LibraryMNMN 6
MN 610 min read

One Might Wish

Ākaṅkheyya Sutta

20
PDFGenerated
01 · Overview

According to the Buddha, careful observance of ethical precepts is the foundation of all higher achievements in the spiritual life.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 1. මූල පරියාය වර්ගය 6. ආකඩ්ඛෙය්‍ය සූත්‍රය Msdiv 64 “මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනාථ පිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළහ. “ස්වාමීන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.

“මහණෙනි, සීලයෙන් යුක්තව වාසයකරව්. ප්‍රාතිමොක්ෂ සංවරයෙන් යුක්තව වාසය කරව්. ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව වාසය කරව්. ඉතා සුලුවුද වරදට භයවන ගති ඇතිව වාසය කරව්. ශික්ෂාපද සමාදන්ව ඊට අනුව හික්මෙව්.

Msdiv 65 “මහණෙනි මහණ තෙම සමාන බඹසර ඇත්තවුන්ට ප්‍රිය වූවෙක් මනාපවූවෙක් ගරු කළයුත්තෙක් සැලකිය යුත්තෙක් වන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගන්නෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු පාලු (විවේක ස්ථානයක හිඳ භාවනා කරන්නා සූන්‍යාගාරවඩන්නා යයි කියනු ලැබේ.) විය යුතුය.

“මහණෙනි, මහණ තෙම සිවුරු, ආහාර, ගිලන්පස, බෙහෙත් පිරිකර, ලබන්නෙක් වෙමියි ඉදින් කැමති වන්නේ නම්, ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

“මහණෙනි, මහණ තෙම යම් කෙනෙකුන්ගේ සිවුරු, ආහාර, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර මම වළඳම් නම් ඔවුන්ගේ ඒ දානමය පින්කම් මහත්ඵල වේවායි, මහත් ආනිශංස වේවායි ඉදින්කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය, තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තව වූවෙකු සූන්‍යාගාර වඩන්නෙකු වියයුතුය.

“මහණෙනි, මහණතෙම පරලොව ගියාවූ මාගේ යම් නෑ සහ ලේ නෑ කෙනෙක් වෙත්ද ඔවුහු සතුටු සිතින් මා සිහිකරන්නාහ. ඔවුන්ගේ ඒ සිහිකිරීම මහත්ඵල වේවායි මහානිශංස වේවායි ඉදින් කැමැති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තවූවෙකු සූන්‍යාගාර වඩන්නෙකු වියයුතුය.

Msdiv 66 “මහණෙනි, මහණතෙම කුසල ධර්මයන්හි නොඇලීමද (කම්සැපෙහි) ඇල්මද ඉවසන්නෙක් (මැඩපවත්වන්නෙක්) වන්නෙමි. ඒ කුශල ධර්මයන්හි නොඇලීමද යම්සේ මා නොමඩින්නේද එසේ උපන් කුසල ධර්මයන්හි නොඇල්ම මැඩ මැඩ වාසය කරමියි. ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු වියයුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

“මහණෙනි, මහණ තෙම භයානක අරමුණු ඉවසන්නෙමි. සිත තැතිගැන්ම හා භයානක අරමුණු මා මැඩනොපවත්නේද එසේ උපන් භයජනක අරමුණු මැඩ මැඩ වාසය කරන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තවූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

“මහණෙනි, මහණතෙම පිරිසිදු සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප වාස ඇත්තාවූ රූපාවචර ධ්‍යාන හතර කැමතිසේ ලබන්නෙක්, පහසුවෙන් ලබන්නෙක්, අමාරුවක් නැතිව ලබන්නෙක් වන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු වියයුතුය.

“මහණෙනි, මහණතෙම සංසිඳුනාවූ විරුද්ධ ධර්මයන් කෙරෙන් මිදුණාවූ රූපාවචර ධ්‍යානය ඉක්ම සිටි හෙයින් රූප රහිතවූ යම් ඒ අරූප ධ්‍යානයෝ වෙත්ද ඔවුන් නාම කයින් ස්පර්ශකොට වාසය කරන්නෙමියි ඉදින් කැමැති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

Msdiv 67 “මහණෙනි, මහණතෙම සංයොජන (කෙලෙස් බැමි) තුන නැතිකිරීමෙන් දුගතියක නොහෙලන ස්වභාව ඇති, නිවන් මගට නියමවූ, සම්බොධිය පිහිටකොට ඇති සොවාන් කෙනෙක් වෙමියි ඉදින් කැමැති වෙන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණකරන්නෙකු වියයුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු වියයුතුය.

“මහණෙනි, මහණ තෙම තුන් සංයොජනයන්හි නැති කිරීමෙන් රාග ද්වේෂ මොහයන් තුනී කිරීමෙන් සකෘදාගාමි වන්නෙමි. එක් වරක්ම මේ මනුෂ්‍ය ලොකයට අවුත් දුක් කෙළවර කරන්නෙමියි ඉදින් කැමැති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු වියයුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

මහණෙනි, මහණ තෙම ඔරම්භාගිය (කාමලොකය සේවනය කරන්නාවූ සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද යන) සංයොජන පස නැතිකිරීමෙන් ඔපපාතික වී ඒ බ්‍රහ්ම ලොකයෙන් පෙරළා නොඑන ස්වභාව ඇතිව එහිදීම පිරිනිවන් පාන්නෙක් වෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්තවූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

Msdiv 68 “මහණෙනි, මහණතෙමේ නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන් කොට දක්වමි. එකෙක්ව බොහෝසේ වෙමි. බොහෝසේව එකෙක් වෙමි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින්යමි. දියෙහිමෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගාමි, පිරිමදිමි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වමියි, ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකුවිය යුතුය, තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්ත වූවෙකු සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

“මහණෙනි, මහණතෙම පිරිසිදුවූ, මිනිස් කණ ඉක්ම පැවැත්තාවූ දිව කණින් දිව්‍යමයවූද මනුෂ්‍යමය වූද දුරවූද සමීපයෙහිවූද ශබ්ද අසන්නෙමියි ඉදින් කැමතිවන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය, තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තවූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

මහණෙනි, මහණ තෙම අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තම සිතින් පිරිසිඳ දන්නෙමි. රාග සහිත සිත රාග සහිත සිතයයි දන්නෙමි. රාගය පහවූ සිත රාගයෙන් පහවූ සිතයයි දනිමි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයි දනිමි. ද්වේෂය පහවූ සිත ද්වේෂයෙන් තොරවූ සිතයයි දනිමි. මොහො සහිත සිත මොහ සහිත සිතයයි දනිමි. මොහය පහවූ සිත මොහයෙන් තොරවූ සිතයයි දනිමි. හැකුලුණු සිත හැකුලුණු සිතයයි දනිමි. විසිරුණු සිත විසුරුණු සිතයයි දනිමි. මහත් බවට ගිය සිත මහත්බවට ගිය සිතයයි දනිමි මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත, කාමසහිත සිත යයි දනිමි. ලෞකික හිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනිමි. සමාධි ගතවූ සිත සමාධිගත සිතයයි දනිමි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිත යයි දනිමි. (ක්ලේශයෙන්) මිදුනු සිත මිදුනු සිතයයි දනිමි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනිමියි ඉදින් කැමති වන්නේනම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු වියයුතුය. තමාගේ සිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

“මහණෙනි, මහණ තෙම නන්වැදෑරුම්වූ පෙර විසූ තැන් සිහිකරන්නෙමි. හේ කෙසේදයත්, එක්ජාතියක් ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාතිසියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් ජාති ලක්ෂ ගණන්ද අසවල් තැන වූයෙම් මෙබඳු නම් ඇත්තේ, මෙබඳු ගොත්‍ර ඇත්තේ, මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ, මෙබඳු සැප දුක් විඳින්නේ මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තේවීමි. ඒ මම එයින් චුතවූයෙම් අසුවල් තැන උපනිමි. එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි, මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තේ වීමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙමි. මෙසේ ආකාර සහිතව දැක්වීම් සහිතව නානාප්‍රකාරවූ පෙර විසූ ආත්ම සිහිකරමියි ඉදින් කැමතිවන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්ත වූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

“මහණෙනි, මහණතෙම පිරිසිදුවූ මිනිසත් බව ඉක්මෙව්වාවූ දිව ඇසින් බලන්නෙමි, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවුද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවුද, කම්වූ පරිදි මිය පරලොව යන්නාවූද සත්වයන් දැනගන්නෙමි. මේ පින්වත් සත්වයෝ එකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් කියන්නාහු, මිසදිටුවූවාහු, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවාහු මරණින් මතු සැපයෙන් පහවූ හෙයින් අපාය නම්වූ දුකට පැමිණෙන හෙයින් දුග්ගති නම්වූ විවසව (හිස යටිකුරු) වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ කයින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු වචනයෙන් කරන සුචරිතයෙන් යුක්තවුවාහු, සිතින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු ආර්යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක් දෘෂ්ටි සමාදන් වූවාහු ශරීර භෙදයෙන්, මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ මිනිස් ඇස ඉක්මවූ, පිරිසිදු දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත්ගති ඇත්තාවූද කම්වූ පරිදි පරලොව යන සත්වයන් දැනගන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණ කරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවාගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු, විදර්ශනාවෙන් යුක්ත වූවෙකු සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

Msdiv 69 “මහණෙනි, මහණතෙම ආශාව (කෙලෙස්) නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජාතියේදීම විසිතුරු නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නෙමියි ඉදින් කැමති වන්නේ නම් ශීලයම මැනවින් සම්පූර්ණකරන්නෙකු විය යුතුය. තමාගේ හිත සමථයෙහි පිහිටුවා ගත්තෙකු, බැහැර නොකළ ධ්‍යාන ඇත්තෙකු විදර්ශනාවෙන් යුක්තවූවෙකු, සූන්‍යාගාර වඩන්නෙකු විය යුතුය.

“මහණෙනි, ශීලයෙන් යුක්තව වාසයකරව්, ප්‍රාතිමොක්ෂ සංවරයෙන් යුක්තව වාසය කරව්, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව වාසය කරව්, ඉතා සුලුවූද වරදට භයවන ගතියෙන් වාසය කරව්, ශික්ෂාපද සමාදන්ව ඊට අනුව හික්මෙව් යැයි යමක් (මුලදී) කියන ලදද එය මේ සඳහා කියනලදී.”

භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය ප්‍රකාශ කළහ. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

හයවෙනිවූ ආකඩ්ඛෙය්‍ය සූත්‍රය නිමි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection