The Many Kinds of Feeling
Bahuvedanīya Sutta
PDFGenerated
The Buddha resolves a disagreement on the number of kinds of feelings that he taught, pointing out that different ways of teaching are appropriate in different contexts, and should not be a cause of disputes. He goes on to show the importance of pleasure in developing higher meditation.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මජ්ඣිම පණ්ණාසකය 1. ගෘහපති වර්ගය 59. බහුවෙදනීය සූත්‍රය Msdiv 88 මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහී (වෑය, පොරොව, නියන, මිටිය, දැලිනූල යන අංග පසකින් යුක්ත හෙයින්) පඤ්චකංග නම්වූ (දෙටු) වඩු තෙම ආයුෂ්මත් (පණ්ඩිත) උදායි ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට වැඳ, එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූම පඤ්චකංග නම් වඩුතෙම ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට මෙය කීයේය. “ස්වාමීනි, උදායි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් වේදනාවෝ වදාරණ ලද්දාහුද?”
“ථපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාවය දුක් වේදනාවය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවයයි වේදනා තුනක් වදාරණ ලද්දාහුය. ථපතිය, මේ වේදනා තුන වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය.”
“ස්වාමීනි, උදායි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොවදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනායයි වේදනා දෙකක් වදාරණ ලද්දාහ. ස්වාමීනි, යම් මේ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද, මෙය ශාන්තවූ ප්‍රණීතවූ සැපයෙහි (ඇතුළත් කොට) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දීය.”
දෙවනුවද ආයුෂ්මත් උදායි ස්ථවිරතෙම පඤ්චකංග නම් වඩුවාට මෙය කීයේය. “ථපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොවදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය, දුක්ද නොවූ සැපද නොවූ වේදනායයි වේදනා තුනක් වදාරණ ලද්දාහ. ථපතිය, මේ වේදනා තුන වනාහී භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණ ලද්දාහුය.” දෙවනුවද පඤ්චකංග නම් වඩුතෙම “ස්වාමීනි, උදායි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොවදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනායයි වේදනා දෙකක්ම වදාරණ ලද්දාහ. ස්වාමීනි, යම් මේ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද, ඕතොමෝ ශාන්තවූ ප්‍රණීතවූ සැපයෙහි (ඇතුළත් කොට) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දීය.”
තුන්වෙනුවද ආයුෂ්මත් උදායි ස්ථවිරතෙම පඤ්චකංග නම් වඩුවාට “ථපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොවදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් සැප වේදනාය, දුක් වේදනාය, දුකද නොවූ, සැපද නොවූ වේදනායයි වේදනා තුනක් වදාරණ ලද්දාහ. ථපතිය, මේ වේදනා තුන වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය”යි කීය. තුන් වෙනුවද පඤ්චකංග නම් වඩුතෙම ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට “ස්වාමීනි, උදායි ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොවදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් දුක් වේදනාය, සැප වේදනායයි වේදනා දෙකක්ම වදාරණලද්දාහ. ස්වාමීනි, යම් මේ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද, මෙය ශාන්තවූ ප්‍රණීතවූ සැපයෙහි (ඇතුළත්කොට) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දී යයි” කීය. ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ පඤ්චකංග නම් වඩුවාට හඟවන්ට නොමහැකි වූයේය. පඤ්චකංග නම් වඩු තෙමේද ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට හඟවන්ට නොහැකි වූයේය.
Msdiv 89 ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් උදායි ස්ථවිරයන් වහන්සේත් පඤ්චකංගනම් වඩුවාත් අතර ඇතිවූ මේ කථා සල්ලාපය ඇසුවේමය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ආයුෂ්මත් උදායි ස්ථවිරයන් හා පඤ්චකංග නම් වඩුවා අතර ඇතිවූ කථාසල්ලාපය යම් පමණ වූයේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට කීයේය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය වදාළේය. “ආනන්දය, පඤ්චකංග නම් වඩු තෙම උදායි විසින් කියනලද ඇති කාරණයට සතුටු නොවීය. උදායි තෙම පඤ්චකංග නම් වඩුවා විසින් කියනලද ඇති කාරණයට සතුටු නොවීය.
“ආනන්දය, මා විසින් කාරණා වශයෙන් වේදනා දෙකක්ද කියන ලදහ. මා විසින් කාරණාවශයෙන් වෙදනා තුනක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා පසක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා සයක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා අටළොසක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා සතිසක්ද කියන ලදහ. මා විසින් කාරණා වශයෙන් වේදනා එකසිය අටක්ද කියන ලදහ. ආනන්දය, මා විසින් ධර්මය තෙම කාරණා වශයෙන් දෙශනා කරනලදී. ආනන්දය, මා විසින් ධර්මය මෙසේ කාරණා වශයෙන් දෙශනා කරන ලද කල්හි යම් කෙනෙක් ඔවුනොවුන් යහපත් කොට කියන ලදද, මනාකොට කියන ලද්ද නොඅනුදනිත්ද, එකඟ නොවෙත්ද, සතුටු නොවෙත්ද, ඔවුන් හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණියාහු, ඔවුනොවුන් මුඛ නමැති හුල්වලින් අනිමින් වාසය කරන්නාහුය යන මෙය කැමති විය යුතුයි. ආනන්දය, මා විසින් ධර්මය තෙම මෙසේ කාරණා වශයෙන් දෙශනා කරන ලදී. ආනන්දය, මා විසින් ධර්මය මෙසේ කාරණා වශයෙන් දෙශනා කරන ලද කල්හී යම් කෙනෙක් ඔවුනොවුන් යහපත්කොට කියන ලද්ද මනාකොට කියන ලද්ද අනුදන්නාහුද, මනාකොට හඟින්නාහුද, මනාකොට අනුමෝදන් වන්නාහුද, ඔවුන් සමගි වූවාහු, සතුටු වන්නාහු, විවාද නොකරන්නාහු, කිරි හා දිය මෙන් වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇස් වලින් බලමින් වාසය කරන්නාහුය, යන මෙය කැමති විය යුතුයි.
Msdiv 90 “ආනන්දය, මේ කාම ගුණ පසක් වෙත්. කවර පසක්ද යත්: ඇසින් දැනගත යුතුවූ ඉෂ්ටවූ කැමතිවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ රූපයෝ වෙත්. කණින් දතයුතුවූ ඉෂ්ටවූ කැමතිවූ මනාප වූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. නාසයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කැමතිවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කටයුතුවූ ගන්ධයෝ වෙත්. දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කැමතිවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාවවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ ස්පර්ශ යෝ වෙත්. ආනන්දය, මේ වනාහී කාමගුණ පස වෙත්. ආනන්දය, මේ පඤ්චකාම ගුණයන් නිසා යම් සැපයක් සතුටක් උපදීද, මේ කාම සැපයයි කියනු ලැබේ.
“ආනන්දය, යමෙක් වනාහි සත්වයෝ මේ උසස්ම සැපය විඳිත් යයි මෙසේ කියන්නේද, ඔවුන්ගේ ඒ කීමට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත්වූද ඉතා ප්‍රණීතවූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී එකී සැපයට වඩා ඉතා යහපත්වූද, අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය වේ.
“ආනන්දය, යමෙක් වනාහී සත්වයෝ මේ උසස්ම සැපය විඳිත්යයි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණිතවූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, මේ සැපයට වඩා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද, අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇත්තාවූ චිත්තයාගේ එකඟ බව ඇති තර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ආනන්දය, මේ වනාහී එකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය වේ.
“ආනන්දය, යමෙක් වනාහි සත්වයෝ මේ උසස්ම සැපය විඳිත්යයි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, මේ සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි, මහණ තෙම ප්‍රීතියගේද වැලක්මෙන් උපෙක්ෂා ඇත්තේ සිහිඇත්තේ මනාදැනුම් ඇත්තේ වාසය කරයි. සැපයද කයින් විඳියි. යමක් ආර්‍ය්‍යයෝ උපෙක්ෂා ඇත්තේය, සිහි ඇත්තේය, සැප විහරණ ඇත්තේ යයි කියත්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී එකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය වේ.
“ආනන්දය, යමෙක් වනාහි සත්වයෝ මේ උසස්ම සැපය විඳිත්යයි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ වචනයට එකඟ නොවෙමි. ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සුඛයාගේද දුරු කිරීමෙන් දුක්ඛයාගේද දුරු කිරීමෙන් පළමුකොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහි මෙකී සැපයට වඩා ඉතා යහපත්වූද අතිශයින් ප්‍රණීතවූද අනික් සැපය වේ.
“ආනන්දය, යමෙක් වනාහි සත්වයෝ මේ උසස්ම සැපය විඳිත්යයි මෙසේ කියන්නේද? ඔහුගේ ඒ වචනයට එකඟ නොවෙමි ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, අතිශයින් ප්‍රණීතවූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද ඉතා උතුම්වූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි, මහණ තෙම සියළු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝ සංඥාවන් නැසීමෙන් නානාත්ව සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් අනන්තවූ ආකාශයයි ආකාශාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී මෙකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.
“ආනන්දය, යමෙක් වනාහී සත්වයෝ මේ උසස්මවූ සැපය විඳිත්යයි, මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි.
“ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සියළු ආකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා අනන්තවූ විඤ්ඤාණයයි විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.
“ආනන්දය, යමෙක් වනාහී සත්වයෝ මේ උසස්මවූ සැපය, විඳිත්යයි මෙසේ කියන්නේද? ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි.
“ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සියළු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.
“ආනන්දය, යමෙක් වනාහී සත්වයෝ මේ උසස්ම සැපය, විඳිත්යයි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීමට එකඟ නොවෙමි.
“ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපය කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සියළු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී මෙකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.
“ආනන්දය, යමෙක් වනාහී සත්වයෝ මේ උසස්ම සැපය, විඳින්නේයයි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ වචනයට එකඟ නොවෙමි.
“ඊට හේතු කවරේද? ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයක් ඇත්තේය. ආනන්දය, එකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපය කවරේද, ආනන්දය, මේ ශාසනයෙහි මහණ තෙම සියළු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියට පැමිණ වාසය කරයි. ආනන්දය, මෙය වනාහී මෙකී සැපයට වඩා ඉතා යහපත්වූද, ඉතා උතුම්වූද අනික් සැපයවේ.
Msdiv 91 “ආනන්දය, අන්‍ය තීර්ථකවූ පරිව්‍රාජකයෝ ශ්‍රමණ ගෞතම තෙම සඤ්ඤාවෙදයිතනිරොධය කියයි. එය සැපයයිද පනවයි. ඒ කුමක්ද? එය කෙසේ වන්නක් දැයි මෙසේ කියන්නාහුය යන යමක් වේද, මීට කරුණු ඇත්තේය. ආනන්දය, එසේ කියන්නාවූ අන්‍ය තීර්ථක පරිව්‍රාජකයන්ට මෙසේ කියයුතුය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සැපවූ වේදනාව සඳහාම සැපයයි නොම පනවයි. ඇවැත්නි, එතකුදුවූවත් යම් යම් කාරණයෙක්හි යම් යම් තැනක සැපය ලැබේද, ඒ ඒ කරුණ තථාගතතෙම සැපයෙහි පනවා යයි (වදාළසේක.)
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය.
නවවෙනිවූ බහුවෙදනීය සූත්‍රය නිමි. (1-9)
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source