Self-Effacement
Sallekha Sutta
PDFGenerated
The Buddha differentiates between peaceful meditation and spiritual practices that encompass the whole of life. He lists forty-four aspects, which he explains as “effacement”, the wearing away of conceit.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 1. මූල පරියාය වර්ගය 8. සල්ලේඛ සූත්‍රය Msdiv 81 මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනාථ පිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සුවයෙන් නැගීසිටියේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියහ, පැමිණ, භාග්‍යවතුන්වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, ආත්මවාදයෙන් යුක්තවූද, ලොකවාදයෙන් යුක්තවූද නොයෙක් ආකාරවූ යම් ඒ මිථ්‍යාදෘෂ්ටීහු (වැරදි දැකීම්) ලොකයෙහි උපදිත්ද ස්වාමීනි, පළමුකොටම (විදර්ශනා මිශ්‍රභාවනා) මෙනෙහි කරන්නාවූ මහණහට ඒ දෘෂ්ටීන්ගේ නැතිකිරීම වෙයිද? ඒ දෘෂ්ටීන්ගේ දුරලීම් වෙයිද?
Msdiv 82 “චුන්දය, ආත්මවාදයෙන් යුක්තවූද ලොකවාදයෙන් යුක්තවූද නොයෙක් ආකාරවූ යම් ඒ මිථ්‍යාදෘෂ්ටීහු ලොකයෙහි උපදිත්ද යම් පඤ්චස්කන්ධයක මේ දෘෂ්ටිහු උපදිත්ද, යම් පඤ්චස්කන්ධයක සයනය කරද්ද යම් පඤ්චස්කන්ධයක ද්වාර ඉක්මවීම් වශයෙන් හැසිරෙද්ද, ඒ මේ පඤ්චස්කන්ධය මාගේ නොවෙයි. මේ පඤ්චස්කන්ධය මම නොවෙමි, මේ පඤ්චස්කන්ධය මාගේ ආත්මය නොවෙයි, කියා මෙසේ මෙය තතුසේ යහපත් නුවණින් දක්නහුට මෙසේ මේ දෘෂ්ටීන්ගේ නැති කිරීම වෙයි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වෙයි.”
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හෙතුවකින් ශාසනයෙහි ඇතැම් මහණෙක් කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද ඕහට සල්ලේඛයෙන් (කෙලෙස් කැපීමෙන්) යුක්තව වාසයකරමි යන මෙබඳු සිතක් වන්නේය. චුන්දය, මේ ධ්‍යානයෝ ආර්යශාසනයෙහි (ශාසනයෙහි) සල්ලේඛයෝයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අභ්‍යන්තරය පැහැදීම ඇති, හිතේ එකඟබව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලේඛයෙන් වාසය කරමි (කියායි) චුන්දය, මොහු ආර්ය ශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි ඇතැම් මහණෙක් ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්යයෝ යම් ඒ තෘතීය ධ්‍යානයක් උපෙක්ෂා ඇති සිහි ඇති සැප විහරණ ඇත්තේයයි කියත්ද ඒ කෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද, ඕහට මෙසේ සිතක් වන්නේය, සල්ලේඛයෙන් වාසය කරමි (කියායි) චුන්දය, මොහු ආර්යශාසනයෙහි සල්ලේඛයෝයයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි ඇතැම් මහණෙක් සැපය දුරුකිරීමෙන්ද දුක දුරුකිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපේක්ෂා ස්මෘති පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලේඛයෙන් වාසයකරමි (කියායි) චුන්දය, මොහු ආර්ය ශාසනයෙහි සල්ලේඛයෝයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි මෙලොව සැප වාසයෝයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි යම්කිසි මහණෙක් සියලු අයුරින් රූපසංඥාව ඉක්මවීමෙන් ප්‍රතිඝ (ගැටීම්) සංඥාව නැතිකිරීමෙන් නානත්ත (විවිධ) සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්ත යයි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලේඛයෙන් වාසය කරමියි (කියායි) මොහු ආර්ය ශාසනයෙහි සල්ලෙඛයෝයයි කියනු නොලැබෙත්. ආර්ය ශාසනයෙහිදී මොහු ශාන්ත විහරණයෝ යයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි යම්කිසි මහණෙක් සියලු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලෙඛයෙන් වාසය කරමියි (කියායි) මොහු ආර්යශාසනයෙහි සල්ලෙඛයෝයි කියනු නොලැබෙත්. ආර්ය ශාසනයෙහිදී මොහු ශාන්ත විහරණයෝයයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මෙහි යම්කිසි මහණෙක් සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලෙඛයෙන් වාසය කරමි (කියායි) චුන්දය, මොහු ආර්ය ශාසනයෙහි සල්ලෙඛයෝයි කියනු නොලැබෙත්. මොහු ආර්ය ශාසනයෙහි ශාන්ත විහරණයෝයයි කියනු ලැබෙත්.
“චුන්දය, මේ කාරණයෙක් ඇත්තේය. යම් හේතුවකින් මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සියලු අයුරෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරන්නේද ඕහට මෙසේ සිතක් වන්නේය සල්ලෙඛයෙන් වාසය කරමියි (කියායි) මොහු ආර්ය ශාසනයෙහි සල්ලෙඛයෝයි කියනු නොලැබෙත්. ආර්ය ශාසනයෙහිදී මොහු ශාන්ත විහරණයෝයයි කියනු ලැබෙත්.
Msdiv 83 “චුන්දය, මේ ශාසනයෙහි වනාහි තොප විසින් සල්ලෙඛය (කෙලෙස් කැපීම) කටයුතුයි. අන්‍යයෝ සත්ත්ව හිංසා කරන්නෝ වන්නාහ. අපි වනාහි මෙහි හිංසා නොකරන්නෝ වන්නෙමුයයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ ප්‍රාණඝාත කරන්නෝ වන්නාහ. අපි මෙහි ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ නුදුන් දෙය ගන්නෝ වන්නාහුය. අපි නුදුන් දෙය ගැනීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි.
“අන්‍යයෝ මෛථුන ධර්ම සංඛ්‍යාත ලාමක හැසිරීම් ඇත්තෝ වන්නාහුය. අපි ඒ ලාමක හැසිරීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහුය. අපි බොරු කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ කේලාම් කියන්නෝ වන්නාහුය. අපි කේලාම් කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. අපි ඵරුෂ වචන කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ හිස් වචන කියන්නෝ වන්නාහුය. අපි හිස් වචන කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ අධික ලොභ ඇත්තෝ වන්නාහුය. අපි අධික ලොභ නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ව්‍යාපාද (නසනු කැමති) සිත් ඇත්තෝ වන්නාහුය. අපි අව්‍යාපාද (නසනු නොකැමති) සිත් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි. අන්‍යයෝ වැරදි දැකීම් ඇත්තෝ වන්නාහුය. අපි හරි දැකීම් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි කල්පනා ඇත්තෝ වන්නාහුය. අපි හරි කල්පනා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි වචන ඇත්තෝ වන්නාහුය. අපි හරි වචන ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි කර්මාන්ත ඇත්තෝ වන්නාහුය. අපි හරි කර්මාන්ත ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි දිවිපෙවෙත ඇත්තෝ වන්නාහුය. අපි හරි දිවිපෙවෙත ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි උත්සාහ ඇත්තෝ වන්නාහුය. අපි හරි උත්සාහ ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි සිහි ඇත්තෝ වන්නාහුය. අපි හරි සිහිය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි සමාධි ඇත්තෝ වන්නාහුය. අපි හරි සමාධි ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි නුවණ ඇත්තෝ වන්නාහුය. අපි හරි නුවණ ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ වැරදි මිදීම් ඇත්තාහු වන්නාහුය. අපි හරි මිදීම් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ථිනමිද්ධයෙන් (චිත්ත චෛතසිකයන්ගේ මැලිකමින්) මඩනා ලද්දේ වන්නාහුය. අපි පහවූ ථිනමිද්ධ ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ නොසන්සුන් වූවෝ වෙත්. අපි සන්සුන් වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ විචිකිච්ඡාවෙන් (සැකයෙන්) යුක්තවූවෝ වන්නාහුය. අපි දුරු කළ විචිකිච්ඡා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ක්‍රොධකරන්නෝ වන්නාහුය. අපි ක්‍රොධ රහිත වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ බද්ධවෛර ඇත්තෝ වන්නාහුය. අපි බද්ධවෛර නැත්තාහු වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ගුණමකුකම ඇත්තෝ වන්නාහුය. අපි ගුණමකුකම නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ පලාස (පහත්ව සිටිමින් උසස් පුද්ගලයන් හා තමන් සමකර සිතීම) ඇත්තෝ වන්නාහුය අපි පලාස හෙවත් යුගග්‍රාහ නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ඊර්ෂ්‍යා ඇත්තෝ වන්නාහුය. අපි ඊර්ෂ්‍යා නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ මසුරු ගති ඇත්තෝ වන්නාහුය. අපි මසුරු ගති නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ කෛරාටික වන්නාහුය. අපි කෛරාටික නුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ රැවටිලි ඇත්තාහු වන්නහුය. අපි රැවටිලි නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ තද වූවෝ වන්නාහුය. අපි තද නුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ අධිකමාන ඇත්තෝ වන්නාහුය. අපි අධික මාන නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ අකීකරුවූවෝ වන්නාහුය. අපි කීකරුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ පවිටු මිතුරන් ඇත්තෝ වන්නාහුය. අපි යහපත් මිතුරන් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ප්‍රමාද වූවෝ වන්නාහුය. අපි ප්‍රමාදවූවෝ නොවන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝ වන්නාහුය. අපි ශ්‍රද්ධා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ලජ්ජා නැත්තෝ වන්නාහුය. අපි ලජ්ජා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ පාපයෙහි භය නැත්තෝ වන්නාහුය. අපි පාපයෙහි භය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහුය. අපි ඇසූ පිරූ තැන් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ කුසීත වන්නාහුය. අපි පටන්ගන්නාලද වීර්ය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
“අන්‍යයෝ මුළා සිහි ඇත්තෝ වන්නාහුය. අපි එළඹ සිටි සිහි ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ ප්‍රඥා නැත්තෝ වන්නාහුය. අපි ප්‍රඥාවෙන් සම්පූර්ණ වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය. අන්‍යයෝ තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාහු එය තදින් අල්ලාගෙන සිටින්නාහු එයින් වෙන්කිරීම දුෂ්කර වූවාහු වන්නාහුය. අපි තමන්ගේම දෘෂ්ටිය ගෙන නොසිටින්නාහු දෘෂ්ටිය තදින් අල්ලාගෙන නොසිටින්නාහු එම දෘෂ්ටියෙන් පහසුවෙන් දුරු කළ හැක්කාහු වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
Msdiv 84 චුන්දය, කුශල ධර්මයන්හි හිතක් ඇතිකර ගැනීම පවා බොහෝ උපකාර ඇත්තේයයි මම කියමි. කයින් වචනයෙන් කරණු ලබන කල්හි කියනුම කවරේද, චුන්දය එහෙයින් අන්‍යයෝ සත්ත්ව හිංසා කරන්නෝ වන්නාහුය. අපි මෙහි හිංසා නොකරන්නෝ වන්නෙමුයයි සිත ඉපදවිය යුතුයි. අන්‍යයෝ ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය. අපි ප්‍රාණඝාතයෙන් වැළකුනෝ වන්නෙමුයයි සිත ඉපදවිය යුතුයි. අන්‍යයෝ නුදුන්දෙය ගන්නෝ වන්නාහුය. අපි නුදුන් දෙය ගැනීමෙන් වැළකුණෝ වන්නෙමුයි සිත ඉපදවිය යුතුයි. අන්‍යයෝ මෛථුනධර්ම සංඛ්‍යාත ලාමක හැසිරීම් ඇත්තෝ වන්නාහුය. අපි බ්‍රහ්මචාරී වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහුය. අපි බොරු කීමෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ කේළාම් කියන්නෝ වන්නාහුය. අපි කේළාම් කීමෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. අපි ඵරුෂ වචනයෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ හිස් වචන කියන්නෝ වන්නාහුය. අපි හිස්වචන කීමෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි.
“අන්‍යයෝ අධික ලොභය ඇත්තෝවන්නාහුය. අපි අධික ලොභ නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ව්‍යාපාද (නසනුකැමති) සිත් ඇත්තෝ වන්නාහුය. අපි අව්‍යාපාද (නසනු නොකැමති) සිත් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි දැකීම් ඇත්තෝ වන්නාහුය. අපි හරි දැකීම් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි. අන්‍යයෝ වැරදි කල්පනා ඇත්තෝ වන්නාහුය. අපි හරි කල්පනා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවි යුතුය. අන්‍යයෝ වැරදි වචන ඇත්තෝ වන්නාහුය. අපි හරි වචන ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි කර්මාන්ත ඇත්තෝ වන්නාහුය. අපි හරි කර්මාන්ත ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි ජීවිකා ඇත්තෝ වන්නාහුය. අපි හරි ජීවිකා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි ව්‍යායාම ඇත්තෝ වන්නාහුය. අපි හරිව්‍යායාම් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි සිහි ඇත්තෝ වන්නාහුය. අපි හරි සිහිය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි සමාධි ඇත්තෝ වන්නාහුය. අපි හරි සමාධි ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවි යුතුය. අන්‍යයෝ වැරදිනුවණ ඇත්තෝ වන්නාහුය. අපි හරි නුවණ ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ වැරදි විමුක්ති ඇත්තෝ වන්නාහුය. අපි හරි විමුක්ති ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය, අන්‍යයෝ ථීනමිද්ධයෙන් වඩනා ලද්දෝ වන්නාහුය. අපි පහවූ ථීනමිද්ධ ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ නොසන්සුන් වූවෝ වෙත්. අපි සන්සුන් වූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ විචිකිච්ඡාවෙන් (සැකයෙන්) යුක්ත වූවෝ වන්නාහුය. අපි බැහැර කළ විචිකිච්ඡා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ක්‍රොධ කරන්නෝ වන්නාහුය. අපි ක්‍රොධ රහිතවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ බද්ධවෛර ඇත්තෝ වන්නාහුය. අපි බද්ධ වෛර නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ මකුගතිය ඇත්තෝ වන්නාහුය අපි මකු ගතිය නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ පලාස (පහත්ව සිටිමින් උසස් පුද්ගලයන් හා තමන් සමකර සිතීම) ඇත්තෝ වන්නාහුය. අපි පලාස හෙවත් යුගග්‍රාහ නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ඊර්ෂ්‍යා ඇත්තෝ වන්නාහුය. අපි ඊර්ෂ්‍යා නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ මසුරු ගති ඇත්තෝ වන්නාහුය. අපි මසුරු ගති නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ කෛරාටික වන්නාහුය. අපි කෛරාටික නුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ රැවටිලි ඇත්තාහු වන්නාහුය. අපි රැවටිලි නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ තදවූවෝ වන්නාහුය. අපි තදනුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ අධික මාන ඇත්තෝ වන්නාහුය. අපි මානනැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ අකීකරුවූවෝ වන්නාහුය. අපි කීකරුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ පවිටු මිතුරන් ඇත්තෝ වන්නාහුය. අපි යහපත් මිතුරන් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ප්‍රමාද වූවෝ වන්නාහුය. අපි ප්‍රමාද වූවෝ නොවන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝ වන්නාහුය. අපි ශ්‍රද්ධා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ලජ්ජානැත්තෝ වන්නාහුය. අපි ලජ්ජා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ පාපයෙහි භය නැත්තෝ වන්නාහුය. අපි පාපයෙහි භය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවියයුතුය. අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහුය. අපි ඇසූ පිරූ තැන් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ කුසීත වන්නාහුය. අපි පටන් ගන්නාලද වීර්ය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ මුළාවූ සිහි ඇත්තෝ වන්නාහුය. අපි එළඹ සිටි සිහි ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ ප්‍රඥා නැත්තෝ වන්නාහුය. අපි ප්‍රඥාවෙන් සම්පූර්ණ වූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය. අන්‍යයෝ තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාහු එය තදින් අල්ලාගෙන සිටින්නාහු එයින් වෙන් කිරීම දුෂ්කර වූවාහු වන්නාහුය. අපි තමන්ගේම දෘෂ්ටිය ගෙන නොසිටින්නාහු දෘෂ්ටිය තදින් අල්ලාගෙන නොසිටින්නාහු එම දෘෂ්ටිය පහසුවෙන් දුරුකළ හැක්කාහු වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
Msdiv 85 “චුන්දය, විෂම මාර්ගයක් දුරලීමට අන්‍යවූ සම මාර්ගයක් ඇත්තේ යම්සේද චුන්දය, විෂමවූ තොටුපලක් දුරලීමට අන්‍යවූ සමවූ තොටක් ඇත්තේ යම්සේද, චුන්දය, එපරිද්දෙන්ම හිංසා කරන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස අවිහිංසාව ඇත්තේය. ප්‍රාණඝාත කරන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස ප්‍රාණඝාතයෙන් වෙන්වීම ඇත්තේය. නොදුන් දෙය පැහැර ගන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස නොදුන් දෙය ගැනීමෙන් වැළකීම ඇත්තේය. අබ්‍රහ්මචාරී පුද්ගලයාට එය දුරලීම පිණිස බ්‍රහ්මචරියාව ඇත්තේය. බොරු කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස මුසාවාදයෙන් වැළකීම ඇත්තේය. කේළාම් කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස කේළාම් කීමෙන් වැළකීම ඇත්තේය. ඵරුෂ වචන කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස ඵරුෂ වචනයෙන් වෙන්වීම ඇත්තේය. හිස් වචන කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස හිස් වචන කීමෙන් වෙන්වීම ඇත්තේය. විෂම ලෝභ බහුලවූ පුද්ගලයාට එයදුරලීම පිණිස විෂමලොභ රහිත බව ඇත්තේය ව්‍යාපාද (නසනු කැමති) සිත් ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස ව්‍යාපාද රහිත බව වෙයි. වැරදි දෘෂ්ටි ඇති පුද්ගලයාට එය දුරලීමට හරි දෘෂ්ටිය ඇත්තේය. වැරදි කල්පනා ඇති පුද්ගලයාට එය දුරලීමට හරි කල්පනාව ඇත්තේය. වැරදි වචන ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස හරි වචන ඇත්තේය. වැරදි කර්මාන්ත ඇති පුද්ගලයාට එය දුරලීමට හරි කර්මාන්තය ඇත්තේය. වැරදි ජීවිකා ඇති පුද්ගලයාට එය දුරලීමට හරි ජීවිකාව ඇත්තේය. වැරදි ව්‍යායාම ඇති පුද්ගලයාට එය දුරලීමට හරි ව්‍යායාමය ඇත්තේය. වැරදි සිහිය ඇති පුද්ගලයාට එය දුරලීමට හරි සිහිය ඇත්තේය. වැරදි සමාධි ඇති පුද්ගලයාට එය දුරලීමට හරි සමාධිය ඇත්තේය. වැරදි ඤාණ ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස හරි ඤාණය ඇත්තේය. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස හරි විමුක්තිය ඇත්තේය. ථිනමිද්ධයෙන් වෙළුණු පුද්ගලයා එය දුරලීම පිණිස ථිනමිද්ධ නැති බව ඇත්තේය. නොසංසුන්වූ පුද්ගලයාට එය දුරලීමට සන්සුන් බව ඇත්තේය. විචිකිච්ඡා ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය. ක්‍රොධ ඇති පුද්ගලයාට එය දුරලීමට අක්‍රොධය වෙයි. බද්ධවෛර ඇති පුද්ගලයාට එය දුරලීමට බද්ධවෛර රහිත බව ඇත්තේය. මකු ගුණ ඇති පුද්ගලයාට එය දුරලීමට මකු ගුණ නැති බව ඇත්තේය. යුගග්‍රාහ (උතුමන් හා තමා සමයයි සැලකීම) ඇති පුද්ගලයාට එය දුරලීමට යුගග්‍රාහ රහිත බව ඇත්තේය. ඊර්ෂ්‍යා ඇති පුද්ගලයාට එය දුරලීමට ඊර්ෂ්‍යා රහිත බව ඇත්තේය. මසුරුකම ඇති පුද්ගලයාට එය දුරලීමට නොමසුරු බව ඇත්තේය. කයිරාටිකවූ පුද්ගලයාට එය දුරලීමට කයිරාටික නොවන බවඇත්තේය. රැවටිලි ඇති පුද්ගලයාට එය දුරලීමට රැවටිලි නැති බව ඇත්තේය. තද ගතිය ඇති පුද්ගලයාට එය දුරලීමට තද ගති රහිත බව ඇත්තේය. අධිකමාන ඇති පුද්ගලයාට එය දුරලීමට අධික මාන නැති බව ඇත්තේය, අකීකරු පුද්ගලයාට එය දුරලීම පිණිස කීකරු බව ඇත්තේය.
“පවිටු මිතුරන් ඇති පුද්ගලයාට එය දුරලීමට යහපත් මිතුරන් ඇති බව ඇත්තේය. ප්‍රමාදවූ පුද්ගලයාට එය දුරලීමට අප්‍රමාදය ඇත්තේය. ශ්‍රද්ධා නැති පුද්ගලයාට එය දුරලීමට ශ්‍රද්ධා ඇත්තේය. ලජ්ජානැති පුද්ගලයාට එය දුරලීමට ලජ්ජාව ඇත්තේය. භය නැති පුද්ගලයාට එය දුරලීමට පාපයෙහි භය ඇත්තේය. ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාට එය දුරලීම පිණිස ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය. කුසීත පුද්ගලයාට එය දුරලීමට නොපසුබට වීර්යය ඇත්තේය. මුළාවූ සිහි ඇති පුද්ගලයාට එය දුරලීමට එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය. ප්‍රඥා නැති පුද්ගලයාට එය දුරලීමට ප්‍රඥාසම්පත්තිය ඇත්තේය. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට එය දුරලීම පිණිස තමන්ගේම දෘෂ්ටිය නොගන්නා බව එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන නොසිටින බව එයින් වෙන්කිරීම පහසු බව ඇත්තේය.
Msdiv 86 “චුන්දය, යම්සේ යම්කිසි අකුසල ධර්මකෙනෙක් වෙත් නම් ඒ සියල්ල අපාය ආදී පහත් තැනට පමුණු වන්නාහු වෙත්ද, එසේම යම්කිසි කුසල ධර්මකෙනෙක් වෙත් නම් ඒ සියල්ල උසස් බවට පමුණුවන්නාහු වෙත්ද, චුන්දය. එපරිද්දෙන්ම විහිංසාව ඇති පුද්ගලයාට උසස් බව පිණිස අවිහිංසාව ඇත්තේය. ප්‍රාණඝාත කරන පුද්ගලයාට උසස් බව පිණිස ප්‍රාණඝාතයෙන් වෙන්වීම ඇත්තේය.
“නොදුන් දෙය පැහැරගන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස නොදුන් දෙය ගැනීමෙන් වැළකීම ඇත්තේය. අබ්‍රහ්මචාරී පුද්ගලයාට උසස් බව පිණිස බ්‍රහ්මචරියාව ඇත්තේය. බොරු කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස මුසාවාදයෙන් වැළැක්ම ඇත්තේය. කේළාම් කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස කේළාම් කීමෙන් වැළැක්ම ඇත්තේය. ඵරුෂවචන කියන්නාවූ පුද්ගලයාට උසස්බව පිණිස ඵරුෂ වචනයෙන් වෙන්වීම ඇත්තේය. හිස්වචන කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස හිස් වචන කීමෙන් වෙන්වීම ඇත්තේය. විෂම ලොභ බහුලවූ පුද්ගලයාට උසස් බව පිණිස විෂම ලොභ රහිත බව ඇත්තේය. ව්‍යාපාද සිත් ඇති පුද්ගලයාට උසස් බව පිණිස ව්‍යාපාද රහිත බව වෙයි. වැරදි දෘෂ්ටි ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි දෘෂ්ටිය ඇත්තේය. වැරදි කල්පනා ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි කල්පනාව ඇත්තේය. වැරදි වචන ඇති පුද්ගලයාට උසස්බව පිණිස හරි වචන ඇත්තේය. වැරදි කර්මාන්ත ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි කර්මාන්තය ඇත්තේය. වැරදි දිවි පැවැත්ම ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි දිවි පැවැත්ම ඇත්තේය. වැරදි ව්‍යායාම ඇති පුද්ගලයාට උසස්බව පිණිස හරි ව්‍යායාමය ඇත්තේය. වැරදි සිහිය ඇති පුද්ගලයාට උසස්බව පිණිස හරි සිහිය ඇත්තේය. වැරදි සමාධි ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි සමාධිය ඇත්තේය. වැරදි ඤාණ ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි ඤාණය ඇත්තේය. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි විමුක්තිය ඇත්තේය. ථීනමිද්ධයෙන් යුත් පුද්ගලයාට උසස් බව පිණිස ථිනමිද්ධ නැති බව ඇත්තේය. නොසන්සුන් පුද්ගලයාට උසස් බව පිණිස සන්සුන්බව ඇත්තේය. විචිකිච්ඡා ඇති පුද්ගලයාට උසස් බව පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය. ක්‍රොධ ඇති පුද්ගලයාට උසස් බව පිණිස ක්‍රොධය නැති බව වෙයි. බද්ධවෛර ඇති පුද්ගලයාට උසස් බව පිණිස බද්ධවෛර රහිත බව ඇත්තේය. මකු ගුණ ඇති පුද්ගලයාට උසස්බව පිණිස මකු ගුණ නැති බව ඇත්තේය. යුගග්‍රාහ (උතුමන් හා තමා සමයයි සැලකීම) ඇති පුද්ගලයාට උසස් බව පිණිස යුගග්‍රාහ රහිත බව ඇත්තේය. ඊර්ෂ්‍යා ඇති පුද්ගලයාට උසස් බව පිණිස ඊර්ෂ්‍යා රහිත බව ඇත්තේය. මසුරුකම ඇති පුද්ගලයාට උසස් බව පිණිස නොමසුරු බව ඇත්තේය.
“කයිරාටිකවූ පුද්ගලයාට උසස් බව පිණිස කයිරාටික නොවන බව ඇත්තේය. රැවටිලි ඇති පුද්ගලයාට උසස් බව පිණිස රැවටිලි නැති බව ඇත්තේය. තදගතිය ඇති පුද්ගලයාට උසස් බව පිණිස තද ගති රහිත බව ඇත්තේය. අධික මාන ඇති පුද්ගලයාට උසස් බව පිණිස අධික මාන නැති බව ඇත්තේය. අකීකරු පුද්ගලයාට උසස් බව පිණිස කීකරුකම ඇත්තේය. පවිටු මිතුරන් ඇති පුරුෂයාට උසස් බව පිණිස යහපත් මිතුරන් ඇතිබව ඇත්තේය. ප්‍රමාදවූ පුද්ගලයාට උසස් බව පිණිස අප්‍රමාදය ඇත්තේය. ශ්‍රද්ධා නැති පුද්ගලයාට උසස් බව පිණිස ශ්‍රද්ධාව ඇත්තේය. ලජ්ජා නැති පුද්ගලයාට උසස් බව පිණිස ලජ්ජාව ඇත්තේය. භය නැති පුද්ගලයාට උසස් බව පිණිස පාපයෙහි භය ඇත්තේය ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාට උසස් බව පිණිස ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය. කුසීත පුද්ගලයාට එය දුරලීමට වීර්ය පටන්ගැනීම ඇත්තේය. මුළා සිහි ඇති පුද්ගලයාට උසස් බව පිණිස එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය. ප්‍රඥා නැති පුද්ගලයාට උසස් බව පිණිස ප්‍රඥා සම්පත්තිය ඇත්තේය. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට උසස් බව පිණිස තමන්ගේම දෘෂ්ටිය නොගන්නා බව එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන නොසිටින බව එයින් වෙන් කිරීම පහසුබව ඇත්තේය.
Msdiv 87 “චුන්දය, පුද්ගලතෙමේ ඒකාන්තයෙන් තමා ගැඹුරු මඩෙහි එරුණෙක්ව ගැඹුරු මඩෙහි එරුණාවූ අනිකෙකු ගොඩගන්නේය. යන මේ කාරණය සිදු නොවන්නකි චුන්දය, පුද්ගල තෙමේ ඒකාන්තයෙන් තමා ගැඹුරු මඩෙහි නො එරුණේ ගැඹුරු මඩෙහි එරුණ අන්‍යයකු ගොඩගන්නේය. යන මේ කාරණය සිදුවන්නකි. චුන්දය, පුද්ගලතෙමේ තමා නොදැමුනේ නොහික්මුනේ කෙලෙස් නැති නොකළේ අන්‍යයා දමනය කරන්නේය. හික්මවන්නේය. කෙලෙස් රහිත කරන්නේය යන මේ කාරණය සිදු නොවන්නකි. චුන්දය, පුද්ගල තෙමේ තමා දැමුනේ හික්මුනේ කෙලෙස් නැසුනේ අන්‍යයා දමනය කරන්නේය. හික්මවන්නේය. කෙලෙස් රහිත කරවන්නේය යන මේ කරුණ සිදුවන්කි. චුන්දය, එපරිද්දෙන්ම විහිංසාව ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අවිහිංසාව ඇත්තේය. ප්‍රාණඝාත කරන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ප්‍රාණඝාත නොකිරීම ඇත්තේය. නුදුන් දෙය ගන්නා පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස නුදුන් දෙය ගැනීමෙන් වෙන්වීම ඇත්තේය. අබ්‍රහ්මචාරී පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බ්‍රහ්මචර්යාව ඇත්තේය. බොරු කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බොරු කීමෙන් වැළකීම ඇත්තේය. කේලාම් කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කේළාම් කීමෙන් වෙන්වීම ඇත්තේය. ඵරුෂ වචන කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ඵරුෂ වචනයෙන් වෙන්වීම ඇත්තේය හිස්වචන කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හිස් වචනයෙන් වෙන්වීම ඇත්තේය. අධික ලොභ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අධික ලොභ නැති බව ඇත්තේය.
“ව්‍යාපාද සිත් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අව්‍යාපාදය ඇත්තේය. වැරදි දැකීම් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරිදැකීම් ඇත්තේය. වැරදි කල්පනා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි කල්පනාව ඇත්තේය. වැරදි වචන ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි වචනය ඇත්තේය. වැරදි කර්මාන්ත ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි කර්මාන්තය ඇත්තේය. වැරදි ජීවිකා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි ජීවිකාව ඇත්තේය. වැරදි ව්‍යායාම ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි ව්‍යායාමය ඇත්තේය. වැරදි සිහි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි සිහිය ඇත්තේය. වැරදි සමාධි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි සමාධිය ඇත්තේය. වැරදි නුවණ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි නුවණ ඇත්තේය. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි විමුක්තිය ඇත්තේය. ථීනමිද්ධයෙන් යට කරණලද පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ථීනමිද්ධ නැති බව ඇත්තේය. නොසන්සුන් පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස සන්සුන් බව ඇත්තේය.
“විචිකිච්ඡා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය. ක්‍රොධයෙන්, යුත් පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ක්‍රොධ නොකරන බව ඇත්තේය.
“බද්ධවෛර ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බද්ධ වෛර නැති බව ඇත්තේය. මකු ගුණ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස මකුගුණ රහිත බව ඇත්තේය. යුගග්‍රාහ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස යුගග්‍රාහ රහිත බව ඇත්තේය. ඊර්ෂ්‍යා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ඊර්ෂ්‍යා රහිත බව ඇත්තේය. මසුරුකම ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස මසුරු නොවන බව ඇත්තේය. කයිරාටික පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කයිරාටික නොවන බව ඇත්තේය. රැවටිලි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීමට නොරැවටිල්ල ඇත්තේය. තද ගති ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස තද ගති නැතිබව ඇත්තේය. අධිකමාන ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අධිකමාන නැති බව ඇත්තේය. අකීකරු පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කීකරු බව ඇත්තේය. පාප මිත්‍රයන් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස යහපත් මිතුරන් ඇති බව ඇත්තේය. ප්‍රමාදවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අප්‍රමාදය ඇත්තේය. ශ්‍රද්ධා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ශ්‍රද්ධාව ඇත්තේය. ලජ්ජා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ලජ්ජාව ඇත්තේය.
“පාපයෙහි භය නැත්තාවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස පාපයෙහි භය ඇත්තේය. ඇසූපිරූ තැන් නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය. කුසීත පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස වීර්ය පටන් ගැනීම ඇත්තේය. මුළා සිහි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය. ප්‍රඥා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ප්‍රඥා සම්පත්තිය ඇත්තේය. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස, තමන්ගේ දෘෂ්ටියම නොගන්නාවූ එය තදින් අල්ලානොගන්නාවූ සුවසේ දුරලිය හැකි දෘෂ්ටි ඇති බව එයින් වෙන්කිරීම පහසු බව ඇත්තේය.
Msdiv 88 “චුන්දය, මෙසේ මා විසින් සල්ලෙඛපරියාය (කෙලෙස් කපාදමන ක්‍රමය) දෙශනා කරන ලදී. පරික්කමණ පරියාය (කෙලෙස් ඉවත් කරන ක්‍රමය) දෙශනා කරන ලදී. උපරිභාව පරියාය (උසස් බවට යාමේ ක්‍රමය) දෙශනා කරන ලදී. පරිනිර්වාණ පරියාය (කෙලෙස් නිවීමේ ක්‍රමය) දෙශනා කරන ලදී.
“චුන්දය, ශ්‍රාවකයන්ට හිතෛෂීවූ අනුකම්පා කරන්නාවූ ශාස්තෲන්වහන්සේ විසින් අනුකම්පා සිතින් යම් කටයුතුද මා විසින් එය තොපට කරනලදී. චුන්දය, මේ වෘක්ෂමූල සෙනාසන ඇත්තාහ. සූන්‍යාගාර ඇත්තාහ, චුන්දය, ධ්‍යාන වඩව් පමා නොවව්, පසුව විපිළිසර නොවව්. මේ තොපට අපගේ අනුශාසනාවයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේයි.
පද සතළිස් සතරක් වදාරණ ලදී. සන්ධි පසකින් යුක්තව දෙසන ලදී. ගැඹුරුවූ සාගරය වැනිවූ මේ සූත්‍රාන්තය සල්ලෙඛ නම් වන්නේය.
අට වෙනිවූ සල්ලෙඛ සූත්‍රය නිමි
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source