ඇත්තාහුය. බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ වෙහෙස ඇත්තාහුය. මෙහි ආදීනව බොහෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ. මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක නා නා ස්වභාව ඇත්තාවූ, නා නා ස්වභාව ඇසුරු කළාවූ යම් මේ (පඤ්චකාම ගුණයන්හිවූ) උපෙක්ෂාවක් වේද, එය දුරු කොට ඒක ස්වභාව ඇත්තාවූ ඒකත්වය ඇසුරු කළාවූ යම් මේ (චතුර්ථධ්‍යානයෙන්වූ) උපෙක්ෂාවක් වේද, යම් තැනෙක්හි සියළු ආකාරයෙන් ලොකාමිසයයි කියනලද පඤ්ච කාම ගුණයන් දැඩිව අල්වා ගැනීම් ඉතිරි නැතිව නැති වෙත්ද ඒ උපෙක්ෂාවම වඩයි.

Msdiv 43 “ගෘහපතිය, යම්සේ ගිජුලිහිණියෙක් හෝ ලෝ තුඩුවෙක් හෝ උකුස්සෙක් හෝ මස් පිඩක්ගෙන පියාඹන්නේද, ඌ ගිජු ලිහිණියෝද ලෝ තුඩුවෝද උකුස්සෝද ලුහුබඳිමින් මුව තුඩින් ඇන ඇන යන්නාහුද, මස් පිඩ ඇද බිම හෙලන්නාහුද, ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඉදින් ඒ ගිජුලිහිණියා හෝ ලෝතුඩුවා හෝ උකුස්සා හෝ ඒ මස්පිඩ වහාම නොදමන්නේ නම් හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේද? මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේ දැ”යි? (ඇසූහ.)

“ස්වාමීනි, එසේය”

“ගෘහපතිය, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මස් පිඩකට බඳුවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය, බොහෝ වෙහෙස ඇත්තාහුය, මෙහි ආදීනව බොහෝයයි වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති නා නාත්වය ඇසුරුකළාවූ උපෙක්ෂාවක් වේද එය දුරුකොට යම් මේ එකත්වය ඇත්තාවූ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, යම් තැනක සියළු ආකාරයෙන් ලොකාමිසයන් දැඩිකොට ගැනීම ඉතිරි නැතිව නැති වේද ඒ උපෙක්ෂාවම වඩයි.

Msdiv 44 “ගෘහපතිය, යම්සේ පුරුෂයෙක්තෙම ඇවුලුනාවූ තණසුලක් ගෙණ උඩුසුලඟට යන්නේද, ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඉදින් ඒ පුරුෂතෙම ඒ ඇවිලගත් තණ සුල ඔහුගේ අත හෝ දවන්නේය. බාහුව හෝ දවන්නේය. වෙනයම් අවයවයක් හෝ දවන්නේය. හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙන්නේ නොවේද?”

“ස්වාමීනි, එසේය.”

“ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින් තණ සුලකට බඳුවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ වෙහෙස ඇත්තාහුය. මෙහි බොහෝ ආදීනව ඇත්තේයයි වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති නා නාත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරු කොට යම් මේ එකත්වය ඇත්තාවූ එකත්වය ඇසුරු කළ වූ උපෙක්ෂාවක් වේද යම් තැනක සියලු ආකාරයෙන් ලොකමිසයන් දැඩි කොට ගැනීම ඉතිරි නැතිව නැති වෙත්ද, ඒ උපෙක්ෂාවම වඩයි.

Msdiv 45 “ගෘහපතිය, යම්සේ මිනිස් උසකට වඩා ගැඹුරුවූ පහව ගිය ගිනිදැල් ඇති පහවූ දුම් ඇති අඟුරුවලින් පිරුණාවූ, අඟුරු වළක් වේද, ඉක්බිති ජීවත්වනු කැමැත්තාවූ, නොමැරෙනු කැමැත්තාවූ, සැප කැමැත්තාවූ, දුක් පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේය. ඔහු ශක්තිමත්වූ පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත්වලින් ගෙන අඟුරු වළට ඇද දමන්නාහුය. ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂතෙම ඒ මේ අතට ශරීරය නමන්නේද?”

“ස්වාමීනි, එසේය.”

“එයට හේතු කවරේද?”

“ස්වාමීනි, ඉදින් මම මේ අඟුරුවළට වැටෙන්නෙම් නම් ඒ හේතුවෙන් මරණයට හෝ මැරෙණ තරම් දුකට හෝ පැමිණෙන්නෙමි යනු ඒ පුරුෂයාහට පැහැදිලිමය.” “ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අගුරු වළකට බඳුය, බොහෝ දුක් ඇත්තාහුය, බොහෝ වෙහෙස ඇත්තාහුය. මෙහි බොහෝ ආදීනව ඇත්තේයයි, වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇතිසැටියෙන් මනාව නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති, නානාත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරු කොට, යම් මේ එකත්වය ඇත්තාවූ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද යම් තැනක සියලු ආකාරයෙන් ලොකාමිසයන් දැඩි කොට ගැනීම් ඉතිරි නැතිව නැති වේද, ඒ උපෙක්ෂාවම වඩයි.

Msdiv 46 “ගෘහපතිය, යම්සේ පුරුෂයෙක් තෙම ආරාමයන් ගෙන් සිත් කළු බැව් ඇති, වනයන්ගෙන් සිත් කළු බැව් ඇති, භූමින් ගෙන් සිත් කළු බැව් ඇති, පොකුණු වලින් සිත් කළු බැව් ඇති සිහිනයක් දක්නේද, හෙතෙම පිබිදියේ කිසිවක් නොදක්නේය. ගෘහපතිය, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින්, සිහිනයකට බඳුවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය, බොහෝ වෙහෙස ඇත්තාහුය, මෙහි බොහෝ ආදීනව ඇත්තේයයි වදාරණ ලද්දාහුය. මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති, නානාත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරුකොට, යම් මේ එකත්වය ඇත්තාවූ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, යම් තැනක සියලු ආකාරයෙන් ලොකාමිසයන් දැඩි කොට ගැනීම් ඉතිරි නැතිව නැති වේද, ඒ උපෙක්ෂාවම වඩයි.

Msdiv 47 “ගෘහපතිය, යම් සේ පුරුෂයෙක් තෙම පුරුෂයන්ට සුදුසුවූ යානාවක් හෝ උතුම් මිණි කොඬොලක් හෝ ඉල්වා ගතයුතු භොගයක් වේද, හෙතෙම ඒ ඉල්වා ගන්නා ලද භොගයන්ගෙන් සැරසුනේ පිරිවරන ලද්දේ කඩපිලකට පැමිණෙන්නේය. ඔහු දැක ජනයා ‘මේ පින්වත් පුරුෂ තෙමේ එකාන්තයෙන් භොග (සම්පත්) ඇත්තෙක. මෙසේ වනාහී සම්පත් ඇත්තේ සම්පත් අනුභව කෙරෙත්’යයි කියන්නේය. වස්තු හිමියෝ යම් යම් තැනෙක්හිම ඔහු දක්නාහුද ඒ ඒ තන්හිම ස්වකීය භාණ්ඩයන් හැරගන්නාහුය. ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නේද? ඒ පුරුෂයාගේ හිත නරක් වීමට ඒ ප්‍රමාණවත් යැයි සිතන්නෙහිද?”

“ස්වාමීනි, එසේය”.

“එයට හේතු කවරේද?”

“ස්වාමීනි, බඩු හිමියෝ වනාහී තම තමන්ගේ බඩු හැරගනිති.”

“ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. ඉල්වා ගන්නා ලද බඩු වැනිවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ වෙහෙස ඇත්තාහුය, මෙහි බොහෝ ආදීනව ඇත්තේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති, නානාත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරු කොට, යම් මේ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, යම් තැනක සියලු ආකාරයෙන් ලොකාමිසයන් දැඩි කොට ගැනීම් ඉතිරි නැතිව නැති වේද, ඒ උපෙක්ෂාවම වඩයි.

