With Upāli
Upāli Sutta
PDFGenerated
The Buddha disagrees with a Jain ascetic on the question of whether physical or mental deeds are more important. When he hears of this, the Jain disciple Upāli decides to visit the Buddha and refute him, and proceeds despite all warnings.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මජ්ඣිම පණ්ණාසකය 1. ගෘහපති වර්ගය 56. උපාලි සූත්‍රය Msdiv 56 මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නම් නුවර පාවාරික නම් සිටුහුගේ අඹ උයනෙහි කරවනලද විහාරයෙහි වැඩ වාසය කළහ. එකල්හි වනාහි නිගණ්ඨනාත පුත්‍රතෙමේ මහත්වූ නිගණ්ඨ පිරිසක් සමග නාලන්දා නුවර වාසය කරයි එකල්හි දීඝතපස්සී නම් නිගණ්ඨතෙම නාලන්දා නුවර පිඩු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ පාවාරික නම් අඹ උයන යම් තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටුවිය යුතුවූ සිහිකට යුතුවූ කථාව කොට නිමවා එක්පැත්තක සිටියේය. එක පැත්තක සිටියාවූම දීඝතපස්සී නම් නිගණ්ඨයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. “තපස්සීය, ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් හිඳ ගනුවයි” (කීහ.) මෙසේ කී කල්හි දීඝතපස්සී නම් නිගණ්ඨ තෙම එක්තරා මිටි අස්නක් ගෙණ එක් පැත්තක වාඩිවිය. එක් පැත්තක උන්නාවූ දීඝතපස්සී නම් නිගණ්ඨයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“තපස්සීය, නිගණ්ඨනාත පුත්‍රතෙම පාපකර්මය කිරීම පිණිස පාපකර්මයාගේ පැවැත්ම පිණිස කෙතෙක් කර්ම පනවාදැයි (දක්වාදැයි ඇසූහ.) ”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කර්මය කර්මයයි පනවන්ට නිගණ්ඨනාත පුත්‍රයාහට පුරුද්දක් නැත. ඇවැත්නි, ගෞතමයන් වහන්ස, දණ්ඩය දණ්ඩයයිම පනවන්ට නිගණ්ඨනාත පුත්‍රයාගේ පුරුද්ද වේයයි” කීය.
“තපස්සිය, නිගණ්ඨනාත පුත්‍රතෙම පාප කර්ම කිරීමට පාපකර්මයාගේ පැවැත්මට කෙතෙක් නම් දණ්ඩයන් පනවාද?”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, නිගණ්ඨනාත පුත්‍ර තෙම පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට දණ්ඩ තුනක්ම පනවයි. එනම් කාය දණ්ඩය, වචී දණ්ඩය, මනො දණ්ඩය යන තුනයි.”
“තපස්සිය, කිමෙක්ද? කාය දණ්ඩය අනිකක්මද? වචී දණ්ඩය අනිකක්මද? මනො දණ්ඩය අනිකක්මද”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කාය දණ්ඩය අනිකක්මය, වචී දණ්ඩය අනිකක්මය, මනො දණ්ඩය අනිකක්මය.”
“තපස්සිය, මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ දණ්ඩ තුන අතුරෙන් කවර නම් දණ්ඩයක් නිගණ්ඨනාත පුත්‍ර තෙම පාප කර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වාද? ඉදින් කාය දණ්ඩය හෝ වේද ඉදින් වචී දණ්ඩය හෝ වේද? ඉදින් මනො දණ්ඩය හෝ වේද?”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ දණ්ඩ තුන අතුරෙන් කාය දණ්ඩය නිගණ්ඨනාත පුත්‍රතෙම පාපකර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වයි. වචී දණ්ඩය එසේ නොදක්වයි. මනො දණ්ඩය එසේ නොදක්වයි.”
“තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කාය දණ්ඩයයි” කියමි.
“තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කාය දණ්ඩය”යි කියමි.
“තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?”
“ඇවැත්නි ගෞතමයන් වහන්ස, කාය දණ්ඩයයි කියමි.”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දීඝතපස්සී නම් නිඝණ්ඨයා මේ කීමෙහි තුන්වෙනි වර දක්වා පිහිටුවූහ.
Msdiv 57 මෙසේ වදාළ කල්හි දීඝතපස්සී නම් නිගණ්ඨ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ වනාහී පාපකර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට කෙතෙක් දණ්ඩයන් පනවන්නෙහිද?”
“තපස්සීය, තථාගතයන්ට දණ්ඩය දණ්ඩයයි පනවන්ට පුරුද්දක් නැත. තපස්සිය, කර්මය කර්මයයිම පැනවීම තථාගතයන්ගේ පුරුද්දවේ.”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ වනාහි පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට කෙතෙක් කර්මයන් පනවන්නෙහිද?”
“තපස්සිය, මම වනාහි පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට කර්ම තුනක් දක්වමි. එනම් කායකර්මය, වචීකර්මය, මනොකර්මය යන තුනයි.”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කිම? කායකර්මය, අනිකක්මද? වචීකර්මය අනිකක්මද? මනොකර්මය අනිකක්මද?”
“තපස්සිය, කායකර්මය අනිකක්මය, වචීකර්මය අනිකක්මය. මනො කර්මය අනිකක්මය.”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ කර්ම තුන අතුරෙන් කවර නම් කර්මයක් පාප කර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වන්නෙහිද? ඉදින් කායකර්මය හෝ වේද? ඉදින් වාක් කර්මය හෝ වේද? මනොකර්මය හෝ වේද?”
“තපස්සිය, මම වනාහී මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ කර්ම තුන අතුරෙන් මනොකර්මය පාප කර්මය කිරීමට, පාපකර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වමි. කාය කර්මය එසේ නොවේ, වාක් කර්මය එසේ නොවේ.”
“ඇවැත්නි, ගෞතමයන්වහන්ස, මනො කර්මයයි කියන්නෙහිද?”
“තපස්සිය, මනො කර්මයයි කියමි.”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, මනො කර්මයයි කියන්නෙහිද?”
“තපස්සිය, මනොකර්මයයි කියමි.”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, මනොකර්මයයි කියන්නෙහිද?”
“තපස්සිය, මනො කර්මයයි කියමි.”
මෙසේ දීඝතපස්සි නිගණ්ඨ තෙම භාග්‍යවතුන් වහන්සේ මේ කීමෙහි තුන්වෙනි වර දක්වා පිහිටුවා හුනස්නෙන් නැගිට නිගණ්ඨනාත පුත්‍ර තෙමේ යම් තැනෙක්හිද එතැනට ගියේය.
Msdiv 58 එසමයෙහි වනාහි නිගණ්ඨනාත පුත්‍රතෙම උපාලි ගෘහපතියා ප්‍රධාන කොට ඇති බාලක නම් ගම් වැසි මහත්වූ ගිහි පිරිසක් සමග හුන්නේ වෙයි. නිගණ්ඨනාත පුත්‍ර තෙම එන්නාවූ දීඝතපස්සී නම් නිගණ්ඨයා දුරදීම දුටුයේය. දැක දීඝතපස්සී නම් නිගණ්ඨයාට මෙසේ කීයේය.
“තපස්සිය, නුඹ මේ දවල් කාලයෙහි කොහි සිට එන්නෙහිද?” “ස්වාමීනි, මම මේ ශ්‍රමණ ගෞතමයන්ගේ සමීපයෙහි සිට එමි.”
“තපස්සිය, ශ්‍රමණ ගෞතමයන් හා සමග තොපගේ කිසි යම් කථාබහෙක් වූයේද?” “ස්වාමීනි, ශ්‍රමණ ගෞතමයන් හා සමග මාගේ කිසියම් කථා බහෙක් වූයේය.”
“තපස්සිය, ශ්‍රමණගෞතමයන් හා සමග තොපගේ කිසි යම් කථා බහෙක් කෙසේ නම් වූයේද?”
එකල්හි දීඝතපස්සී නිගණ්ඨතෙම භාග්‍යවතුන් වහන්සේ සමග පැවැත්වූ කථා සල්ලාපය යම්තාක් වීද, ඒ සියල්ල නිගණ්ඨනාත පුත්‍රයාට කීයේය.
මෙසේ කීකල්හි නිගණ්ඨනාත පුත්‍රතෙම දීඝතපස්සි නිගණ්ඨයාට මෙය කීයේය. “තපස්සිය, යහපත, යහපත, මනා කොටම ශාස්තෘහුගේ ශාසනය දන්නාවූ උගත් ශ්‍රාවකයෙකු විසින් යම්සේ නම් එසේම දීඝතපස්සී නම් නිගණ්ඨයා විසින් ශ්‍රමණ ගෞතමයන්හට ප්‍රකාශ කරණලදී. මෙසේ මහත්වූ මේ කාය දණ්ඩය හා සමකරන විට ලාමකවූ මනො දණ්ඩය කුමක්ද? කාය දණ්ඩයම පාපකර්ම කිරීමට පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදවේ. වාක් දණ්ඩය එසේ නොවේ. මනො දණ්ඩය එසේ නොවේයයි” (කීයේය)
Msdiv 59 මෙසේ කී කල්හි උපාලි ගෘහපතිතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, තපස්සී තෙම යහපත, යහපත, මනාකොටම ශාස්තෘහුගේ ශාසනය දන්නාවූ උගත් ශ්‍රාවකයෙකු විසින් යම්සේද එසේම පින්වත් තපස්සී විසින් ශ්‍රමණ ගෞතමයන්හට ප්‍රකාශ කරනලදී. මේ මෙසේ මහත්වූ මේ කාය දණ්ඩය හා සම කරනවිට, ලාමකවූ මනො දණ්ඩය කුමක්ද? කාය දණ්ඩයම පාපකර්මය කිරීමට, පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරද වේ. වාක්දණ්ඩය එසේ නොවේ. මනො දණ්ඩය එසේ නොවේ. ස්වාමීනි, එබැවින් මමද යමි. ශ්‍රමණ ගෞතමයන්හට මේ කාරණයෙන් වාදය ආරෝපනය කරන්නෙමි. ඉදින් මට ශ්‍රමණ ගෞතම තෙමේ පින්වත් තපස්සී විසින් යම්සේ (ඒ කීමෙහි) පිහිටුවන ලදද, එසේ පිහිටන්නේ නම් යම්සේ බලවත් පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවෙකු ලොම් වලින් ගෙන මෙහාට අදින්නේද, තල්ලු කරන්නේද, එහාමෙහා අදින්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදකොට අදින්නෙමි. තල්ලු කරන්නෙමි. එහාට මෙහාට අදින්නෙමි. යම්සේ නම් බලවත්වූ හණවැහැරි සෝදන්නෙක් මහත්වූ සොණ්ඩිකා කළාලයක් (හණමිටියක්) ගැඹුරුවූ දියවිලෙහි බහා කොන්ගෙණ අදින්නේද, එහාට අදින්නේද මෙහාට අදින්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාද කොට අදින්නෙමි. එහාට අදින්නෙමි. මෙහාට අදින්නෙමි. එහා මෙහා අදින්නෙමි.
“යම්සේ නම්බලවත් වූ සුරා ධූර්තයෙක් රා පෙරන මටුලු කස්ස කොන් අල්වාගෙණ යටට පිඹින්නේද, ඉවතට පිඹින්නේද, නැවත නැවත ගසාදමන්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදකොට පාතට පිඹින්නෙමි. බැහැරට පිඹින්නෙමි. ගසාදමන්නෙමි. යම්සේ නම් හැට අවුරුදුවූ හස්තියෙක් ගැඹුරුවූ පොකුණකට බැස හණදොවීම නම් ක්‍රීඩාවිශෙෂයකින් ක්‍රීඩාකෙරේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් හණදොවීම වැනිවූ ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරන්නෙමි. ස්වාමීනි, එබැවින් මමද යමි. ශ්‍රමණ ගෞතමයන්හට මේ කාරණයෙන් වාදය නගන්නෙමියි” කීයේය. “ගෘහපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් සමග මේ කාරණයෙන් වාදකරව. ගෘහපතිය, මම හෝ වනාහී ශ්‍රමණ ගෞතමයාහට වාදය නගන්නෙමි. දීඝ තපස්සී නිගණ්ඨයා හෝ නුඹ හෝ (වාදකරන්නේයයි)” කීය.
Msdiv 60 මෙසේ කී කල්හි දීඝතපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්හට වාදය නගන්නේය යන යමක්වේද, මෙය මට රුචිනොවේ. ස්වාමීනි, ශ්‍රමණ ගෞතමතෙම වනාහී මායා දන්නේය. යම් මායාවකින් අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයන් හරවාගනීද, එබඳුවූ පෙරළීම කරන්නාවූ මායාවක් දනීයයි” (කීය) තපස්සිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු නැත්තේය. අවකාශ නැත්තේය. ශ්‍රමණ ගෞතමතෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, මෙයට නම් කරුණු ඇත්තේය. ගෘහපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් හා සමග මේ කාරණයෙන් වාදකරව. ගෘහපතිය, මම හෝ වනාහි ශ්‍රමණ ගෞතමයාහට වාදය නගන්නෙමි. දීඝතපස්සි නිගණ්ඨතෙමේ හෝ (එසේ කරන්නේය) නුඹ හෝ එසේ කෙරෙහියයි” (කීයේය.)
දෙවනුවද දීඝ තපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්හට වාදය නගන්නේය යන යමක් වේද මෙය මට රුචි නොවෙයි. ස්වාමීනි ශ්‍රමණ ගෞතම තෙම මායා දන්නේය. යම් මායාවකින් අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරලා ගණීද, එබඳුවූ පෙරලීම කරන්නාවූ මායාවක් දනී.” “තපස්සීය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු නැත්තේය. අවකාශ නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක්වේද මෙයට කරුණු ඇත්තේමය. ගෘහපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් සමග මේ කාරණයෙහි වාද කරව. ගෘහපතිය, මම හෝ ශ්‍රමණ ගෞතමයාහට වාදය නගන්නෙමි. දීඝ තපස්සී නිගණ්ඨ තෙමේ හෝ නගන්නේය. නුඹ හෝ එසේ කෙරෙහිය.”
තුන්වෙනුවද, දීඝ තපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාහට මෙසේ කීවේය. “ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්හට වාදය නගන්නේය යන යමක් වේද මෙය මට රුචි නොවෙයි. ස්වාමීනි, ශ්‍රමණ ගෞතම තෙම මායා දන්නේය. යම් මායාවකින් අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරලා ගණීද එබඳුවූ පෙරලීම කරන්නාවූ මායාවක් දනී.” “තපස්සීය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක්වේද, එයට කරුණක් නැත. අවකාශයක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද මෙයට නම් කරුණු ඇත්තේය. ගෘශපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් සමග මේ කාරණයෙන් වාද කරව. ගෘහපතිය, මම හෝ ශ්‍රමණ ගෞතමයන්හට වාදය නගන්නෙමි. දීඝ තපස්සී නිගණ්ඨ තෙම හෝ නගන්නේය. නුඹ හෝ එසේ කරන්නෙහියයි” කීයේය.
“ස්වාමීනි, එසේයයි” කියා උපාලි ගෘහපතිතෙම නිගණ්ඨනාත පුත්‍රයාට උත්තරදී හුනස්නෙන් නැගිට නමස්කාර කොට පාවාරික නම් අඹ උයන යම් තැනකද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක සිටියේය. එක් පැත්තක සිටියාවූ උපාලි ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, දීඝතපස්සී නිගණ්ඨ තෙම මෙහි ආයේද?” “ගෘහපතිය, දීඝතපස්සී නිගණ්ඨ තෙම මෙහි ආයේයයි” (වදාළහ.) “ස්වාමීනි, ඔබ වහන්සේගේ දීඝතපස්සී නිගණ්ඨයා සමග කිසියම් කථාබහෙක් වීදැයි” (ඇසීය). “ගෘහපතිය, දීඝතපස්සී නිගණ්ඨයා සමග මාගේ කිසියම් කථාබහෙක් වීයයි” (වදාළේය). “ස්වාමීනි, දීඝතපස්සී නිගණ්ඨයා සමග ඔබ වහන්සේගේ කෙබඳු කථාවක් වීදැයි” ඇසීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දීඝතපස්සී නිගණ්ඨයා සමග වූ කථාසල්ලාපය යම්තාක් වීද? ඒ සියල්ල උපාලි ගෘහපතියාහට කීහ.
Msdiv 61 මෙසේ කී කල්හි උපාලි ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, යහපත, යහපත, තපස්සී තෙම මනාකොටම ශාස්තෘහුගේ අනුශාසනය දන්නාවූ උගත් ශ්‍රාවකයෙකු විසින් යම් සේද එපරිද්දෙන්ම දීඝතපස්සී නිගණ්ඨයා විසින් භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරණලදී.
“මෙසේ මහත්වූ මේ කායදණ්ඩය හා සමකර බලනවිට ලාමකවූ මනොදණ්ඩය කුමක්ද? පාපකර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට කායදණ්ඩයම ඉතා මහත් වරදවේ. වාක්දණ්ඩය එසේ නොවේ. මනොදණ්ඩය එසේ නොවේය”යි (කීයේය).
“ගෘහපතිය, ඉදින් නුඹ සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙහි නම් මෙහි අපගේ කථාසල්ලාපය වන්නේය”යි (වදාළහ) “ස්වාමීනි, මම සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාපය වේවා”යි (කීයේය).
Msdiv 62 “ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? මේ ලොකයෙහි නිගණ්ඨයෙක් හටගත් ආබාධ ඇත්තේ, දුකට පැමිණියේ, දැඩි ගිලන්වූයේ, සිහිල්දිය අත්හැරියේ උණු දිය සේවනය කරන්නෙක් වන්නේය. හෙතෙම සිහිල්දිය නොලබන්නේ කළුරිය කරන්නේය. ගෘහපතිය, නිගණ්ඨනාත පුත්‍රතෙම මොහු කොතැන්හි උපදීයැයි දක්වන්නේද?”
“ස්වාමීනි, මනොසත්ත නම් දෙවි කොටසක් ඇත්තේය. හෙතෙම එහි උපදියි.”
“එයට හේතු කවරේද?”
“ස්වාමීනි, හෙතෙම වනාහී සිත පිළිබඳ වූයේ කළුරිය කෙරේ”යයි (කීයේය).
“ගෘහපතිය, ගෘහපතිය, කල්පනාකොට ප්‍රකාශකරව. නුඹගේ පළමු කීම හා පසුව කීම හෝ පසුව කීම හා පළමු කීම හෝ නොගැළපේ. ගෘහපතිය, ‘ස්වාමීනි, මම සත්‍යයෙහි පිහිටා කථා කරන්නෙමි. මෙහි අපගේ කථා සල්ලාපය වේවා’ යන මේ වචනය තොප විසින් කියන ලද්දේමය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියන නමුත් කායදණ්ඩයම පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදවේ. වාක්දණ්ඩය එසේ නොවේ. මනො දණ්ඩය එසේ නෙවේ”යයි (කීයේය).
Msdiv 63 “ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? මේ ලෝකයෙහි නිගණ්ඨයෙක් තෙම සතර ආකාර සංවරයෙන් සංවරවූයේ, සියලු පව්වලින් වැළකීමෙන් වලකින ලද පව් ඇත්තේ සියලු පව්වලින් වැලකීමෙන් යුක්ත වූයේ, සියලු පවින් වැලකීමෙන් දුරුකරන ලද පව් ඇත්තේ, සියලු පවින් වැලකීමෙන් ස්පර්ෂ කරන ලද්දෙක් වන්නේය. හෙතෙම ඉදිරියට ගමන් කරන්නේද පස්සට ගමන් කරන්නේද බොහෝවූ කුඩා සතුන් නසයි. ගෘහපතිය, නිගණ්ඨනාත පුත්‍රතෙම මොහුට කවර විපාකයක් දක්වාදැ”යි (ඇසූහ).
“ස්වාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම නොසිතා කළ කර්මය මහාසාවද්‍ය (මහත් වරද) යයි නොදක්වන්නේය”යි (කීයේය).
“ගෘහපතිය, ඉදින් සිතා කරයි නම්, (කෙසේද?)
“ස්වාමීනි, මහාසාවද්‍යවේ.”
“ගෘහපතිය, නිගණ්ඨනාත පුත්‍රතෙම චෙතනාව කවර කොටසෙක්හි නියම කෙරේද?”
“ස්වාමීනි, මනොදණ්ඩ කොටසෙහිය”යි (කීයේය).
“ගෘහපතිය, ගෘහපතිය, කල්පනාකොට ප්‍රකාශ කරව. නුඹගේ පළමු වචනය හා පසුව කී වචනයද පසුව කී වචනය හා පළමු කී වචනයද නොගැළපේමය. ගෘහපතිය, ‘ස්වාමීනි, මම සත්‍යයෙහි පිහිටා කථා කරන්නෙමි. මෙහි අපගේ කථා සල්ලාපය වේවා’යි තොප විසින් මේ වචනය කියන ලදමය.” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියන නමුත් කාය දණ්ඩයම පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට මහාසාවද්‍යවේ. වාක්දණ්ඩය එසේ නොවේ. මනොදණ්ඩය එසේ නොවේ”යයි (කීයේය).
Msdiv 64 “ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? මේ නාලන්දාව සමෘද්ධි වූවාද ඉතා සමෘද්ධි වූවාද බොහෝ ජනයා ඇත්තීද? මිනිසුන්ගෙන් ගැවසීගන්නා ලද්දීද?”
“ස්වාමීනි, එසේය. මේ නාලන්දාව සමෘද්ධි වූවාද ඉතා සමෘද්ධි වූවාද බොහෝ ජනයා ඇත්තීද, මිනිසුන්ගෙන් ගැවසීගන්නා ලද්දීද වේ.
“ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? මෙහි ඔසවාගත් කඩුවක් ඇති පුරුෂයෙක් එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ‘මම මේ නාලන්දා නුවර යම් පමණ ප්‍රාණීහු වෙත්ද, ඔවුන් එක ක්ෂණයකින් එක මොහොතකින් එකම මස් ගොඩක් එකම මස් රැසක් කරන්නෙමි’යි (කියන්නේය). ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂතෙම මේ නාලන්දා නුවර යම් පමණ ප්‍රාණීහු වෙත්ද, ඔවුන් එක ක්ෂණයකින් එක මොහොතකින් එකම මස් ගොඩක් එකම මස් රැසක් කරන්ට සමර්ථ වේද?”
“ස්වාමීනි, පුරුෂයන් දසදෙනෙකුත් විසිදෙනෙකුන් තිස් දෙනෙකුත් හතලිස් දෙනෙකුත් පණස් දෙනෙකුත් මේ නාලන්දා නුවර යම්තාක් ප්‍රාණීහු වෙත්ද, ඔවුන් එක ක්ෂණයකින් එක මොහොතකින් එකම මස් ගොඩක් එකම මස් රැසක් කරන්ට අසමර්ථ වෙත්. ලාමකවූ එක් පුරුෂයෙක් කෙසේ නම් සමර්ථ වේද”
“ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඍද්ධිබල ඇති, හිත වසඟ කරගත් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙහි එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ‘මම මේ නාලන්දා නුවර එකම සිත දූෂ්‍යවීමකින් හළු කරන්නෙමි’යි (කියන්නේය). ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඍද්ධිබල ඇති, හිත වසඟ කරගත් එ මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ මේ නාලන්දා නුවර එකම සිත් දූෂ්‍යවීමකින් හළු කරන්ට සමර්ථ වේද?”
“ස්වාමීනි, නාලන්දාව වැනි නුවරවල් දසයකුදු විස්සකුදු තිහකුදු හතලිහකුදු පණසකුදු සිත වසඟ කරගත් ඒ මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ එකම සිත් දූෂ්‍යවීමකින් හළු කරන්ට සමර්ථවේ. කුඩාවූ එකම නාලන්දා නුවර ගැන කියනු කිම?”
“ගෘහපතිය, ගෘහපතිය, කල්පනා කොට කියව. නුඹගේ පළමු කීම හා පසුව කීමද පසුව කීම හා පළමු කීමද නොගැළපේමය. ගෘහපතිය, ‘ස්වාමීනි, මම සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාපය වේවා’යි මේ වචනය තොප විසින් කියන ලද මය.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියන නමුත් කායදණ්ඩයම පාපකර්ම කිරීමට පාපකර්ම පැවැත්මට අතිශයින් මහාසාවද්‍යවේ. වචීදණ්ඩය එසේ නොවේ. මනොදණ්ඩය එසේ නොවේ”යයි (කීයේය).
Msdiv 65 “ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? දණ්ඩ කාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මෙද්ධ්‍යාරණ්‍යය, මාතංගාරණ්‍යය (යන මහවනයන්) ගම් විනාශවී මහා වනයන් වූ සැටි නුඹ විසින් අසන ලදද?”
“ස්වාමීනි, එසේය. දණ්ඩකාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මෙධ්‍යාරණ්‍යය, මාතංගාරණ්‍යය ගම් විනාශ වී මහා වනයන්වූ සැටි මා විසින් අසන ලදී.
“ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? කවර කාරණයකින් ඒ දණ්ඩකාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මෙද්ධ්‍යරණ්‍යය, මාතංගාරණ්‍යය ගම් විනාශවී මහ වන වූයේ දැයි තොප විසින් අසන ලදද?”
“ස්වාමීනි, ඍෂීන්ගේ සිත් දූෂ්‍යවීමෙන් ඒ දණ්ඩකාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මෙද්ධ්‍යාරණ්‍යය, මාතංගාරණ්‍යය, ගම් විනාශ වී ආරණ්‍යය වීයයි මෙය මා විසින් අසනලදී.”
“ගෘහපතිය, ගෘහපතිය, කල්පනාකොට කියව. තොපගේ පළමු කීම හා පසුව කීමද පසුව කීම හා පළමු කීමද නොගැළපේමය. ගෘහපතිය, ‘ස්වාමීනි, මම සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙමි. මෙහි අපගේ කථා සල්ලාපය වේවා’යි මේ වචනය තොප විසින් කියන ලදමයයි” (වදාළහ).
Msdiv 66 “ස්වාමීනි, මම පළමු උපමාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සතුටු සිත් ඇත්තේ පැහැදුනෙමි. එතකුදු වුවත් මම මේ භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරුවූ ප්‍රශ්න විසඳීම් අසනුකැමැත්තේම මම භාග්‍යවතුන්වහන්සේට විරුද්ධව කථා කළ යුතුයයි හැඟීමි. ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළාවූවෙකුට මඟ කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොට යමි). භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වා”යි (කීයේය).
Msdiv 67 “ගෘහපතිය, සිතා බලා සුදුස්සක් කරව. සිතා බලා කිරීම නුඹ වැනි ප්‍රසිද්ධ මනුෂ්‍යයන්ට යහපත් වේ” යයි (වදාළහ). “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ‘සිතා බලා සුදුස්සක් කරව, සිතා බලා කටයුතු කිරීම තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට යහපත් වෙයි, යන යමක් මට මෙසේ කීයේද, මේ කාරණයෙනුත් මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වැඩියක්ම සතුටු සිත් ඇත්තේ ප්‍රසන්න වූයේ වෙමි. ස්වාමීනි, අන්‍ය තීර්ථකයෝ වූකලී මා වැනියකු ශ්‍රාවකයෙකු (වශයෙන්) ලැබී නම් සියළු නාලන්දා නුවර උපාලි සිටුතෙම අපගේ ශ්‍රාවක බවට පැමිණියේයයි කොඩි නංවන්නාහුය. එතකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළහ. ‘ගෘහපතිය, හිතා බලා සුදුස්සක් කරව. හිතා බලා කටයුතු කිරීම තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට යහපත් වේ’ (කියායි). ස්වාමීනි, ඒ මම දෙවනුත් භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොට යමි). භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම්කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා”යි (කීයේය)
Msdiv 68 “ගෘහපතිය, නුඹගේ කුලය බොහෝ කලක් නිගණ්ඨයන්ට පිළියෙල කළ ලිඳක් (පැන්මඩුවක්) මෙන් වේද? එහෙයින් ගෙට ආවාවූ ඔවුන්ට ආහාර දිය යුතුයයි හඟින්නෙහිය”යි (වදාළහ). “ස්වාමීනි යම්හෙයකින් මට භාග්‍යවතුන් වහන්සේ ‘ගෘහපතිය, බොහෝ කලක් තොපගේ කුලය නිගණ්ඨයන්ට පිළියෙල කළ ලිඳක් මෙන් වීද, එහෙයින් පැමිණියාවූ ඔවුන්ට ආහාරය දිය යුතු කොට හඟින්නෙහිය’යි මෙසේ වදාළේද, මෙයින්ද මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වැඩියක්ම සතුටු සිත් ඇත්තේ ප්‍රසන්න වූයේ වෙමි.
“ස්වාමීනි, ‘ශ්‍රමණ ගෞතම තෙම මටම දානය දිය යුතුයි අන්‍යයන්ට දානය දිය යුතු නොවේ. මගේම ශ්‍රාවකයන්ට දානය දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දානය දිය යුතු නොවේ. මටම දෙන ලද්ද මහත් ඵල වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල වෙයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵල නොවේය’යයි කියන්නේයයි මා විසින් අසන ලදී. එතකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ මා නිගණ්ඨයන් හටද දීමෙහි සමාදන් කරවයි. ස්වාමීනි, එහෙත් ඒ දීමෙහි අපි මෙහි කල් දනිමු. ස්වාමීනි, ඒ මම තුන්වෙනුවත් භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමි). භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා”යි (කීයේය).
Msdiv 69 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපාලි ගෘහපතියාහට පිළිවෙල කථාව වදාළේය. එනම් දානය පිළිබඳ කථාවය, සීලය පිළිබඳ කථාවය, ස්වර්ගය පිළිබඳ කථාවය, පඤ්ච කාමයන්ගේ දොෂය, ලාමක බවය, කෙලෙසීමය, නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසය ප්‍රකාශ කළහ. භාග්‍යවතුන් වහන්සේ යම් කලක උපාලි ගෘහපතියා නිරෝගි සිත් ඇත්තෙකු, මෘදු සිත් ඇත්තකු නීවරණයන් පහව ගිය සිත් ඇත්තකු, ඔද වැඩි සිත් ඇත්තකු, ප්‍රශන්න සිත් ඇත්තකු යයි දැනගත් සේක්ද? එකල්හි බුදුවරයන්ගේ තමන් විසින්ම අවබොධ කරගන්නාලද දුකය, දුකට හේතුය, දුක් නැති කිරීමය, දුක් නැති කිරීමේ මාර්ගය යන චතුස්සත්‍ය ධර්මයක් වේද, එය ප්‍රකාශ කළහ.
යම්සේ නම් පහව ගිය කළු පැහැ ඇති පිරිසිදු වස්ත්‍රය මනාකොටම රජනය (සායම) අල්වා ගන්නේද, එපරිද්දෙන් උපාලි ගෘහපතියා ඒ ආසනයෙහිම යම් කිසිවක් හටගැණීම ස්වභාව කොට ඇත්තේද, ඒ සියල්ල නැතිවීම ස්වභාව කොට ඇත්තේය යන රාගාදී රජස් රහිතවූ පහවූ රාගාදී මළ ඇති ධර්ම චක්ෂුස (සොතාපත්ති මාර්ග ඥානය) පහල වූයේය.
ඉක්බිති උපාලි ගෘහපති තෙම දක්නා ලද ආර්‍ය්‍ය සත්‍ය ධර්ම ඇත්තේ පැමිණෙනලද සත්‍ය ධර්ම ඇත්තේ, දැන ගන්නා ලද සත්‍ය ධර්ම ඇත්තේ, බැසගත් සත්‍ය ධර්ම ඇත්තේ, තරණය කළාවූ සැක ඇත්තේ, පහවගියාවූ සැක ඇත්තේ, විශාරද බවට පැමිණියේ, ශාස්තෘ ශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, දැන් අපියමු. අපි බොහෝ කෘත්‍ය ඇත්තෝ බොහෝ කටයුතු ඇත්තෝ වෙමු.” “ගෘහපතිය, නුඹ දැන් ඊට කාලය දනුව”යි (වදාළහ.)
Msdiv 70 ඉක්බිත්තෙන් උපාලි ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ ස්වකීය ගෘහය යම් තැනකද එතැනට ගියේය. ගොස් දොරටු පාලයා කැඳවීය. (කැඳවා) යහළු දොරටු පාලය, අද පටන් නිගණ්ඨයන්ට හා නිගණ්ඨීන්ට දොර වසමි. භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂූන්ටද භික්ෂූණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද දොර නොවසන ලද්දේ වෙයි. ඉදින් කිසියම් නිගණ්ඨයෙක් එයි නම් ඔහුට නුඹ මෙසේ කියව, “ස්වාමීනි, සිටුව මැනව, ඇතුල් නොවෙව, අද පටන් උපාලි සිටුතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. නිගණ්ඨයන්ටද නිගණ්ඨියන්ටද දොර වසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂූන්ටද භික්ෂූණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද දොර හරිනලදී. ස්වාමීනි, ඉදින් ඔබට ආහාරයෙන් ප්‍රයෝජන ඇත්තේ නම් මෙහිම සිටුව මැනව, මෙහිම ඔබට ආහාර ගෙනෙන්නාහුය’යි (කියව) “එසේය ස්වාමීනි”යි දොරටු පාල තෙම උපාලි සිටුහට උත්තර දුන්නේය.
Msdiv 71 දීඝතපස්සී නිගණ්ඨතෙම, උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන්න ඇසුවේය. ඉක්බිති දීඝතපස්සී නිගණ්ඨ තෙම නිගණ්ඨනාත පුත්‍රයා යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට මෙසේ කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපති තෙමේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. යන මෙය මා විසින් අසන ලදී.” “තපස්සිය, උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, ඊට හේතු නැත. අවකාශ නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු ඇත්තේය.”
දෙවනුවද දීඝ තපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපති තෙමේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන මෙය මා විසින් අසනලදී.” “තපස්සිය, උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, ඊට හේතු නැත. අවකාශ නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණේන්නේය යන යමක් වේද, ඊට කරුණු ඇත්තේය” තුන් වෙනුවද දීඝ තපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපතිතෙමේ වනාහි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන මෙය මා විසින් අසනලදී.” “තපස්සිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක්වේද, ඊට කරුණු නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද ඊටම කරුණු ඇත්තේය”යි (කීයේය.)
“එසේනම් ස්වාමීනි, මම යමි. ඉදින් උපාලි ගෘහපති තෙමේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේ හෝ වේද, නොපැමිණියේ හෝ වේදැයි දැනගනිමි.” “තපස්සිය, නුඹ යව. උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේ හෝ වේද, නොපැමිණියේ හෝ වේදැයි දැනගනුව”යි (කීයේය)
Msdiv 72 එකල්හි දීඝ තපස්සී නිගණ්ඨ තෙම උපාලි ගෘහපතියාගේ ගෘහය යම් තැනෙක්හිද, එහි ගියේය.
දොරටුපාලතෙම එන්නාවූ දීඝ තපස්සී නම්වූ නිගණ්ඨයා දුරදීම දුටුයේය. දැක දීඝ තපස්සී නම් නිගණ්ඨයාට මෙය කීයේය. “ස්වාමීනි, සිටිනු මැනව. ඇතුල් නොවෙනු මැනව. අද පටන් උපාලි සිටුතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. නිගණ්ඨයන්ටද නිගණ්ඨින්ටද දොර වසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂූන්ටද භික්ෂුණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද දොර හරිනලදී. ස්වාමීනි, ඉදින් නුඹ වහන්සේට ආහාරයෙන් ප්‍රයෝජන ඇත්තේ නම් මෙහිම සිටිනු මැනව. මෙතැනට ගෙනෙනවා ඇතැ”යි කීයේය.
“ඇවැත්නි, මට ආහාරයෙන් ප්‍රයොජනයක් නැතැ”යි කියා එයින් පෙරළා නිගණ්ඨනාත පුත්‍රතෙම යම් තැනෙක්හිද එහි ගියේය. ගොස්, නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. ‘ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන යමක් ඇද්ද එය සැබෑමය.’
“ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපනය කරන්නේය යන යමක් වේද, මෙය මට රුචි නොවේමය, ස්වාමීනි, ශ්‍රමණ ගෞතම තෙමේ වනාහි මායා කාරයෙක. යම් මායාවකින් අන්‍යතීර්ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරළා ගනීද, එබඳු පෙරළාගන්නා මායාවක් දනීය”යි මා කීවිට ඔබවහන්සේගෙන් ඊට අවසර නොලැබීමි. ස්වාමීනි, නුඹවහන්සේගේ උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන් විසින් ආවර්තනිමායාවෙන් පෙරළා ගන්නාලද්දේමයයි” (කීයේය)
“තපස්සිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, එයට හේතු නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, එයටම හේතු ඇත.”
දෙවනුවද දීඝ තපස්සි නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන යමක් වේද එය සැබෑමය. ස්වාමීනි, උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන්ට වාදාරොපනය කරන්නේය යන යමක් වේද, මෙය මට රුචි නොවේමය. ස්වාමීනි ශ්‍රමණ ගෞතම තෙම මායාකාරයෙකි. යම් මායාවකින් අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරලා ගනීද එබඳු ආවර්තනී මායාවක් දනීයයි මා කීවිට ඔබවහන්සේ ගෙන් ඊට අවසර නොලැබුනේය. ස්වාමීනි ඔබ වහන්සේගේ උපාලි ගෘහපති තෙම ශ්‍රමණ ගෞතමයන් විසින් ආවර්තනී මායාවෙන් පෙරලා ගන්නා ලද්දේයයි” කීය. “තපස්සිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද ඊට හේතු නැත් මැයි. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද ඊටම හේතු ඇත්තේ වේ.’ තුන්වෙනුවද දීඝ තපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය ‘ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන යමක් වේද, එය සැබෑමය. ‘ස්වාමීනි, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්හට වාදාරෝපනය කරන්නේය යන යමක් වේද මෙය මට රුචිනොවේමය. ස්වාමීනි, ශ්‍රමණ ගෞතම තෙමේ වනාහී මායාකාරයෙක. යම් මායාවකින් අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරළාගනීද, එබඳුවූ ආවර්තනි මායාවක් දනීයයි මා කීවිට ඔබවහන්සේ ගෙන් ඊට අවසර නොලැබුණේය. ස්වාමීනි, නුඹ වහන්සේගේ උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන් විසින් ආවර්තනී මායාවෙන් පෙරළා ගන්නා ලද්දේමයයි” කීය. “තප්සසිය, උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක්වේද, ඊට කරුණු නැත්තේමය, අවකාශයක් නැත. ශ්‍රමණ ගෞතම තෙම උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන යමක් වේද, ඊටම කරුණු ඇත. තපස්සිය, එබැවින් මමද යමි. ඉදින් උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේ හෝ වේද, නොපැමිණියේ හෝ වේදැයි මමම දැන ගනිමි”යි (කීය). ඉක්බිති නිගණ්ඨනාත පුත්‍රතෙම මහත්වූ නිගණ්ඨ පිරිස හා සමග උපාලි ගෘහපතියාගේ ගෘහය යම් තැනෙක්හිද එහි ගියේය.
දොරටු පාලතෙම එන්නාවූ නිගණ්ඨනාත පුත්‍රයා දුර දීම දුටුයේය. දැක නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, සිටිනුමැනව ඇතුළු නොවෙනු මැනව. අද පටන් උපාලි සිටුතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. නිගණ්ඨයන්ටද නිගන්ඨින්ටද දොර වසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂූන්ටද භික්ෂුණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද දොර හරිනලදී. ස්වාමීනි, ඉදින් නුඹ වහන්සේට ආහාරයෙන් ප්‍රයෝජන ඇත්තේනම් මෙහිම සිටිනු මැනව මෙතැනට ගෙනෙනවා ඇතැයි” කීය.
“යහළු දොරටු පාලය එසේවීනම්, උපාලි ගෘහපතිතෙම යම තැනකද එහි යව. ගොස් උපාලි ගෘහපතියාට මෙසේ කියව. “ස්වාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම මහත්වූ නිගණ්ඨ පිරිස සමග දොර කොටුවෙන් පිටත සිටියේය. හෙතෙමෙ නුඹ වහන්සේගේ දැකීම කැමැත්තේයයි. (කියව)” “එසේය ස්වාමීනි” කියා දොරටු පාලතෙම නිගණ්ඨනාත පුත්‍රයාට උත්තරදී උපාලි ගෘහපතියා යම් තැනකද එහි ගියේය. ගොස් උපාලි ගෘහපතියාට මෙය කීයේය. “ස්වාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම මහත්වූ නිගණ්ඨ පිරිස සමග දොරටුකොටුවෙන් පිටත සිටියේය. හෙතෙම නුඹ වහන්සේගේ දැකීම කැමැත්තේයයි” (කීය.)
“යහළු දොරටු පාලය, එසේ වී නම් මද්ධ්‍යම ද්වාරශාලාවෙහි ආසන පනවවයි” (කීය.) “එසේය ස්වාමීනි,” කියා දොරටු පාලතෙම උපාලි ගෘහපතියාට උත්තරදී, මද්ධ්‍යම ද්වාර ශාලාවෙහි අසුන් පනවා උපාලි ගෘහපතිතෙම යම් තැනෙක්හිද එහි ගියේය. ගොස් උපාලි ගෘහපතියාට මෙය කීයේය. “ස්වාමීනි, මැදවූ දොරටු ශාලාවෙහි නුඹ වහන්සේට අසුන් පනවන ලදහ. එයට දැන් කල් දන්නෙහියයි” (කීයේය.)
Msdiv 73 ඉක්බිති උපාලි ගෘහපතිතෙම මැද ද්වාරශාලාව යම් තැනකද එහි ගියේය. ගොස් එහි යම් ආසනයක් අග්‍රවීද, ශ්‍රෙෂ්ඨ වීද, උතුම්වීද, ප්‍රණීතවීද එහි හිඳ දොරටුපාලයාට මෙසේ කීය. “යහළු දොරටුපාලය, එසේවීනම් නිගණ්ඨනාත පුත්‍රයා යම් තැනෙක්හිද, එහි යව. ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට “ස්වාමීනි, ඉදින් කැමතිනම් ඇතුල්වුව මැනවයි උපාලි ගෘහපතිතෙම කියන්නේයයි කියව”, “එසේය ස්වාමීනි” කියා දොරටුපාල තෙම උපාලි ගෘහපතියාට උත්තර දී නිගණ්ඨනාත පුත්‍රයා යම් තැනෙක්හිද එහි ගියේය. ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය.
“ස්වාමීනි, ඉදින් කැමැත්තෙහි නම් ඇතුල්වුව මැනවයි උපාලි සිටු තෙමේ කීයේය”යි කීය.
ඉක්බිති නිගණ්ඨනාත පුත්‍රතෙම මහත්වූ නිගණ්ඨ පිරිස සමග මැද ද්වාර ශාලාව යම් තැනකද එතැනට පැමිණියේය. එකල්හි උපාලි ගෘහපතිතෙම පෙර යම් නිගණ්ඨනාත පුත්‍රයෙකු දුරදීම එන්නහු යම් තැනකදී දකීද, එතැනදී පෙර ගමන්කොට එහි යම් ආසනයක් අග්‍රද, ශ්‍රෙෂ්ඨද, උතුම්ද ප්‍රණීතද, එය උතුරු සළුවෙන් පිසදමා හාත්පසින් අල්වා ගෙන හිඳුවාද, හෙතෙම දැන් එහි යම් ආසනයක් අග්‍රද, ශ්‍රෙෂ්ඨද, උත්තමද, ප්‍රණීතද, එහි තෙමේ හිඳ, නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් හිඳගනු මැනව”යි (යනුයි)
මෙසේ කීකල්හි නිගණ්ඨනාත පුත්‍රතෙම උපාලි ගෘහපතියාට මෙය කීයේය. “ගෘහපතිය, නුඹ උමතු වූයෙහිද? ගෘහපතිය, නුඹ ජඩවූ යෙහිද? ‘ස්වාමීනි, මම යමි. ශ්‍රමණ ගෞතමයන්ට වදාරොපනය කරන්නෙමි’යි ගොස් මහත්වූ වාද බැම්මකින් වෙළී ආයේ වෙහිද? ගෘහපතිය, යම්සේ අණ්ඩහාරක පුරුෂයෙක් (සතුන් කප්පාදු කරන්නෙක්) ගොස් තමාගේ අණ්ඩය උදුරා දමනු ලැබ එන්නේද, ගෘහපතිය, යම්සේ හෝ ඇස් උදුරන්නාවූ පුරුෂයෙක් ගොස් උදුරණලද ඇස් වලින් යුක්තව එන්නේද, ගෘහපතිය, එපරිද්දෙන්ම නුඹ ‘ස්වාමීනි, මම යමි. ශ්‍රමණ ගෞතමයන්ට වාදාරොපණය කරන්නෙමි’යි ගොස් මහත්වූ වාද බැම්මකින් වෙළී ආයෙහිය ගෘහපතිය, නුඹ වනාහි ශ්‍රමණ ගෞතමයන් විසින් ආවර්තනී මායාවෙන් පෙරළා ගත්තෙහිය”යි (කීයේය.)
Msdiv 74 “ස්වාමීනි, ආවර්තනීමායාව හොඳය. ස්වාමීනි, ආවර්තනී මායාව යහපති. ස්වාමීනි, මාගේ ප්‍රිය නෑ සහ ලේ නෑයෝ මේ ආවර්තනී මායාවෙන් පෙරළෙන්නාහු නම්, එය මගේ ප්‍රියවූ, නෑ සහ ලේ නෑයන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය. ස්වාමීනි, සියලු ක්ෂත්‍රියයෝ මේ ආවර්තනී මායාවෙන් පෙරළෙන්නාහු නම්, එය, ඒ සියලු ක්ෂත්‍රියයන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය. ස්වාමීනි, ඉදින් සියළු බ්‍රාහ්මණයෝද මේ ආවර්තනී මායාවෙන් පෙරලෙන්නාහු නම්, ඒ සියලු බ්‍රාහ්මණයන්ටද බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය, ඉදින් සියලු වෛශ්‍යයෝද මේ ආවර්තනී මායාවෙන් පෙර ලෙන්නාහු නම්, එය සියලු වෛශ්‍යයන්ටද බොහෝ කාලයක් හිත පිණිස සැප පිණිස වන්නේය. ඉදින් සියලු ශුද්‍රයෝද මේ ආවර්තනී මායාවෙන් පෙරලෙන්නාහු නම් එය සියළු ශුද්‍රයන්ටද බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය. ස්වාමීනි, ඉදින් දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලොකයද, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවද මේ ආවර්තනීමායාවෙන් පෙරලෙන්නේ නම්, එය දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලොකයටද, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවටද බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය. ස්වාමීනි, එසේ වීනම් නුඹ වහන්සේට උපමාවක් කියන්නෙමි. මේ ලොකයෙහි සමහර නුවණැති පුරුෂයෝ උපමාවෙන්ද කියූ දෙයෙහි අර්ථය දැනගනිත්.
Msdiv 75 “ස්වාමීනි, පෙරවූ දෙයක් කියමි. ජරාවට ගියාවූ වයස් ගතවූ මහළුවූ එක්තරා බ්‍රාහ්මණයෙකුගේ ගැබිණිවූ වැදීමට ලන්වූ තරුණ මෙනෙවි අඹුවක් විය. ස්වාමීනි, ඉක්බිති ඒ මෙණෙවිය ඒ බමුණාට මෙසේ කීය. ‘බ්‍රාහ්මණය, නුඹ යව. මාගේ කුමාරයාට සෙල්ලම් කරනු ‘පිණිස කඩ පිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙනෙව’ (කියාය) ස්වාමීනි, මෙසේ කීකල්හි ඒ බමුණුතෙම ඒ මෙනෙවියට මෙසේ කීයේය. ‘පින්වතිය, යම්තාක් වදන්නෙහිද, ඒ තාක් බලාපොරොත්තු වෙව, පින්වතිය, ඉදින් නුඹ කුමරෙකු වදන්නෙහි නම් නුඹගේ ඒ කුමරුවාට සෙල්ලම් කරනු පිණිස කඩ පිලෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙනෙන්නෙමි. පින්වතිය, ඉදින් නුඹ කුමරියක් වදන්නෙහි නම් නුඹගේ ඒ කුමරියට සෙල්ලම් කරන පිණිස කඩපිළෙන් වඳුරු පැටවියක් මිළදී ගෙණෙන්නෙමි’යි කීයේය.
“ස්වාමීනි, දෙවනුවද ඒ මෙණෙවිය ඒ බමුණාට මෙය කීය. ‘බ්‍රාහ්මණය, මගේ කුමරුවාට සෙල්ලම් කරන පිණිස කඩපිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙණෙව’ ස්වාමීනි, දෙවනුවත් ඒ බමුණුතෙම ඒ මෙණෙවියට මෙය කීයේය. ‘පින්වතිය, යම්තාක් වදන්නෙහිද ඒ තාක් බලාපොරොත්තු වෙව. පින්වතිය, ඉදින් නුඹ කුමරෙකු වදන්නෙහි නම් නුඹගේ ඒ කුමරුට සෙල්ලම් කරනු පිණිස මම කඩපිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙනෙන්නෙමි. පින්වතිය, ඉදින් නුඹ කුමරියක් වදන්නෙහි නම් නුඹගේ ඒ කුමරියට සෙල්ලම් කරනු පිණිස මම කඩපිළෙන් වඳුරු පැටවියක් මිළදී ගෙනෙන්නෙමි.’
“ස්වාමීනි, තුන්වනුවද ඒ මෙණෙවිය ඒ බමුණාට මෙය කීය. ‘බ්‍රාහ්මණය, නුඹ යව, මගේ කුමරුවාට සෙල්ලම් කරන පිණිස කඩ පිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙනෙව.’ ස්වාමීනි, එකල්හි ඒ බමුණුතෙම ඒ මෙණෙවිය කෙරෙහි ඇලුම් ඇත්තේ පිළිබඳ සිත් ඇත්තේ කඩපිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙණවුත් ඒ මෙණෙවියට මෙසේ කීයේය. ‘පින්වතිය නුඹගේ කුමරුට සෙල්ලම් කරනු පිණිස නුඹට කඩපිළෙන් මේ වඳුරු පැටවා මිළදී ගෙන ආවෙමියි’ කීය. ස්වාමීනි, මෙසේ කීකල්හි ඒ මෙණෙවිය ඒ බමුණාට මෙසේ කීය. ‘බ්‍රාහ්මණය, නුඹ යව, මේ වඳුරු පැටවා ගෙණ රක්තපාණී නම් රජක පුත්‍රයා (සායම් ගාන්නා) යම් තැනකද එතැනට ගොස් රක්තපාණී නම් රජක පුත්‍රයාට මෙසේ කියව. යහළු රක්තපාණිය, මම මේ වඳුරු පැටවා පීතාවලෙපන නම් රන්වන් පාට කරන සායමින් සායම් කරන ලද්දකු, නැවත නැවත සායම් පොවන ලද්දෙකු දෙපස මදින ලද්දෙකු කරනු කැමැත්තෙමියි.’ (කියව) ස්වාමීනි, ඉක්බිති ඒ බමුණු තෙම ඒ මෙණෙවිය කෙරෙහි ඇලුම් ඇත්තේ පිළිබඳ සිත් ඇත්තේ ඒ වඳුරු පැටවා ගෙණ රක්තපාණී නම් රජක පුත්‍රයා යම් තැනකද එහි ගියේය. ගොස් රක්තපාණී නම් රජකපුත්‍රයාට මෙය කීයේය. ‘යහළු රක්තපාණිය, මම මේ වඳුරු පැටවා රන්වන්පාට කරන පීතාවලෙපන නම් සායමින් සායම් කරන ලද්දෙකු නැවත නැවත පොවන ලද්දෙකු දෙපස මදින ලද්දෙකු කරනු කැමැත්තෙමියි කීය. ස්වාමීනි මෙසේ කීකල්හි රක්තපාණී නම් රජකපුත්‍ර තෙම ඒ බමුණාට මෙය කීයේය. ‘ස්වාමීනි, නුඹගේ මේ වඳුරු පැටවා පාටකිරීමට සුදුසුය. නැවත නැවත තලා පෙවීමට සුදුසු නොවෙයි නැවත නැවත මැදීමට සුදුසු නොවේය’යි (කීයේය.)
“ස්වාමීනි, එපරිද්දෙන්ම අඥානවූ නිගණ්ඨයන්ගේ වාදය අඥානයන්ට පිටතින් පාට කිරීමට නම් සුදුසු වේමැයි. නුවණැත්තන්ට යෙදීමටවත් විමසීමටවත් සුදුසු නොවේ, ස්වාමීනි, ඉක්බිති ඒ බ්‍රාහ්මණ තෙමේ මෑත කලෙක අළුත්වූ වස්ත්‍ර දෙකක් ගෙණ රක්තපාණී නම්, රජක පුත්‍රයා යම් තැනකද එහි ගියේය. ගොස් රක්තපාණී නම් රජක පුත්‍රයාට මෙය කීයේය. ‘යහළු රක්තපාණීය, මේ අළුත්වූ වස්ත්‍ර දෙක (රන්වන් පැහැයෙන් පාට කරණ ලද්දක්) නැවත නැවත තලා පොවන ලද්දක් දෙපස මදින ලද්දක් (කරනු) කැමැත්තෙමි’යි (කීය). ස්වාමීනි, මෙසේ කී කල්හි රක්තපාණී නම් රජක පුත්‍රතෙම ඒ බමුණාට මෙය කීයේය. ‘ස්වාමීනි, නුඹගේ මේ අළුත්වූ වස්ත්‍ර දෙක සායම්, පෙවීමටද සුදුසුමය, පොඩිකිරීමටද සුදුසුය මැදීමටද සුදුසුයයි’ (කීය) ස්වාමීනි, එපරිද්දෙන්ම ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේගේ වාදය නුවණැත්තන්ට ප්‍රියවීමටද සුදුසු වේ මැයි. අඥානයන්ට ප්‍රිය නොවේ. නැවත නැවත යෙදීමටද සුදුසුවේ. විමසීමටද සුදුසු වේයයි” (කීයේය)
“ගෘහපතිය, රජුන් සහිත පිරිස උපාලි ගෘහපතිතෙම නිගණ්ඨනාත පුත්‍රයාගේ ශ්‍රාවකයෙකැයි දනියි. ගෘහපතිය තොප කවරෙකුගේ ශ්‍රාවකයෙකැයි දරම්දැයි” (ඇසීය) මෙසේ කී කල්හි උපාලි ගෘහපති තෙම හුනස්නෙන් නැගිට උතුරු සළුව ඒකාංසකොට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එදෙසට දොහොත් මුදුන්දී වැඳ නිගණ්ඨ නාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, එසේ වී නම් මම යමෙකුගේ ශ්‍රාවකයෙක්ද යනු අසනු මැනව.
Msdiv 76 [1] “මම, පණ්ඩිතවූ, පහවූ මොහය ඇති විශෙෂයෙන් බිඳිනලද පඤ්චචෙතොඛිල (පස්වැදෑරුම් හිතේ උල්) ඇති මාරයන් පරදවා ලබනලද විජය ඇති, නිදුක්වූ මනා සමවූ සිත් ඇති, වැඩුනාවූ ආචාර සිල් ඇති යහපත් ප්‍රඥා ඇති රාගාදී විෂම තරණය කළාවූ රාගාදීමල රහිතවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[2] මම, සැක නැත්තාවූ සතුටු සිත් ඇත්තාවූ වමාරණ ලද කාම ගුණ ඇති, මෘදුවූ, කරනලද මහණදම් ඇති, අසහාය මනුෂ්‍යවූ අන්තිම ශරීරය ඇති මනුෂ්‍යවූ, උපමා රහිතවූ, පහවූ රාගාදි රජස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[3] මම, සැක රහිතවූ දක්ෂවූ සත්වයන් හික්මවන්නාවූ උතුම් සාර්ථවාහකයෙකු බඳුවූ නිරුත්තරවූ පවිත්‍ර ධර්ම ඇත්තාවූ සැක රහිතවූ ආලොක කරන්නාවූ සිඳින ලද මානය ඇත්තාවූ වීර්‍ය්‍ය සම්පන්නවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[4] “මම, නිසභවූ (සියල්ලන්හට ශ්‍රෙෂ්ඨවූ) ප්‍රමාණ රහිතවූ ගුණයෙන් ගැඹුරුවූ, නුවණට පැමිණියාවූ නිර්භය කරන්නාවූ ඤාණය ඇත්තාවූ, ධර්මයෙහි පිහිටියාවූ සංවර කරනලද ආත්මය ඇති, රාගාදී කෙලෙස් පහකළාවූ කෙලෙසුන්ගෙන් මිදුනාවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[5] “මම කරුණු සතරකින් ශ්‍රෙෂ්ඨවූ, වනසෙනසුන් ඇත්තාවූ, විනාශ කරන ලද සංයෝජන ඇත්තාවූ, මිදුනාවූ, ප්‍රතිමන්ත්‍රණ ප්‍රඥාවෙන් යුක්තවූ, සෝදාහළ කෙලෙස් ඇත්තාවූ, මානය නැති කළාවූ, පහවූ රාග ඇති, දමනයවූ, ප්‍රපඤ්ච රහිතවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[6] “මම, සත්වන ඍෂිවූ, කුහකනොවූ, ත්‍රිවිද්‍යා ඇත්තාවූ, ශ්‍රෙෂ්ඨ බවට පැමිණියාවූ, සෝදාහළ කෙලෙස් ඇති, ගාථා පදකිරීමෙහි දක්ෂවූ, සැහැල්ලුවූ, දන්නාලද නුවණ ඇති, සියල්ලන්ට පළමු ධර්මදානය දුන්නාවූ, සමර්ථවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[7] “මම, ආර්‍ය්‍යවූ, වඩනාලද සිත් ඇති, පැමිණියයුතු ගුණයන්ට පැමිණියාවූ, විස්තරකොට අර්ථ ප්‍රකාශකරන්නාවූ, සිහි ඇත්තාවූ, විශෙෂයෙන් දක්නා නුවණ ඇති, අර්හත්වූ, දුෂ්ටනොවූ, තෘෂ්ණා රහිතවූ, වසඟභාවයට පැමිණියාවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[8] “මම, යහපත් මාර්ගයට පැමිණියාවූ, ධ්‍යාන ඇත්තාවූ, කෙලෙසුන් විසින් අනුමානය නොකරණලද සිත් ඇත්තාවූ, පිරිසිදුවූ, නොබැඳුනාවූ, ප්‍රහීණ නොවූ, උතුම් විවෙකය ඇත්තාවූ, අග්‍ර බවට පැමිණියාවූ, තෙමේ එතෙරවූ, අනුන් එතෙර කරන්නාවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[9] “මම, සාන්තවූ, පොළොවක් මෙන් පතළාවූ නුවණ ඇති, මහත්වූ ප්‍රඥා ඇති, පහව ගියාවූ ලොභ ඇති, තථාගතවූ, මනා ගමන් ඇති, සමාන පුද්ගලයන් නැත්තවූ, අසමවූ, විශාරදවූ, නිපුණවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[10] “මම, සිඳිනලද තෘෂ්ණා ඇති, චතුස්සත්‍යය අවබොධ කළාවූ, පහවූ කෙලෙස් දුම් ඇති, තෘෂ්ණාදෘෂ්ටි තැවරීම් වලින් නොතැවරුණාවූ, පූජා පිළිගැනීමට සුදුසු වූ, ආනුභා සම්පන්නවූ, උත්තම පුද්ගලවූ, අසමවූ, මහත් වූ, යසසින් අග පැමිණියාවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි”යි (කීයේය.)
Msdiv 77 “ගෘහපතිය, ශ්‍රමණ ගෞතමයන්ගේ මේ ගුණයෝ තොප විසින් කවර කලෙක රැස්කරගන්නා ලද්දාහුද?” (ගොතන ලද්දාහුද?) “ස්වාමීනි, යම්සේ නොයෙක් මල් ඇති මහත්වූ මල් රැසක් වේද, එයින් දක්ෂවූ මාලාකාරයෙක් හෝ මාලාකාරයෙකුගේ අතවැසියෙක් හෝ විසිතුරු මල් මාලාවක් ගොතන්නේද, ස්වාමීනි, එපරිද්දෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ නොයෙක් ගුණ ඇත්තාහ. නොයෙක් සිය ගණන් ගුණ ඇත්තාහ. ස්වාමීනි, කවරෙක් වනාහි ගුණ කියයුත්තාගේ ගුණ වර්ණනා නොකරන්නේදැ?”යි (කීයේය.) එකල්හි භාග්‍යවතුන් වහන්සේට කරන සත්කාරය නොඉවසන්නාවූ නිගණ්ඨනාත පුත්‍රයාගේ මුවින් එතැනම උණු ලේ පිට විය.
හයවෙනිවූ උපාලි සූත්‍රය නිමි. (1-6)
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source