With Jīvaka
Jīvaka Sutta
PDFGenerated
The Buddha’s personal doctor, Jīvaka, hears criticisms of the Buddha’s policy regarding eating meat, and asks him about it.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මජ්ඣිම පණ්ණාසකය 1. ගෘහපති වර්ගය 55. ජීවක සූත්‍රය Msdiv 51 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර (කුමාරයෙකු විසින් පොෂණය කරන ලද හෙයින්) කෝමාරභච්ච නම්වූ ජීවකයන්ගේ අඹ උයනෙහි (කරවන ලද විහාරයෙහි) වැඩ වාසය කරති. එකල්හි වනාහි ජීවක නම් කොමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටි ජීවක නම් කොමාර භච්චතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මා විසින් මෙය අසනලදී. ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්, ශ්‍රමණ ගෞතම තෙමේ දැන ගෙන උදෙසා කරන ලද (තමන් පිණිස කරනලද) ඒ මාංසය වළඳන්නේය’ යනුයි. ස්වාමීනි, යම් ඒ කෙනෙක් මෙසේ කීවාහුද? ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්. ශ්‍රමණ ගෞතමතෙමේ දැනගෙන උදෙසා කරනලද ඒ මාංසය වළඳන්නේයයි’ (කියායි) ස්වාමීනි, කිමෙක්ද ඔවුහු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නාහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දොස් නොකියත්ද? භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද කාරණයට අනුව කරුණු කියත්ද? කිසියම් කරුණු සහිතවූ වාදානුවාදයෙක් ගැරහියයුතු තැනට නොපැමිණේදැයි” (ඇසීය)
Msdiv 52 “ජීවකය, යම් ඒ කෙනෙක් මෙසේ කීවාහුද? ‘ශ්‍රමණ ගෞතමයන් උදෙසා සතුන් මරත්. ශ්‍රමණ ගෞතම තෙමේ දැනගෙන උදෙසා කරනලද ඒ මාංසය පරිභොග කරන්නේ යයි’ (කියායි.) ඔවුහු මා විසින් කරන ලද්දක් කියන්නාහු නොවෙත්. ඔවුහු මට බොරුවකින් දොස් කියන්නාහුද වෙත්. ජීවකය, මම වනාහී කරුණු තුනකින් යුක්තවූ මාංසය පරිභොග නොකට යුතුයයි කියමි. දක්නා ලද්දය, අසන ලද්දය, සැක කරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහී මේ කරුණුතුනෙන් යුක්තවූ මාංසය පරිභොග නොකට යුතුයයි කියමි. ජීවකය, මම වනාහී කරුණු තුනකින් යුක්තවූ මාංසය පරිභොග කටයුතුයයි කියමි. නොදක්නා ලද්දය, නොඅසන ලද්දය, සැක නොකරන ලද්දය, යන තුනයි. ජීවකය, මම වනාහි මේ කරුණු තුනින් යුක්තවූ මාංසය වැළඳිය යුතුයයි කියමි.
Msdiv 53 “ජීවකය, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවන දිශාවය එසේ තුන්වන දිශාවය එසේ සතරවන දිශාවය, මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියළු තැන පතළාවූ සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රීසහගත සිතින් පතුරුවා වාසය කරයි. ඒ භික්ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමතිවන්නාවූ මහණ තෙම එය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරුගෙණ ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෘහය යම් තැනෙක්හිද එතැනට පැමිණෙයි. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි. එය ඉතා යහපත. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ පසුවද මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි’ මෙබඳු සිතක්ද ඔහුට ඇති නොවෙයි. හෙතෙම ඒ පිණ්ඩපාතය, තෘෂ්ණාවෙන් ගැට නොගැසුනේ මුර්ඡා නොවූයේ එහි නොගිලුනේ දොස් දක්නා සුළුවූයේ නිශ්ශරණ ප්‍රඥාවෙන් යුක්තව වළඳයි. ජීවකය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම, ඒ මහණතෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස හෝ සිතයිද? අන්‍යයන්හට දුක් පිණිස හෝ සිතයිද? දෙපසට දුක් පිණිස හෝ සිතයි”ද?
“ස්වාමීනි, එසේ නොසිතයි.”
“ජීවකය, ඒ මහණතෙම ඒ කාලයෙහි නිවැරදිවූම ආහාරය ගන්නේ නොවේද?”
“ස්වාමීනි, එසේය. ස්වාමීනි, බ්‍රහ්මතෙම මෛත්‍රී විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසා තිබේ. ස්වාමීනි, මෛත්‍රියෙන් යුක්තවූ භාග්‍යවතුන් වහන්සේ මා විසින් ඇසින්ම දක්නාලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහී මෛත්‍රී විහරණ ඇත්තේය.” “ජීවකය, යම් රාගයකින්, යම් ද්වෙෂයකින්, යම් මොහයකින් ක්‍රොධ ඇත්තෙක් වන්නේද, තථාගතයන් වහන්සේගේ ඒ රාගය ඒ ද්වෙෂය ඒ මොහය පහවූයේ සිඳින ලද මුල් ඇත්තේ මස්තකය සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ නැවත නොවීම කරන ලද්දේ, මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියන ලද්දේ නම් තට එය අනුදනිමියි” වදාළේය. “ස්වාමීනි, මා විසින් ඒ සඳහාම කියනලදී.”
Msdiv 54 “ජීවකය, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම කරුණාසහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතර වන දිශාවද, මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියලු තැන පතලාවූ සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසයකරයි. ඒ භික්ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමති වන්නාවූම මහණතෙම එය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රය හා සිවුරු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදර යම් තැනකද එතැනට පැමිණෙයි. පැමිණ පණවන ලද ආසනයෙහි හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවයි. එය ඉතා යහපත, මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ පසුවද මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි මෙබඳු සිතක්ද ඔහුට නොවෙයි. හෙතෙම පිණ්ඩපාතය, තෘෂ්ණාවෙන් ගැට නොගැසුනේ, මුළා නොවූයේ, එහි නොගිලුණේ දොස් දක්නා සුලුවූයේ නිශ්ශරණ ප්‍රඥාවෙන් යුක්තව වළඳයි. ජීවකය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම, ඒ මහණ තෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස හෝ සිතයිද? අනුන්හට දුක් පිණිස හෝ සිතයිද? දෙපසට දුක් පිණිස හෝ සිතයිද?”
“ස්වාමීනි එසේ නොසිතයි.”
“ජීවකය, ඒ මහණතෙම ඒ කාලයෙහි නිවැරදි වූම ආහාරය ගන්නේ නොවේද?”
“ස්වාමීනි, එසේය. ස්වාමීනි, බ්‍රහ්මතෙම කරුණා විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසා ඇත. ස්වාමීනි, ඒ මේ කාරණය, මා විසින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇසින්ම දක්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි කරුණා විහරණ ඇත්තේය.” “ජීවකය, යම් රාගයකින්, යම් ද්වේෂයකින්, යම් මොහයකින් ව්‍යාපාද සිත් ඇත්තෙක් වන්නේද, තථාගතයන් වහන්සේගේ ඒ රාගය, ඒ ද්වේෂය, ඒ මොහය නැතිවූයේ මුල් සිඳින ලද්දේ මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැවත නොවීම කරන ලද්දේ, මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් ඒ සඳහා කියන ලද්දේද, තට එය අනු දනිමි.”
“ස්වාමීනි, මා විසින් ඒ සඳහාම කියන ලදී.”
“ජීවකය, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියලු තැන පතළාවූ සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි. ඒ භික්ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමති වන්නාවූම මහණ තෙම එය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඉක්මීමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රය හා සිවුරු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදර යම් තැනකද එතනට පැමිණෙයි. පැමිණ පණවන ලද ආසනයෙහි හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් ඔහු වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවයි. එය ඉතා යහපත. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ මත්තෙහිද මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි’ මෙබඳු සිතක්ද ඔහුට නොවෙයි. හෙතෙම ඒ පිණ්ඩපාතය, තෘෂ්ණාවෙන් ගැට නොගැසුනේ මුළා නොවූයේ එහි නොගිලුණේ දොස් දක්නා සුලු වූයේ, නිශ්ශරණ ප්‍රඥාවෙන් යුක්තව වළඳයි. ජීවකය, ඒ කුමකැයි හඟීන්නෙහිද? කිම ඒ මහණතෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස හෝ සිතයිද? අනුන්ට දුක් පිණිස හෝ සිතයිද? දෙපසට දුක් පිණිස හෝ සිතයිද?”
“ස්වාමීනි මෙය නොවේමැ”යි,
“ජීවකය, ඒ මහණ තෙම ඒ කාලයෙහි නිවැරදිවූම ආහාරය ගන්නේ නොවේද?
“ස්වාමීනි, එසේය. ස්වාමීනි, බ්‍රහ්මතෙම මුදිතා විහරණ ඇත්තෙක යනමෙය මා විසින් අසනලදී. ස්වාමීනි ඒ මේ කාරණය මා විසින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇසින්ම දක්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි මුදිතා විහරණ ඇත්තේය.” “ජීවකය, යම් රාගයකින්, යම් ද්වෙෂයකින්, යම් මොහයකින් ව්‍යාපාද සිත් ඇත්තෙක් වන්නේද, තථාගතයන් වහන්සේගේ ඒ රාගය, ඒ ද්වෙෂය, ඒ මොහය නැතිවූයේ මුල් සිඳින ලද්දේ මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේය. නැවත නොවීම කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් ඒ සඳහා කියන ලද්දේ නම්, තට එය අනුදනිමි.”
“ස්වාමීනි, මා විසින් ඒ සඳහාම කියන ලදී.”
“ජීවකය, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වාසය කරයි. හෙතෙම උපෙක්ෂා සහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියළු තැන පතලා වූ සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ උපෙක්ෂා සහගතවූ සිතින් පතුරුවා වාසය කරයි. ඔහු වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමතිවන්නාවූම මහණ තෙම ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාසිවුරු
ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදර යම් තැනෙක්හිද එතැනට පැමිණෙයි. පැමිණ පනවනලද ආසනයෙහි වැඩ හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවයි. එය යහපත. මට මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ මත්තෙහිත් මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතය වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි මෙබඳු සිතක්ද ඔහුට නොවෙයි. හෙතෙම ඒ පිණ්ඩපාතය, තෘෂ්ණාවෙන් ගැට නොගැසුනේ මුසපත් නොවූයේ එහි නොගැලුනේ දොස් දක්නා සුළුවූයේ නිශ්ශරණ ප්‍රඥා ඇත්තේ වළඳයි. ජීවකය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම ඒ මහණ තෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස හෝ සිතයිද? අන්‍යයන් හට දුක් පිණිස හෝ සිතයිද? දෙපසටම දුක් පිණිස හෝ සිතයිද?”
“ස්වාමීනි, මෙය නොවේමැයි.”
“ජීවකය, ඒ මහණතෙම ඒ කාලයෙහි නිවැරදිවූම ආහාරය ගන්නේ නොවේද?”
“ස්වාමීනි, එසේය. ස්වාමීනි, බ්‍රහ්මතෙම උපෙක්ෂා විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, ඒ මේ කරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇසින්ම දක්නාලදී.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහී උපෙක්ෂා විහරණ ඇත්තේය.”
“ජීවකය, යම් රාගයකින් යම් ද්වෙෂයකින් යම් මොහයකින් හිංසාව ඇත්තෙක් වන්නේද, නොසතුට ඇත්තෙක් වන්නේද, ක්‍රොධ ඇත්තෙක් වන්නේද, ඒ රාගය ඒ ද්වෙෂය ඒ මොහය තථාගතයන් වහන්සේගේ නැතිවූයේ සිඳිනලද මුල් ඇත්තේ මස්තකය සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දේ අභාවය කරණ ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තොප විසින් ඒ සඳහා කියනලද නම් තට මෙය අනුදනිමි”, “ස්වාමීනි මා විසින් ඒ සඳහාම කියනලදී.”
Msdiv 55 “ජීවකය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම කරුණු පසකින් බොහෝ පව් රැස්කරයි. හෙතෙමේ ‘යව් අසවල් සතා ගෙනෙව්’ යන යම් වචනයක් කියයිද, මේ පළමුවන කාරණයෙන් බොහෝ පව් රැස්කරයි. ඒ සතා බෙල්ලෙන් බැඳ ගෙනෙනු ලබන්නේ යම් දුකක් දොම්නසක් විඳියිද, මේ දෙවෙනි කරුණෙන්ද බොහෝ පව් රැස් කරයි. හෙතෙම ‘යව්, මේ සතා මරව්’ යන යම් වචනයක් කියයිද, මේ තුන්වන කරුණෙන්ද බොහෝ පව් රැස් කරයි. ඒ සතා මරණු ලබන්නේ යම් දුකක් දොම්නසක් විඳියිද, මේ සතරවන කරුණෙන් බොහෝ පව් රැස්කරයි. යම් හෙයකිනුත් හෙතෙම තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ නොකැපවූ දෙයින් වළඳවාද මේ පස්වන කරුණෙන් බොහෝ පව් රැස් කරයි. ජීවකය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම මේ කරුණු පසින් බොහෝ පව් රැස් කෙරේයයි” වදාළහ.
මෙසේ වදාළ කල්හි ජීවක නම් කොමාර භච්චතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයකි, ස්වාමීනි, නුවූ විරූ දෙයක්ය. ස්වාමීනි, භික්ෂූහු ඒකාන්තයෙන් කැපවූ ආහාරයක්ම වළඳත්. ස්වාමීනි, භික්ෂූහු එකාන්තයෙන් නිවැරදිවූ ආහාරයම වළඳත්. ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි ඉතා යහපත ස්වාමීනි යටිකුරු කරන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේද වැසුමක් එලිදරව් කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද ඇස් ඇත්තෝ රූප දකිත්වායි, අඳුරෙහි තෙල් පහනක් දරන්නේද එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දෙශනා කරනලද්දේය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොටයමි) භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වායි” කීයේය.
පස්වෙනිවූ ජීවක සූත්‍රය නිමි (1-5)
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source