Msdiv 48 “ගෘහපතිය, යම්සේ ගමට හෝ නියම් ගමට හෝ නුදුරු තන්හි තියුණුව වනලැහැබක් වේද, එහි මිහිරි පල ඇත්තාවූද හටගත් බොහෝ පල ඇත්තාවූද ගසක් වන්නේද, බිම වැටුනාවූ කිසියම් පල කෙනෙකුත් නොවන්නාහුද, එකල්හි පලයන්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ, පල සොයන්නාවූ පුරුෂයෙක් පල සොයමින් එන්නේය. හෙතෙම ඒ වන ලැහැබට ඇතුල්ව මිහිරි පල ඇත්තාවූ, හටගත් බොහෝ පල ඇත්තාවූ ඒ ගස දක්නේය. ඔහුට මෙබඳු සිතක් වන්නේය. ‘මේ ගස වනාහි මිහිරි පල ඇත්තේද, හටගත් බොහෝ පල ඇත්තේද, වෙයි. බිම වැටුනාවූ කිසි පලයකුත් නැත්තේය. මම වනාහී ගසට නගින්ට දනිමි. මම මේ ගසට නැග ඇති තාක් කන්නෙම් නම් ඔඩොක්කුවද පුරවා ගන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ (සිතා) හෙතෙම ඒ ගසට නැගී ඇතිතාක්ම කන්නේය. ඔඩොක්කුවද පුරවා ගන්නේය.

“ඉක්බිති පල කැමතිවූ පල සොයන්නාවූ, දෙවෙනි පුරුෂයෙක් තෙම පල සොයමින් තියුණුවූ කෙටේරියක්ද ගෙන එන්නේය. හෙතෙම ඒ වන ලැහැබට ඇතුල්ව මිහිරි පල ඇත්තාවූද හටගත් බොහෝ පල ඇත්තාවූද ඒ ගස දක්නේය. ඔහුට මෙබඳු සිතක් වන්නේය. ‘මේ ගස වනාහී මිහිරි පල ඇත්තේද හටගත් බොහෝ පල ඇත්තේද වේ. බිම වැටුනාවූ පලයකුත් නැත්තේය. මම වනාහි ගසට නගින්ට නොදනිමි. මම මේ ගස මුලින් කපා ඇතිතාක්ද කන්නෙම් නම් ඔඩොක්කුවද පුරවා ගන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ (සිතා) හෙතෙම ඒ ගස මුලින් කපන්නේය, ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් ඒ මේ පුරුෂයෙක් පළමුව ගසට නැගුනේද, ඉදින් හෙතෙම වහාම නොබසින්නේ නම් ඒ ගස වැටෙන්නේ ඔහුගේ අත හෝ බිඳෙන්නේය පය හෝ බිඳෙන්නේය. එක්තරා ශරීරාවයවයක් හෝ බිඳෙන්නේය. හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේද?”

“ස්වාමීනි, එසේය.”

“ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින්, ගසක ගෙඩි වැනිවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි බොහෝ දොෂ ඇත්තේයයි වදාරණ ලද්දාහ. මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇත්තාවූ නොයෙක් ස්වභාව ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරුකොට යම් මේ එක ස්වභාවය ඇත්තාවූ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, යම් තැනෙක්හි සියළු ආකාරයෙන් පඤ්චකාම ගුණයන් දැඩි කොට ගැනීම ඉතිරි නැතිව නැති වේද, ඒ චතුර්ථ ධ්‍යාන උපෙක්ෂාවම වඩයි.

Msdiv 49 “ගෘහපතිය, ඒ මේ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ වනාහී මේ උතුම්වූ උපෙක්ෂා සිහි දෙදෙනාගේ පිරිසිදු වීමටම පැමිණ අනෙක ප්‍රකාරවූ පෙර විසූතැන් සිහි කරයි. ‘එනම් එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙම්’ මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම් අසුවල් තැන උපන්නෙමි. එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේකෑම ඇත්තෙම් මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ දැක්වීම් සහිතවූ අනෙක ප්‍රකාරවූ පෙර විසූතැන් සිහිකරයි.

“ගෘහපතිය, ඒ මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම වනාහී උතුම් වූ උපෙක්ෂා සිහි පිරිසිදු බවට පැමිණ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, සුවර්ණවූද, දුර්වර්ණවූද, සුගතවූද, දුර්ගතවූද කර්මයට අනුව උපදින සත්වයන් දකී. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ, මනො දුශ්චරිතයෙන් යුක්ත වූහ, ආර්‍ය්‍යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යා දෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වූහ, ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්, නැතහොත් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ, වාග් සුචරිතයෙන් යුක්ත වූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්‍ය්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝවූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිවඇසින් චුතවන උපදින සත්වයන් දකී. මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිව ඇසින් චුත වන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැන ගනියි.

“ගෘහපතිය, ඒ මේ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම වනාහී මේ උතුම්වූ උපෙක්ෂා සිහි පිරිසුදු බවට පැමිණ කෙලෙසුන් නැසීමෙන් කෙලෙසුන් ගෙන් වෙන්වූ චිත්ත විමුක්තියටද ප්‍රඥා විමුක්තියටද මේ ආත්මයෙහිම තෙමේ ශ්‍රෙෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරයි. ගෘහපතිය, මෙතෙකින් වනාහී ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාරයන්ගේ සිඳීමවේ.

Msdiv 50 “ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම්සේ ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදය වේද, කිමෙක්ද නුඹ මෙබඳුවූ ව්‍යවහාර සමුච්ඡෙදය තමා කෙරෙහි දක්නෙහිද?”

“ස්වාමීනි, මම කවරෙක්ද? ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදය කවරේද? ස්වාමීනි, මම ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදයෙන් ඈත්වෙමි. ස්වාමීනි, අපි වනාහී පෙර අන්‍ය තීර්ථකවූ පරිබ්‍රාජකයන්ට ගිහි ව්‍යවහාර සමුච්ඡෙදය නොදන්න වුන්ම දන්නවුන්යයි සැලකුවෙමු. නොදන්නවුන්ටම දන්නවුන් විසින් වැළඳිය යුතු භොජනය වැළඳවීමු. නොදන්නවුන්වම දන්නවුන්ගේ තන්හි තැබීමු. ස්වාමීනි, අපි වනාහී දන්නාවූම භික්ෂූන් නොදන්නවුන්යයි හැඟීමු. දන්නවුන්ටම නොදන්නවුන් විසින් වැළදිය යුතු භොජනය වැළඳවීමු. දන්නවුන්ම නොදන්නවුන්ගේ තන්හි තැබීමු.

“ස්වාමීනි, දැන් වනාහි අපි අන්‍ය තීර්ථකවූ පරිබ්‍රාජකයන් කරුණු නොදන්නවුන්ම නොදන්නවුන්යයයි දන්නෙමු. නොදන්නවුන්ටම නොදන්නවුන් විසින් වැළදියයුතු භොජනය වළඳවන්නෙමු. නොදන්නවුන්ම නොදන්නවුන්ගේ තන්හි තබන්නෙමු. ස්වාමීනි, අපි, භික්ෂූන් වනාහී කරුණු දන්නවුන්ම දන්නවුන්යයි දැනගන්නෙමු. දන්නවුන්ටම දන්නවුන් විසින් වැළදියයුතු භොජනය වළඳවන්නෙමු. දන්නවුන්ම දන්නවුන්ගේ තන්හි තබන්නෙමු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ඒකාන්තයෙන් ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ගෞරවය ඉපදවූහ.

“ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරුකොට තබනලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසනලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමි) භාග්‍යවතුන් වහන්සේ අදපටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වා.

හතරවෙනිවූ පොතලිය සූත්‍රය නිමි. (1-4)

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection