The Ascetic Who Behaved Like a Dog
Kukkuravatika Sutta
PDFGenerated
Some ascetics in ancient India undertook extreme practices, such as a vow to behave like an ox or a dog. The Buddha meets two such individuals, and is reluctantly pressed to reveal the kammic outcomes of such practice.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මජ්ඣිම පණ්ණාසකය 1. ගෘහපති වර්ගය 57. කුක්කුරවතිය සූත්‍රය Msdiv 78 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොලිය ජනපදයෙහි ‘හළිද්ද වසන’ නම් කොලිය ජනපද වාසීන්ගේ නියම්ගමක් වේ. (එය ගොදුරු ගම්කොට) වැඩවෙසෙන සේක.
එකල්හි සමාදන්වූ ගොව්‍රත ඇති (ගොනෙකු මෙන් හැසිරෙන සීලය ඇති) “පුණ්ණ” නම් කොලිය පුත්‍ර තෙමේද, සමාදන්වූ සුනඛ ව්‍රතය ඇති (බල්ලෙකු මෙන් හැසිරෙන සීලය ඇති) “සෙනිය” නම් අචෙලක තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, ගොන් පැවතුම් ඇත්තාවූ “පුණ්ණ” නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. බලු පැවතුම් ඇත්තාවූ “සේනිය” නම් ආවෙලක තෙම වනාහී භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා බල්ලෙකු මෙන් බිම ලැග ගෙණ එකපැත්තක හුන්නේය.
එකපැත්තක හුන්නාවූම ගොන් පැවතුම් ඇති පුණ්ණ නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ බලු පැවතුම් ඇති සේනිය නම් අචෙලක තෙමේ දුෂ්කරක්‍රියා කරන්නේ බිම දමන ලද්දක් කයි. ඔහුගේ ඒ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේදැ”යි ඇසුවේය.
“පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි” (වදාළේය)
දෙවනුවද ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අචෙලක තෙම දුෂ්කර ක්‍රියා කරන්නේ බිම දමන ලද්දක් කන්නේ ඔහුගේ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?”
“පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරව.” තුන්වෙනුවද ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලියපුත්‍ර තෙම භාග්‍යවතුන්වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අචෙලක තෙම දුෂ්කරක්‍රියා කරන්නේ බිම දමන ලද්දක් කයි. ඔහුගේ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව ගතිය කවරේද?”
Msdiv 79 “පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි, පුණ්ණය, ඒකාන්තයෙන් මම තොපගේ ඉල්ලීම නොලබමි. එහෙත් තට මම ප්‍රකාශ කරන්නෙමි. පුණ්ණය, මේ ලොකයෙහි ඇතමෙක් බලු පැවතුම් සමාදානය සම්පූර්ණකොට නිරතුරුව වඩාද, බලු ශීලය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩාද, බලු සිත සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, බල්ලන්ගේ ආකාරය සම්පූර්ණකොට නිරන්තරෙයන් වඩාද, හෙතෙම බලු පැවතුම් සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා, බලු ශීලය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා, බලු චිත්තය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා, බල්ලන්ගේ ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු බල්ලන්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් වනාහී මොහුගේ මෙබඳු ඇදහීමක් වේද, ‘මම මේ ශීලයෙන් හෝ පැවතුමෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හෝ, දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමියි’ (කියායි.) එය මොහුගේ මිථ්‍යාදෘෂ්ටිය වන්නීය. පුණ්ණය, මම මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුට වනාහි නරකය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා ගතියක් කියමි. පුණ්ණය, මෙසේ සම්පූර්ණ කරන්නාවූ බලු පැවතුම වනාහි බල්ලන්ගේ සහභාවයට පමුණුවයි. නරකයද විද්‍යාමාන වේ”යයි මෙසේ වදාළ කල්හි බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අචෙලක තෙම හැඬුයේය. කඳුලු වැගිරවූයේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍රයාට මෙය කීයේය. “පුණ්ණය ඒකාන්තයෙන් මම තොපගේ ඉල්ලීම නොලබමි. පුණ්ණය, කම් නැත. පුණ්ණය මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි, කීයේ මේ නිසාය.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යමක් මට මෙසේ වදාළේද, මම මෙයට නොහඬමි. ස්වාමීනි, එසේ වුවත් මාගේ මේ බලු පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ස්වාමීනි, මේ පුණ්ණ නම් කොළිය පුත්‍ර තෙමේද සමාදන්වූ ගොන් පැවතුම් ඇත්තෙකි. ඔහුගේ ඒ ගොන් පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?”
“සෙනියය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි” (වදාළේය). දෙවනුවද, බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අචෙලක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ පුණ්ණ නම් කොලිය පුත්‍ර තෙම සමාදන්වූ ගොන් පැවතුම් ඇත්තේය. ඔහුගේ ඒ ගොන් පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?”
“සෙනියය, කම් නැත මෙය තිබේවා. මා මෙය නොවිචාරව.”
තුන්වෙනුවද, බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අචෙලක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ පුණ්ණ නම් කොළිය පුත්‍ර තෙම සමාදන්වූ ගොන් පැවතුම් ඇත්තේය. ඔහුගේ ඒ ගොන් පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?”
Msdiv 80 “සෙනියය, කම් නැත. සෙනියය, මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි. එකාන්තයෙන් තොපගේ ඉල්ලීම මම නොලබමි. එහෙත් තට මම ප්‍රකාශ කරන්නෙමි.
“සෙනියය, මේ ලොකයෙහි ඇතමෙක් ගොන් පැවතුම් සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩාද, ගොන් ශීලය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, ගොන් චිත්තය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, ගොන් ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩාද, හෙතෙම ගොන් පැවතුම සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා ගොන් ශීලය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා ගොන් චිත්තය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා, ගොන් ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු ගවයන්ගේ ස්වභාවයට පැමිණේ. ඉදින් වනාහී, මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ, දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් අන්‍යතරයෙක් හෝ වන්නෙමියි, ඔහුගේ ඇදහීම වේද, එය (ඒ ඇදහීම) ඔහුගේ මිථ්‍යා දෘෂ්ටිය වේ. සෙනියය, මිථ්‍යා දෘෂ්ටි ඇත්තහුට වනාහී මම නරකය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා ගතියක් කියමි. සේනියය, මෙසේ සම්පූර්ණ කරන්නාවූ ගොන් පැවතුම් වනාහි භවයන්ගේ සහභාවයට පමුණුවයි. නරකයද විද්‍යමාන වෙයි.” මෙසේ වදාළ කල්හි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍රතෙම හැඬුයේය. කඳුළු වැගිරවූයේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අචෙලකයාට මෙය වදාළේය. “සෙනියය, කම් නැත සේනියය මෙය තිබේවා, මා මෙය නොවිචාරවයි’ මෙය වනාහී තොප ගෙන් මම නොලබමි.”යි කීයේ මේ නිසාය.
“ස්වාමීනි, යමක් මට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේද, මම මෙයට නොහඬමි. ස්වාමීනි, එසේවූවත් මාගේ මේ ගොන් පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දකින් මමද මේ ගොන් පැවතුම් දුරුකරන්නෙම්ද, මේ බලු පැවතුම ඇත්තාවූ සෙනියනම් අචෙලක තෙමේද ඒ බලු පැවතුම දුරු කරන්නේද, එපරිද්දෙන් ධර්මය දෙශනා කරන්ට සමර්ථවේනම් මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ ප්‍රශන්න වූයේ වෙමියි,” (කීයේය.)
“පුණ්ණය, එසේනම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි.” “එසේය, ස්වාමීනි,”යි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
Msdiv 81 “පුණ්ණය, මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරනලද්දාවූ මේ කර්ම සතරක් වෙත්. කවර සතරක්දයත්, පුණ්ණය, කෘෂ්ණවූ (දස අකුසල් කර්ම පථවූ) කෘෂ්ණ විපාක ඇති (අපායෙහි උපදින හෙයින් කළුවූ විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, ශුක්ලවූ (දසකුසල කර්ම පථයවූ) ශුක්ල විපාක ඇති (ස්වර්ගයෙහි උපදින හෙයින් සුදුවූ විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණවූද, ශුක්ලවූද (මිශ්‍රක කර්මයවූ) කෘෂ්ණවූද, ශුක්ලවූද විපාක ඇති (සැපවූද දුක්වූද විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණ නොවූ, ශුක්ලනොවූ, කෘෂ්ණ ශුක්ලනොවූ විපාක ඇති (යම්) කර්මයක් කර්මක්ෂය කිරීම පිණිස පවතීද (එබඳුවූ) කර්මයක්ද ඇත්තේය.
“පුණ්ණය, කෘෂ්ණාවූ, කෘෂ්ණ විපාක ඇත්තාවූ කර්මය කවරේද? පුණ්ණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් සහිතවූ කාය සංස්කාරය (කාය ද්වාරයෙහි හටගන්නා දොළොස් අකුසල්) රැස්කරයිද, දුක් සහිතවූ වාක් සංස්කාරය (වචනයෙන් පවත්නා දොළොස් අකුසල්) රැස්කරයිද, දුක් සහිතවූ මනො සංස්කාරය (සිතෙහි හටගන්නා අකුසල් චෙතනාවන්) රැස්කරයිද, හෙතෙම දුක් සහිතවූ කාය සංස්කාරය රැස්කොට, දුක්සහිතවූ වාක් සංස්කාරය රැස්කොට, දුක් සහිතවූ මනො සංස්කාරය රැස්කොට, දුක් සහිතවූ ලොකයෙහි උපදියි. දුක් සහිතවූ ලොකයෙහි උපන්නාවූම ඔහු දුක් සහිතවූ විපාක ස්පර්ශයෝ ස්පර්ශ කරත්. හෙතෙම දුක් සහිතවූ විපාක ස්පර්ශවලින් ස්පර්ශකරන ලද්දේම, දුක් සහිතවූ එකාන්තයෙන් දුක්වූ වේදනාව විඳියි. නිරයෙහි උපන් සත්වයෝ යම්සේද එමෙනි. පුණ්ණය, මෙසේවූ කර්ම හේතුවෙන් සත්වයාගේ උත්පත්තියවේ. යමක් කරයිද එයින් උපදියි. උපන්මොහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. පුණ්ණය, මෙසේද මම සත්වයෝ කර්මය දායාද කොට ඇත්තාහුයයි කියමි. පුණ්ණය, මෙය කෘෂ්ණවූ කෘෂ්ණවිපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.
“පුණ්ණය, ශුක්ලවූ ශුක්ල විපාක ඇත්තාවූ කර්මය කවරේද? පුණ්ණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිදුක්වූ කාය සංස්කාරය (කාය ද්වාරයෙහි පැවති කාමාවචර කුසල් සිත් අට) රැස්කරයිද, නිදුක්වූ වාක් සංස්කාරය (වචනයෙහි පැවති කුසල්) රැස්කරයිද, නිදුක්වූ මනො සංස්කාරය (මනොද්වාරයෙහි පැවති කුසල චෙතනාවන්) රැස්කරයිද, හෙතෙම නිදුක්වූ කාය සංස්කාරය රැස්කොට නිදුක්වූ වාක් සංස්කාරය රැස්කොට නිදුක්වූ මනො සංස්කාරය රැස්කොට නිදුක්වූ ලොකයෙහි උපදියි. නිදුක්වූ ලොකයෙහි උපන්නාවූ ඔහු නිදුක්වූ ස්පර්ශයෝ ස්පර්ශ කරත්. නිදුක්වූ ස්පර්ශවලින් ස්පර්ශ කරන ලද්දාවූම හෙතෙම නිදුක්වූ එකාන්ත සැපවූ වෙදනාව විඳියි. සුභකිණ්හ නම් දෙවියෝ යම්සේද එමෙනි. පුණ්ණය, මෙසේ වනාහී ඇතිවූ කර්මයෙන් සත්වයාගේ උත්පත්තියවේ. යමක් කරයිද එයින් උපදියි. උපන්නාවූ මොහු ස්පර්ශයෝ ස්පර්ශ කරත්. පුණ්ණය, මෙසේද, මම සත්වයෝ කර්මය දායාදකොට ඇත්තාහුයයි කියමි. පුණ්ණය, මෙය, ශුක්ලවූ, ශුක්ල විපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.
“පුණ්ණය, කෘෂ්ණ ශුක්ලවූ, කෘෂ්ණ ශුක්ල විපාක ඇති කර්මය කවරේද? පුණ්ණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් සහිතවූද නිදුක් සහිත වූද කාය සංස්කාරය රැස් කරයිද, දුක් සහිතවූද, නිදුක්වූද වාක් සංස්කාරය රැස් කරයිද, දුක් සහිතවූද නිදුක් සහිතවූද මනො සංස්කාරය රැස් කරයිද, හෙතෙම දුක් සහිතවූද නිදුක්වූද කාය සංස්කාරය රැස් කොට, දුක් සහිතවූද නිදුක්වූද වාක් සංස්කාරය රැස් කොට, දුක් සහිතවූද නිදුක්වූද මනො සංස්කාරය රැස්කොට දුක්සහිතවූද දුක් රහිතවූද ලොකයෙහි උපදියි. දුක් සහිතවූද දුක් රහිතවූද ලොකයෙහි උපන්නාවූම ඔහු දුක් සහිතවූද දුක් රහිතවූද ස්පර්ශයෝ ස්පර්ශ කරත්. දුක් සහිතවූද දුක් රහිතවූද ස්පර්ශයෝ ස්පර්ශ කරන ලද්දාවූම හෙතෙම දුක් සහිතවූද දුක් රහිතවූද සැපදුක් දෙකින් මිශ්‍රවූ වෙදනාව විඳියි. මනුෂ්‍යයෝද, ඇතැම් දෙවියෝද, ඇතැම් විමාන ප්‍රෙතයෝද යම්සේද, එමෙනි. පුණ්ණය, මෙසේ වනාහී ඇතිවූ කර්මයෙන් සත්වයාගේ උත්පත්තිය වේ. යමක් කරයිද, එයින් උපදියි. උපන්නාවූ මොහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. පුණ්ණය, මෙසේද මම සත්වයෝ කර්මය දායාද කොට ඇත්තාහු යයි කියමි. පුණ්ණය, මෙය, කෘෂ්ණ ශුක්ලවූ කෘෂ්ණ ශුක්ල විපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.
“පුණ්ණය, කෘෂ්ණ නොවූ, ශුක්ල නොවූ, කෘෂ්ණ ශුක්ල නොවූ විපාකද නැති කර්මය කර්මක්ෂය පිණිස පවතියිද, ඒ කර්මය කවරේද? පුණ්ණය, ඒ ත්‍රිවිධ කර්මයන් අතුරෙන් කෘෂ්ණවූ කෘෂ්ණ විපාක ඇත්තාවූ යම් මේ කර්මයක් වේද, එය දුරු කිරීම පිණිස යම් චෙතනාවක් වේද, ශුක්ලවූ ශුක්ල විපාක ඇත්තාවූ යම් මේ කර්මයකුත් ඇද්ද ඔහුගේ දුරු කිරීම පිණිස යම් චෙතනාවක් වේද, කෘෂ්ණ ශුක්ලවූ කෘෂ්ණ ශුක්ල විපාක ඇත්තාවූ යම් මේ කර්මයකුත් ඇද්ද, එය දුරුකිරීම පිණිස යම් චෙතනාවක් වේද, පුණ්ණය, මෙය කෘෂ්ණද නොවූ ශුක්ලද නොවූ, කෘෂ්ණ ශුක්ල විපාකද නැති කර්මය කර්මක්ෂය පිණිස පවතියිද ඒ මේ කර්මයයි කියනු ලැබේ. පුණ්ණය, මේ කර්ම සතර වනාහි මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන ලද්දාහුය”යි (වදාළේය.)
Msdiv 82 මෙසේ වදාළ කල්හි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොළිය පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ‘ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුමක් එලිදරවු කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්මය දෙශනා කරන ලද්දේය. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ කොට ගනිමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා”යි කීය.
බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අචෙලක තෙම වනාහී භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසන ලද්දක් වැසුම් හරින්නේ, හෝ වේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ වේද. අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල්පහනක් දරන්නේ හෝ වේද එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දෙශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොට යමි.) ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණ කම ලබන්නෙමි. උපසම්පදාවද ලබන්නෙමියි” (කීයේය)
“සෙනියය, පෙර අන්‍ය තීර්ථකවූ යමෙක් වනාහී මේ ශාසනයෙහි පැවිදි වීම කැමති වේද, උපසම්පදාව කැමති වේද, හෙතෙම සාරමසක් පිරිවෙස් වෙසෙයි. සාරමසක් ගතවීමෙන් සතුටු සිත් ඇති භික්ෂූහු භික්ෂු භාවය පිණිස පැවිදි කරත්. උපසම්පදා කරත්, එතකුදුවුවත් මට මෙහි පුද්ගලයන්ගේ වෙනස් බව ප්‍රකටය”යි (වදාළේය)
“ස්වාමීනි, ඉදින් පෙර අන්‍යතීර්ථකවූවෝ මේ ශාසනයෙහි පැවිදි වීම කැමැත්තාහු උපසම්පදාව කැමැත්තාහු සාර මසක් පිරිවෙස් වෙසෙත් නම්, සාර මසක් ගතවීමෙන් සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු භික්ෂු භාවය පිණිස පැවිදි කරත් නම්, උපසම්පදා කරත් නම්, මම සතර අවුරුද්දක් පිරිවෙස් වසන්නෙමි. සතර අවුරුද්දක් ගතවීමෙන් සතුටු සිත් ඇති භික්ෂූහු භික්ෂුභාවය පිණිස මා පැවිදි කෙරෙත්වා, උපසම්පදා කෙරෙත්වා”යි (කීයේය.)
බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අචෙලක තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලැබූයේය. උපසම්පදාව ලැබුයේය. උපසම්පදාවූ නොබෝ කල් ඇති ආයුෂ්මත් සේනිය ස්ථවිර තෙමේ වනාහි හුදකලා වූයේ, වෙන්වූ වාසය ඇත්තේ, අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, හරණලද ආත්මාලය ඇත්තේ, වාසය කරමින් නොබෝ කලකින්ම යමක් සඳහා ආචාර කුලපුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, ඒ උතුම්වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇත්තාවූ (අර්හත් ඵලයට) මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන අවබොධ කොට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂය කරණ ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලදී. සතර මගින් කටයුතු දෙය කරන ලදී. මෙයින්පසු අනික් කළ යුත්තක් නැතැයි මනාව දැන ගත්තේය. ආයුෂ්මත් සෙනිය ස්ථවිර තෙමේ වනාහී රහතන් ගෙන් එක්තරා කෙනෙක් වූයේය.
හත්වෙනිවූ කුක්කුරවතිය සූත්‍රය නිමි. (1-7)
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source