LibraryMNMN 7
MN 711 min read

The Simile of the Cloth

Vattha Sutta

20
PDFGenerated
01 · Overview

The many different kinds of impurities that defile the mind are compared to a dirty cloth. When the mind is clean we find joy, which leads to states of higher consciousness. Finally, the Buddha rejects the Brahmanical notion that purity comes from bathing in sacred rivers.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 1. මූල පරියාය වර්ගය 7. වත්ථ සූත්‍රය Msdiv 70 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජෙතවන නම්විහාරයෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළහ. ‘ස්වාමීනි’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

“මහණෙනි, යම්සේ කිලුටුවූ මලබැඳුණාවූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නෙක් නිල්පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේපාට කිරීම පිණිස හෝ මදටියපාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද, එය නරකපාට ඇත්තක්ම වන්නේය. අපිරිසිදුපාට ඇත්තක්ම වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්‍රය අපිරිසිදුවූ බැවිනි. මහණෙනි, එපරිද්දෙන්ම සිත කිලුටුවූ කල්හි දුර්ගතිය කැමතිවිය යුතුයි.

“මහණෙනි, යම්සේ පිරිසිදුව බබලන්නාවූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නෙක් නිල්පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේපාට කිරීම පිණිස හෝ මදටියපාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද එය හොඳපාට ඇත්තක්ම වන්නේය. පිරිසිදු පාට ඇත්තක්ම වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්‍රය පිරිසිදුවූ බැවිනි. මහණෙනි, එපරිද්දෙන්ම සිත නොකිලිටිවූ කල්හි සුගතිය කැමති විය යුතුයි.

Msdiv 71 “මහණෙනි, සිත කෙලෙසන්නාවූ පාපධර්මයෝ කවරහුද? අභිධ්‍යාව නම්වූ විෂමලොභය (අනුන්ගේ දේ මට ඇත්නම් හොඳයයි ආශා කරන දැඩි ලොභය) හිත කෙලෙසන්නකි. ව්‍යාපාදය (අනුන් නසනු කැමැත්ත) හිත කෙලෙසන්නකි. ක්‍රොධය (තරහ) සිත කෙලෙසන්නකි. උපනාහය (බැඳගත් වයිරය) හිත කෙලෙසන්නකි. මක්ඛය (අනුන්ගේ ගුණමැකීම) හිත කෙලෙසන්නකි. පලාසය (නීචව සිටිමින් උසස් පුද්ගලයන් හා තමා සමාන සිතීම) හිත කෙලෙසන්නකි. ඊර්ෂ්‍යාව (අන්‍යයන්ගේ සම්පත් නොඉවසීම) හිත කෙලෙසන්නකි. මසුරුකම (තමාගේ ඇති සම්පත් සැඟවීම) හිත කෙලෙසන්නකි. මායාව (රැවටිල්ල) හිත කෙලෙසන්නකි. සඨබව (කෛරාටිකකම) හිත කෙලෙසන්නකි. ථම්භය (මානයෙන් ඉදිමුණු ගතිය) හිත කෙලෙසන්නකි. සාරම්භය (එකට එක කිරීම) හිත කෙලෙසන්නකි. මානය (ජාති ආදිය නිසා ඇතිවූ උඩඟු හැඟීම) හිත කෙලෙසන්නකි. අභිමානය (අධික මානය) හිත කෙලෙසන්නකි. මදය (ජාති ආදියෙන් මත්වීම) හිත කෙලෙසන්නකි. ප්‍රමාදය (පස්කම් සැපෙහි ඇල්ම) හිත කෙලෙසන්නකි.

Msdiv 72 “මහණෙනි, ඒ මහණතෙම අභිධ්‍යාව නම්වූ විෂම ලොභය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන අභිධ්‍යාව නම්වූ විෂමලොභය දුරු කරයි. ව්‍යාපාදය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන, හිත කෙලෙසන ව්‍යාපාදය දුරු කරයි. ක්‍රොධය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ක්‍රොධය දුරු කරයි. උපනාහය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන උපනාහය දුරුකරයි. මකු ගුණය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මකු ගුණය දුරු කරයි. පලාසය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන පලාසය දුරු කරයි. ඊර්ෂ්‍යාව හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ඊර්ෂ්‍යාව දුරු කරයි. මසුරුකම හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මසුරුකම දුරු කරයි. රැවටිල්ල හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මායාව දුරුකරයි. කයිරාටික බව හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන කයිරාටික බව දුරු කරයි. හිතේ තදගතිය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන සිතෙහි තදගතිය දුරුකරයි. එකට එක කිරීම හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන සාරම්භය දුරු කරයි. මානය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන මානය දුරුකරයි. අභිමානය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන අභිමානය දුරුකරයි. ප්‍රමාදය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන ප්‍රමාදය දුරුකරයි.

Msdiv 73 “මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් අභිධ්‍යා නම්වූ විෂම ලොභය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන අභිධ්‍යා විෂම ලොභය නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් ව්‍යාපාදය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ව්‍යාපාදය නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් ක්‍රොධය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ක්‍රොධය නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් උපනාහය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන උපනාහය නැති කරන ලද්දේ වෙයිද?

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් මකු බව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මකු බව නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් පලාසය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන පලාසය නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් ඊර්ෂ්‍යාව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ඊර්ෂ්‍යාව නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් මසුරු බව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මසුරු බව නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් රැවටිල්ල හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන රැවටිල්ල නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් කයිරාටිකකම හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන කයිරාටිකකම නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් තද බව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන තද බව නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් එකටඑක කිරීම හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන එකටඑක කිරීම නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් මානය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මානය නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් අභිමානය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන අභිමානය නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් මදය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මදය නැති කරන ලද්දේ වෙයිද,

“මහණෙනි, යම් කලෙක පටන් භික්ෂුව විසින් ප්‍රමාදය හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන ප්‍රමාදය නැති කරන ලද්දේ වෙයිද,

Msdiv 74 “හෙතෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයෙන් යුක්තය, සුගතය, ලොකය දන්නා සේක. අනුත්තරය, චණ්ඩපුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙක් වැනිය, දෙව් මිනිසුන්ට අනුශාසනා කරන්නාය, බුද්ධය, භාග්‍යවත්ය කියායි.

“ධර්මයෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරනලදී. මෙලොව ලැබෙන ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. අවුත් බලවයැයි කියා දැක්වීමට සුදුසුය. තමන් තුළ ඉපදවීමට සුදුසුය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුය කියායි.

“සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ මනාව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙමේ සෘජුව පිළිපන්නේය. න්‍යායයට (නිර්වාණයට) අනුව පිළිපන්නේය. සාමීචි කර්මයට සුදුසුසේ පිළිපන්නේය. දුර සිට ගෙනැවිත් දෙන සිව්පසය ලැබීමට සුදුසුය. දුර සිට ආ ඥාති මිත්‍රාදීන්ට පිළියෙලකළ ආගන්තුක සත්කාරය ලැබීමට සුදුසුය. දොහොත් මුදුනේ තබා වැඳීමට සුදුසුය. ලොවට උතුම්වූ පින් කෙතය කියායි.

Msdiv 75 “යම් තැනෙක පටන් භික්ෂුව විසින් කෙලෙස් දුරු කරන ලද්දේද, වමාරණ ලද්දේද, මුදන ලද්දේද නැති කරන ලද්දේද, (එතැන් පටන්) හෙතෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවෙමියි ඵලය දැකීමෙන් උපදනා සතුටද ලබයි හෙතුව දැකීමෙන් උපදනා සතුටද ලබයි. ධර්මයෙන් යුත් සතුටක් ලබයි, සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟ වෙයි. ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමියි ඵලය දක්නා සතුට ලබයි. හෙතුව දක්නා සතුට ලබයි. ධර්මයෙන් යුක්තවූ සතුට ලබයි, සතුටු වූවහුට ප්‍රීතිය උපදියි, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟ වෙයි. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමියි ඵලය දක්නා සතුට ලබයි, හෙතුව දක්නා සතුට ලබයි. ධර්මයෙන් යුක්තවූ සතුට ලබයි, සතුටු වූවහුට ප්‍රීතිය උපදියි, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟවෙයි.

“යම් තැනක පටන් ඒ භික්ෂුව මා විසින් කෙලෙස් දුරුකරන ලදැයි, වමාරණ ලදැයි, නැතිකරන ලදැයි ඵලය දක්නා සතුටද හෙතුව දක්නා සතුටද ලබයිද ධර්මයෙන් යුත් සතුට ලබයිද, සතුටු වූවහුට ප්‍රීතිය උපදියිද, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයිද, සංසිඳුණු කය ඇත්තේ හිතින් සැප විඳියිද, සැප ඇත්තහුගේ සිත එකඟවෙයිද,

Msdiv 76 “මහණෙනි, මෙබඳු සීල ඇති මෙබඳු සමාධි ඇති, මෙබඳු ප්‍රඥා ඇති ඒ (අනාගාමි) භික්ෂුව කළු හාල් ඇට අස්කළ ඇල්හාලේ බත නොයෙක් සූප ඇතිව නොයෙක් ව්‍යඤ්ජන ඇතිව අනුභව කෙරේද ඔහුට එය අන්තරාය පිණිස නොවෙයි. මහණෙනි, කිලුටුවූ මළ රැඳුනාවූ වස්ත්‍රය පිරිසිදුවූ ජලය ලැබ යම්සේ පිරිසිදු වෙයිද, බබලන්නේ වෙයිද, කෝවයෙහි දමන ලද රන් රිදී යම්සේ පිරිසිදු වෙයිද, බබලන්නේ වෙයිද මහණෙනි, එපරිද්දෙන්ම මෙබඳු සිල් ඇති මෙබඳු සමාධි ඇති, මෙබඳු ප්‍රඥා ඇති ඒ (අනාගාමි) භික්ෂුව කළුහාල් ඇට අස්කළ ඇල්හාලේ බත නොයෙක් සූප ඇතිව නොයෙක් ව්‍යඤ්ජන ඇතිව අනුභව කෙරේද ඕහට එය අන්තරාය පිණිස නොවෙයි.

Msdiv 77 “හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ මෛත්‍රීසහගත සිතින් පතුරුවා වාසය කරයි.

“කරුණා සහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි පැතුරුණාවූ, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

“මුදිතා සහගතවූ සිතින්, එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද, එසේම උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

“උපෙක්ෂා සහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ, සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ ව්‍යාපාද රහිතවූ උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

Msdiv 78 “ඒ අනාගාමි පුද්ගලතෙම මේ දුක්ඛ ආර්යසත්‍යය ඇත, ලාමකවූ සමුදය සත්‍යය ඇත, ප්‍රණීතවූ මාර්ගසත්‍යය ඇත. මේ බ්‍රහ්ම විහාර ධ්‍යාන සංඥාවට වඩා උතුම් නිර්වාණය ඇතැයි දනියි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන් ද මිදෙයි, භවාශ්‍රවයෙන් ද මිදෙයි, අවිද්‍යාශ්‍රවයෙන් ද මිදෙයි. මිදුන කල්හි මිදුනේයයි දැනීම වෙයි. උත්පත්තිය කෙළවර විය මග බඹසර වැස නිමවන ලදී. සතරමාර්ගයෙහි කටයුතු කරනලදී. මේ ආත්මය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දනී. මහණෙනි මේ මහණතෙම අභ්‍යන්තර නෑමෙන් නෑයේයයි කියනු ලැබේ.”

Msdiv 79 මේ අවස්ථාවේ සුන්දරික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම බුදුන් සමීපයෙහි හුන්නේ වෙයි. එකල්හි සුන්දරික භාරද්වාජ නම් බ්‍රහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතම තෙම බාහුකා නම් ගඟට නාන්ට යන්නේද?” (කියාය.)

“බ්‍රාහ්මණය, බාහුකා නම් ගංගාවෙන් කවර ප්‍රයෝජනද? බාහුකා නදිය කුමක් කරයිද?”

“භවත් ගෞතමයෙනි, බාහුකා ගඟ විසුද්ධිය ගෙන දෙන්නකැයි ලෝවැස්සන් අතර සම්මතය. භවත් ගෞතමයෙනි, බොහෝ දෙනා බාහුකා ගංගාව පින් තොටකැයි සලකන්නාහුය. බොහෝදෙනා තමන් කළ පව් බාහුකා නදියෙහි පාකර හරිති” යයි (කීයේය.)

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාහට මේ ගාථා වදාළහ.

“බාහුකා නම් ගඟටද අධිකක්ක නම් තොටටද ගයා නම් තොටුපලටද සුන්දරිකා නම් ගඟටද සරස්වතී නම් ගඟටද ප්‍රයාග නම් තොටටද බාහුමතී නම් ගඟටද,

“නිතර බැස නාන්නාවූ අපිරිසිදු කර්ම ඇති පුද්ගලයා පිරිසිදු නොවෙයි. සුන්දරිකා ගඟ කුමක් කරයිද? ප්‍රයාග තීර්ථය කුමක් කරයිද? බාහුකා නදිය කුමක් කරයිද? ප්‍රාණඝාතාදී පව්කරන කෲර ක්‍රියාකරන මිනිසා ශුද්ධ නොකරයි.

“පිරිසිදු වුවහුට හැමදාම නෑමට (සුදුසු) උතුරුපල් නැකත වෙයි. පිරිසිදු වුවහුට හැමදාම පෝය දිනය වෙයි. පිරිසිදු ක්‍රියා ඇති ශුද්ධ පුද්ගලයාහට හැමදාම වත් පිරෙයි.

“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහිම ස්නානය කරව, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී කරව, ඉදින් බොරු නොකියන්නෙහිද, ඉදින් සතුන් නොමරන්නෙහිද,

“ඉදින් නුදුන් දෙය නොගත්තෙහිද, ශ්‍රද්ධා ඇත්තේ වෙහිද, මසුරු නොවූයේ වෙහිද, ගයාවට ගොස් කුමක් කරන්නෙහිද? තොපගේ ලිඳත් ගයාවකි, (ශුද්ධවූ පුද්ගලයාට ලිඳත් ගයාවත් යන දෙකෙහි වෙනසක් නැත.)”

Msdiv 80 මෙසේ කීකල්හි සුන්දරික භාරද්වාජ බමුණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන්වහන්ස, (මේ ධර්මය) ඉතා යහපත. භවත් ගෞතමයන්වහන්ස, යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම්සේද, වසා තබන ලද්දක් වැසුම් හැර දක්වන්නේ හෝ යම්සේද, මං මුළා වූවෙකුට මග කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, කළුවරෙහි තෙල්පහනක් දරන්නේ හෝ යම්සේද එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය. භවත් ගෞතමයන් වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද, සරණ යමි. මම භවත් ගෞතමයන් වහන්සේ වෙත මහණකම ලබන්නෙම්, උපසම්පදාව ලබන්නෙම්.” සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණතෙම බුදුන් වෙත පැවිද්ද ලැබුවේය. උපසම්පදාව ලැබුවේය. ආයුෂ්මත් භාරද්වාජ තෙමේ වනාහි උපසම්පදාවී නොබෝකල් ඇත්තේ හුදකලා වූයේ වෙන් වූයේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව, කයෙහි හා ජීවිතයෙහි ආශා රහිතව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඒ උතුම්වූ මාර්ග බ්‍රහ්මචරියාව කෙළවරකොට ඇති අර්හත්ඵලය මේ ආත්මයෙහි තමාම දැක ඊට පැමිණ වාසය කළේය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචරියාව වැස නිමවනලදී. සතර මාර්ගයෙන් කටයුතු දෑ කරන ලදී. මේ ආත්මය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගත්තේය. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක්ද වූහ.

හත්වෙනිවූ වත්ථ සූත්‍රය නිමි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection