LibraryMNMN 58
MN 5812 min read

With Prince Abhaya

Abhayarājakumāra Sutta

20
PDFGenerated
01 · Overview

The leader of the Jains, Nigaṇṭha Nātaputta, gives his disciple Prince Abhaya a dilemma to pose to the Buddha, supposing that this will show his weakness. Things don’t go quite as planned.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මජ්ඣිම පණ්ණාසකය 1. ගෘහපති වර්ගය 58. අභය (රාජකුමාර) සූත්‍රය Msdiv 83 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින් කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහී අභය නම් රාජකුමාර තෙම නිගණ්ඨනාත පුත්‍රතෙම යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූ ම අභය නම් රාජකුමාරයාට නිගණ්ඨනාත පුත්‍රතෙම මෙය කීයේය. “රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතමයන්ට වාදයක් ආරෝපනය කරව, (දොසක් නගව) ‘අභය නම් රාජකුමාරයා විසින් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන් හට වාදාරෝපනය කරන ලද්දේයයි’ මෙසේ තොපගේ යහපත් ගුණ ඝොෂණයක් පැන නගින්නේය.”

“ස්වාමීනි, මම වනාහී ඒ කෙසේ නම් මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන් හට වාදාරෝපනය කරන්නෙම්ද?”

“රාජකුමාරය, එව. නුඹ ශ්‍රමණ ගෞතම තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණෙව. පැමිණ ශ්‍රමණ ගෞතමයන්ට මෙසේ කියව. ‘ස්වාමීනි, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද තථාගත තෙමේ එබඳු වචනයක් කියන්නේදැයි,” (අසව) ඉදින් තොප විසින් ශ්‍රමණ ගෞතම තෙම මෙසේ විචාරණ ලද්දේ ‘රාජකුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද තථාගතතෙම එබඳු වචනයක් කියන්නේයයි’ මෙසේ ප්‍රකාශ කෙරේ නම්, ඔහුට නුඹ මෙසේ කියව. ස්වාමීනි, එසේ ඇති කල්හි නුඹ වහන්සේගේ හා පෘථග්ජනයෙකුගේ ඇති වෙනස කවරේද? පෘථග්ජන තෙමේද වනාහී යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද එබඳු වචන කියන්නේයයි කියව.”

“ඉදින් වනාහී තොප විසින් මෙසේ විචාරණ ලද්දාවූ ශ්‍රමණ ගෞතම තෙම, ‘රාජකුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගත තෙම එබඳු වචනය නොකියන්නේය’යි මෙසේ ප්‍රකාශ කෙරේ නම් ඔහුට නුඹ මෙසේ කියව. ‘ස්වාමීනි, එසේ ඇති කල්හි නුඹ වහන්සේ විසින් දෙවදත්ත තෙම අපායෙහි උපදින්නෙක, දෙවදත්ත තෙම නිරයෙහි උපදින්නෙක, දෙවදත්ත තෙම කල්පයක් නිරයෙහි සිටින්නෙක, දෙවදත්ත තෙම පිළියම් කළ නොහැක්කෙකැයි’ කුමට ප්‍රකාශ කරන ලද්දේද? නුඹ වහන්සේගේ ඒ වචනයෙන් වනාහී දෙවදත්ත තෙම කිපියේ නොසතුටු සිත් ඇත්තේ වීය’යි (කියව.) රාජකුමාරය, නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය විචාරණ ලද්දාවූම ශ්‍රමණ ගෞතම තෙම වමාරන්ට නොහැකිවෙයි. ගිලගන්ට නොහැකිවෙයි. යම්සේ නම් පුරුෂයෙකුගේ උගුරෙහි ඇණුනු යකඩ කොක්කක් හෙතෙම වමාරන්ටත් නොහැකි වන්නේද, ගිලින්ටත් නොහැකි වන්නේද, රාජ කුමාරය, එපරිද්දෙන්ම තොප විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලද්දාවූම, ශ්‍රමණ ගෞතම තෙම වමාරන්ටත් නොහැකිවේ, ගිලගන්ටත් නොහැකි වේය”යි (කීයේය.)

“ස්වාමීනි, එසේය” කියා අභය රාජ කුමාර තෙම නිගණ්ඨනාත පුත්‍රයාට උත්තර දී හුනස්නෙන් නැගිට නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය.

Msdiv 84 එක් පැත්තක හුන්නාවූම අභය රාජකුමාරයාහට හිරු දෙස බලා මෙබඳු සිතක් වූයේය. ‘අද වනාහී භාග්‍යවතුන් වහන්සේට වාදාරොපනය කරන්ට කල් නොවේ. හෙට මම ස්වකීය ගෘහයෙහිදී භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපනය කරන්නෙමි’යි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, සෙට දවස පිණිස භාග්‍යවතුන් වහන්සේ තමා සතර වෙනි කොට ඇත්තේ මාගේ බත ඉවසන සේක්වා.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසූසේක. ඉක්බිති අභය රාජකුමාර තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගියේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ගතවීමෙන් පෙරවරු වේලෙහි හැඳපොරවා පාත්‍රා සිවුරුගෙණ අභයරාජ කුමාරයාගේ ගෘහය යම් තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ පනවනලද ආසනයෙහි වැඩහුන්සේක. ඉක්බිති අභයරාජ කුමාරතෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීතවූ කෑයුතු දෙයින් කටයුතු දෙයින් සියතින් වැළඳ වූයේය. සම්පවාරණය කරවූයේය. ඉක්බිති වළඳා අවසන්වූ පාත්‍රයෙන් ඉවත්කරණලද අත් ඇති භාග්‍යවතුන් වහන්සේ (වෙත) එක්තරා මිටි ආසනයක් ගෙණ එක පැත්තක උන්නේය.

Msdiv 85 එක පැත්තක හුන්නාවූම අභයරාජ කුමාර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“ස්වාමීනි, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගතතෙම එබඳු වචනය කියන්නේද?”

“රාජ කුමාරය, එය ඒකාන්ත නොවේ”යයි (වදාළේය) “ස්වාමීනි, මේ ප්‍රශ්නයෙහිදී නිගණ්ඨයෝ නැසුනාහුය”යි (කීයේය) “රාජකුමාරය, කුමට වනාහි නුඹ, ‘ස්වාමීනි, මෙහි නිගණ්ඨයෝ නැසුනාහුය”යි මෙසේ කියන්නෙහිද?

“ස්වාමීනි, මෙහි මම නිගණ්ඨනාත පුත්‍රතෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ එකපැත්තක හුන්නෙමි. ස්වාමීනි, එක පැත්තක හුන්නාවූ මට නිගණ්ඨනාත පුත්‍රතෙම මෙය කීයේය. ‘රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතමයන්ට දොෂයක් නගව, අභය රාජකුමාරයා විසින් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්ට දොෂ දක්වන ලද්දේයයි මෙසේ නුඹගේ යහපත්වූ ගුණ ඝොෂාවෙක් පැණනගින්නේය, ස්වාමීනි, මෙසේ කීකල්හි මම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීවෙමි.’ ‘ස්වාමීනි, ඒ කෙසේ නම් මම මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපනය කරන්නෙම්ද?’ ‘රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතම තෙම යම් තැනෙක් හිද, එතැනට එළඹෙව. එළඹ, ශ්‍රමණ ගෞතමයන්ට මෙසේ කියව. ‘ස්වාමීනි, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද, තථාගත තෙම එබඳු වචනය කියන්නේද?’ ඉදින් නුඹ විසින් මෙසේ අසන ලද්දාවූ ශ්‍රමණ ගෞතම තෙම ‘රාජ කුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගත තෙම එබඳු වචනය කියන්නේයයි’ මෙසේ ප්‍රකාශ කරයි නම් ඔහුට නුඹ මෙසේ කියව. ‘ස්වාමීනි, එසේ ඇති කල්හි, නුඹ වහන්සේගේ හා පෘථග්ජනයෙකුගේ කවර වෙනසක්ද? පෘථග්ජන තෙමේද වනාහී යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද, එබඳු වචනය කියන්නේයයි, කියව”

“ඉදින් වනාහී නුඹ විසින් මෙසේ විචාළාවූ ශ්‍රමණ ගෞතම තෙම ‘රාජකුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගත තෙම එබඳු වචනය නොකියන්නේයයි’ මෙසේ ප්‍රකාශ කරයි නම්, ඔහුට නුඹ මෙසේ කියව. ‘ස්වාමීනි, එසේ ඇති කල්හි කුමට නුඹවහන්සේ විසින් දෙව්දත් තෙම අපායෙහි උපදින්නෙක, දෙව්දත් තෙම නිරයෙහි උපදින්නෙක, දෙව්දත් තෙම කල්පයක් නිරයෙහි සිටින්නෙක, දෙව්දත් තෙම පිළියම් කළ නොහැක්කෙකැයි’ ප්‍රකාශ කරන ලද්දේද? නුඹවහන්සේගේ ඒ වචනයෙන් වනාහී දෙව්දත් තෙම කිපියේ නොසතුටු සිත් ඇත්තේ වූයේ නොවේදැයි’ ඇසිය යුතුය. රාජකුමාරය, නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලද්දාවූම ශ්‍රමණ ගෞතම තෙම වමාරන්ටත් නොහැකි වෙයි. ගිලගන්ටත් නොහැකි වෙයි. යම්සේ නම් පුරුෂයෙකුගේ බොටුවෙහි ඇවුලුනු යකඩ කොක්කක් ඔහුට වමාරන්ටත් නොහැකි වන්නේද, ගිලගන්ටත් නොහැකි වන්නේද, රාජකුමාරය, එපරිද්දෙන්ම නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලද්දාවූම ශ්‍රමණ ගෞතම තෙම වමාරන්ටත් නොහැකි වේ. ගිලගන්ටත් නොහැකි වේයයි” (කීයේය).

Msdiv 86 එකල්හි වනාහි බාලවූ උඩුකුරුව සයනය කරන්නාවූ ලදරු කුමාරයෙක් අභය රාජ කුමාරයාගේ ඇකයෙහි (උකුලෙහි) හුන්නේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අභය රාජ කුමාරයාට මෙය වදාළේය. “රාජකුමාරය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඉදින් මේ කුමරුවා නුඹගේ ප්‍රමාදයක් නිසා හෝ කිරි මවගේ ප්‍රමාදයක් නිසා හෝ ලී කැබැල්ලක් හෝ කැබිලිති කටුවක් හෝ මුඛයෙහි දමා ගන්නේ නම් එයට කුමක් කරන්නෙහිද?”

“ස්වාමීනි, මම එය හැරගන්නෙමි. ස්වාමීනි, ඉදින් මම පළමුවරම හැරගන්ට නොහැකි වන්නෙම් නම් වම් අතින් හිස අල්වාගෙණ දකුණු අතින් ඇඟිල්ල වක් කොට ලේ සහිත වුවත් හැරගන්නෙමි.”

“ඊට හේතු කවරේද?”

“ස්වාමීනි, කුමරු කෙරෙහි මාගේ අනුකම්පාව ඇත්තේ යයි” (කීයේය.) “රාජකුමාරය, එපරිද්දෙන්ම තථාගත තෙම යම් වචනයක් සිදුනොවූ, සත්‍ය නොවූ අවැඩ ගෙන දෙන්නක්යයි දනීද, ඒ වචනය අනුන්ට අප්‍රිය වේද, අමනාප වේද, තථාගත තෙම එබඳු වචනය නොකියයි. තථාගත තෙම යම් වචනයක් සිදුවූ සත්‍යවූ අවැඩ ගෙන දෙන්නක්යයි දනියිද, ඒ වචනයද අනුන්ට අප්‍රිය අමනාප වේද, තථාගත තෙම එබඳු වචනයද නොකියයි. තථාගත තෙම යම් වචනයක් වනාහී වූදෙයක්ය සත්‍යයක්ය, අර්ථ පිණිස පවතින්නක්යයි දනියිද, ඒ වචනයද අනුන්ට අප්‍රිය අමනාප වේද, එහි තථාගත තෙම ඒ වචනය ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙයි. තථාගත තෙම යම් වචනයක් නොවූ දෙයක්ය, අසත්‍යයක්ය, අවැඩ ගෙණදෙන්නක්යයි දනියිද, ඒ වචනයද අනුන්ට ප්‍රිය මනාප වේද, තථාගත තෙම එබඳු වචනයද නොකියයි. තථාගත තෙම යම් වචනයක් වූ දෙයක්ය, සත්‍යයක්ය, අවැඩ ගෙණදෙන්නක්යයි දනියිද, ඒ වචනය අනුන්ට ප්‍රිය මනාප වේද, තථාගතතෙම එබඳු වචනයද නොකියයි.

“තථාගත තෙම යම් වචනයක් වනාහී වූ දෙයක්ය, සත්‍යයක්ය, වැඩ ගෙණදෙන්නක්යයි දනියිද, ඒ වචනයද අනුන්ට ප්‍රිය මනාප වේද එහි තථාගතතෙම ඒ වචනය ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙයි. ඊට හේතු කවරේද? රාජකුමාරය, තථාගතයන්ගේ සත්වයන් කෙරෙහි අනුකම්පාව ඇත්තේයයි” වදාළේය.

Msdiv 87 “ස්වාමීනි, යම් මේ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද, ප්‍රශ්නයක් සකස්කොට තථාගතයන් වහන්සේ කරා එළඹ විචාරත්ද, ස්වාමීනි, යම් කෙනෙක් මා වෙත පැමිණ මෙසේ විචාරන්නාහුද, ඔවුන්ට මම මෙසේ විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නෙමියි පළමුකොටම භාග්‍යවතුන් වහන්සේ විසින් කල්පනා කරන ලද්දේ වේද, නොහොත් තැනට සුදුසු පරිද්දෙන්ම මෙය තථාගතයන් වහන්සේට වැටහේද?”

“රාජකුමාරය, එසේ නම් නුඹගෙන්ම මේ කාරණය අසන්නෙමි. යම්සේ නුඹට වැටහෙන්නේද, එසේ එය ප්‍රකාශ කරව. රාජකුමාරය, නුඹ රථයෙහි ලොකු කුඩා අවයවවල දක්ෂයෙක්ද?’

“ස්වාමීනි, එසේය. මම රථයෙහි කුඩා මහත් අවයවවල දක්ෂයෙක්මියි” කීය.

“රාජකුමාරය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කෙනෙක් නුඹ වෙත පැමිණ රථයාගේ මේ කිනම් අවයවයක් දැයි මෙසේ අසන්නාහුද? යම් කෙනෙක් මා වෙත පැමිණ මෙසේ අසන්නාහුද, ඔවුන්ට මම මෙසේ අසන ලද්දේ මෙසේ කියන්නෙමියි’ පළමුකොටම නුඹ විසින් මෙය කල්පනා කරන ලද්දක් වන්නේද? නොහොත් තැනට සුදුසු පරිද්දෙන්ම මෙය නුඹට වැටහෙන්නේද?

“ස්වාමීනි, මම වනාහී රථයාගේ අවයව පිළිබඳ දක්ෂවූ රථ පදවන්නෙකැයි ප්‍රසිද්ධ වූයේ වෙමි. මා විසින් රථයේ සියලු අවයව දැනගන්නා ලදහ. තැනට සුදුසු පරිද්දෙන්ම මෙය මට වැටහෙන්නේයයි” (කීයේය).

“රාජකුමාරය, එපරිද්දෙන්ම යම් ඒ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද ශ්‍රමණ පණ්ඩිතයෝද ප්‍රශ්නයක් සකස්කොට තථාගතයන් වෙත එළඹ විචාරත්ද, තැනට සුදුසු පරිද්දෙන්ම මෙය තථාගතයන්ට වැටහේ. ඊට හේතු කවරේද? රාජකුමාරය, යම් ධර්ම ස්වභාවයක් මනාකොට අවබොධ කිරීම හෙතුකොටගෙන ස්ථානොචිත නුවණින්ම මෙය තථාගතයන්ට වැටහේද, ඒ ධර්ම ස්වභාව වනාහි තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබොධ කරන ලද්දේයයි” වදාළේය.

මෙසේ වදාළ කල්හි අභය රාජකුමාර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දෙශනා කරන ලද්දේය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි, ධර්මයද, භික්ෂු සංඝයාද (සරණකොට යමි) භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණගියාවූ උපාසකයෙකැයි මා දරණ සේක්වා” (කීය.)

අටවෙනිවූ අභය (රාජකුමාර) සූත්‍රය නිමි. (1-8)

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection